ඔබයි රම්‍ය සඳ කිරණ

එච්.එම්. ජයවර්ධන යනු භෞතික යස ඉසුරු ලුහුබැඳ දිවීමේ මී පොරයට නොවැටුණු අපිස්‌ මිනිසෙකි. මොණරාගල වැනි අතිදුෂ්කර ගමක සිට අගනුවරට අබිනික්‌මන් කළ ඔහු ගමෙන් රැගෙන ආ මනුස්‌සකම ඔහු ළඟට පැමිණි හැම කෙනකුටම බෙදා දුන් වගද මම දනිමි. සිය ජීවිත අඳුර නසාලන්නට එළියක්‌ දල්වා ගැනීමට වඩා තමා අන්ධකාරයේ රැඳෙමින් අනෙකාට ආලෝකය ලබාදීමට කැපවූ දුලබ කලාකරුවකු, සත්පුරුෂයකු ඔහු තුළ මම නිබඳව දකිමි.

සංගීතය පිළිබඳ අප බොහෝ දෙනෙකුගේ අත්දැකීම් ගීතයෙන් ඔබ්බට නොයැම පිළිබඳව දොස්‌ නැඟිය යුත්තේ කාට දැයි මම නොදනිමි. වරද කොතැන හෝ කාගේ හෝ වුවත් අපගේ දෙසවනට හුරු වී තිබෙන්නේත්, සමීප වී තිබෙන්නෙත් ගීතයයි. එහෙත් බටහිර හා ශූද්ධ සංගීතය රස විඳීමට හුරු වූ ඉහළ පන්තියක්‌ සිටින බව ද රහසක්‌ නොවේ. පෙර අපර දෙදිගම සංගීතඥයන් මෙරටට කැඳවා ඔවුන්ගේ සංගීතය රස විඳීමේ වරප්‍රසාදය එම පන්තියට හිමි වී තිබෙන බව ද අපි දනිමු. කෙසේ හෝ සංගීත රස වින්දනය පිළිබඳ වූ මෙම යථාර්ථය පසක්‌ කර ගත් ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වැනි ස්‌වල්ප දෙනෙක්‌ එයට එරෙහිව සටන් කළහ. සංධවනි, ඔපෙරා, කැන්ටාටා වැනි සංගීත අත්දැකීම් ස්‌වල්පයක්‌ හෝ ඉදිරිපත් වූයේ ඒ අනුවය. එහෙත් ඒවාට වැඩිපුරම ව වැදුනේ ගල්මුල් පමණි.

දේශීය සංගීතය නමැති සටන් පාඨය පෙරට දැමූ සමහරු දැන හෝ නොදැන ඒ සංගීතය නමැති විශ්වීය අත්දැකීමට නිරන්තරව බාධා කළහ. කෙනෙක්‌ ජන සංගීතය තුළම සිරවූහ. එහෙත් පෙරදිගට හෝ අපරදිගට නිදහසේ සමීප වෙමින් ශ්‍රී ලාංකික අනන්‍යතාවකින් යුතු සංගීතයක්‌ උදෙසා අප්‍රමාණව කැප වූ ආචාර්ය කේමදාසයන් වැනි සංගීතඥයෝ ස්‌වල්ප දෙනෙක්‌ හෝ අපට සිටිතියි මම කල්පනා කරමි.

සංගීතය පිළිබඳ මගේ මෙම කෙටි පූර්විකාවට හේතු වූයේ ද අපූර්ව සංගීත ප්‍රතිභාවකින් යුත් සංගීතඥයකු පිළිබඳ ආවර්ජනයකි. හේ නමින් එච්. එම්. ජයවර්ධන ය. එච්. එම්. කිසිදු සංගීත ශාස්‌ත්‍රාලයක නිෂ්පාදනයක්‌ නොවේ. එහෙත් ඔහු සංගීත ප්‍රබන්ධකයකු ලෙස දුර ගමනක්‌ යා හැකි බවට සුපැහැදිලි හැඟවීම් කර තිබෙන බව මගේ අදහසය.

එච්. එම්. පිළිබඳව මගේ ධාරණවන් මෙවේලෙහි වසර විසිපහකට වඩා ඈත අතීතයකට දිව යයි. මගේ මතකය නිවැරැදි නම් ඒ 1983 හෝ 1984 හෝ විය යුතුය. එකල ඔහු සිය ප්‍රිය බිරි\ වූ විශාරද මාලනී බුලත්සිංහල ද සමඟ බොරලැස්‌ගමුව ප්‍රදේශයේ කුඩා නිවසක ජීවත් විය. මා ඔහු හමුවීමට ගියේ ඒ වසරේ සංගීතය සඳහා පිරිනැමුණු ජනාධිපති සම්මාන සඳහා ඔහුගේ නම යෝජනා වී තිබුණත් ඔහු එය ප්‍රතික්‍ෂේප කිරීම නිසා ය.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද 'මුහුදු ලිහිණි' චිත්‍රපටය සඳහා එච්. එම්ගේ සංගීතයට හා ඔහු නිර්මාණය කළ ගීතයකට ද සම්මාන පිරිනමා තිබිණි. එහෙත් එච්. එම්.ගේ අදහස වූයේ එම වසරේම ප්‍රේමසිරි කේමදාසයන් සංගීතය නිර්මාණය කළ ධර්මසිරි බණ්‌ඩාරනායකගේ 'තුන්වෙනි යාමය' චිත්‍රපටයේ සංගීතය ඔහුගේ සංගීතයට වඩා විශිෂ්ට හා ප්‍රශස්‌ත එකක්‌ බව ය. මම ඔහු සමඟ සාකච්ඡා කර ඉනික්‌බිතිව 'දිවයින ඉරිදා සංග්‍රහය'ටම ලිපියක්‌ ද ලීවෙමි.

සත්තකින්ම එදා මට අවශ්‍ය වූයේ ද ගෞරව, සම්මාන, පැසසුම් ලුහුබැඳ දිවයන සමාජයක ඊට වඩා වෙනස්‌ හෘදයාංගම හා අදීන කලාකරුවන් සිටින බව ජනතාවට කීමටය. එච්. එම්. ගේ ඒ විරෝධය ඉතා කුඩා සහ හුදෙකලා එකක්‌ වුවද එය මේ රටේ කලා ඉතිහාසය විචිත්‍ර කළ අත්දැකීමක්‌ බව මම අදත් කල්පනා කරමි. එච්. එම්. කවුදැයි හඳුනා ගැනීමට ඊට වඩා උචිත නිදසුනක්‌ ද නැත.

කෙසේ හෝ ඒ හමුවීමෙන් පසු එච්. එම්. මෙන්ම මාලිනී ද මගේ සමීපතමයෝ බවට ද පත් වූහ. ඒ කාලයේ ඇතැම් දිනවල එච්. එම්. මෙන්ම මාලිනී ද ප්‍රේමසිරි කේමදාසයන්ගේ රාජගිරිය නිවසේදී මට හමුවූහ. මා දන්නා තරමින් මාලිනී මෙන්ම එච්. එම් ද කේමදාසයන්ට විශාල ගෞරවයක්‌ දැක්‌වූහ. එසේම එච්. එම් ගේ සංගීත ප්‍රතිභාව ඔප කර ගැනීමටත්, හැඩ වැඩ කර ගැනීමටත් එච්. එම් ට ගුරු වූ කීපදෙනා අතර කේමදාස මාස්‌ටර් ද විය. එච්. එම්.ගේ කුසලතා පිළිබඳව කේමදාසයන්ට ද මනා වැටහීමක්‌ විය.

එච්. එම්. ගේ සංගීතය විමර්ශනය කිරීමේදී අපට වැඩිපුරම ඉවහල් වන්නේ ඔහු විසින් ස්‌වර වර්ණ ගන්වන ලද ගීතයයි. එච්. එම්. ඉන්දියානු සම්ප්‍රදාය හෝ වෙනත් බටහිර සම්ප්‍රදායක්‌ හෝ ගුරු කර ගැනීම වෙනුවට ස්‌වාධීනව රිද්මය හා නාද රූප පිළිබඳව උනන්දු වූ බව මගේ අදහසයි. මාලිනී ගායනා කළ 'රජ මැඳුරක ඉපදී සිටියානම්' ගීතය මට සිහිපත් වෙයි. මේ ගීතයෙන් අපට ඇසෙන්නේ දරිද්‍රතාවයෙහි පත්ලට යමින් ජීවිතය දකින මවකගේ සුසුම් ය. සමාජ විසමතාව නමැති අයුක්‌තිය විසින් පීඩනයට පත් කරන ලද මවකගේ පිවිතුරු අධ්‍යාත්මය එහිදී අපට හමුවේ.

විශාරද නන්දා මාලිනිය ගයන 'ඔබයි රම්‍ය සඳ කිරණ' නම් වූ සුනිල් ආරියරත්නයන්ගේ විශිෂ්ට රචනය ප්‍රේමයේ රමණීය නිම්නයක සක්‌මන් කිරීමට අපට දොර හැර දෙන මියුරු පෙම් ගීයකි. ප්‍රේමයේ පවිත්‍රත්වය මනාව ස්‌පර්ශ කළ සියුම් සංගීතඥයෙක්‌ එහිදී අපට හමු නොවන්නේද?

නන්දා මාලිනියගේ හඬ සංගීත භාණ්‌ඩයක්‌ තරම් ඉසියුම් වනි පූර්ණ නාද රූපයක්‌ බව ඇගේ ගායනාවලට නිසලව, නිහඬව සවන් දෙන හැම විටකම මට පසක්‌ වූ දෙයකි මම 'පහන් කන්ද' ගීතය පිළිබඳව එච්. එම්.ගෙන් විමසූ අවස්‌ථාවක ඔහු ප්‍රමුදිතව මෙන්ම විස්‌මිතව මා දෙස බලා සිටි අයුරු දැනුදු මට මතකය. ගායකයකු හෝa ගායිකාවකගේ හඬ පරාසය උච්චාරණය වැනි අංශ පිළිබඳව එච්. එම්. දක්‌වන අවධානය මම දනිමි. එච්. එම්. වචනය හා ශබ්දයට සිර නොවී නිදහස්‌ව, ස්‌වර රචනා කරන්නේ ද ඒ දැනුවත් භාවය නිසාය.

නන්දා මාලිනියගේ රම්‍ය හඬ සුරම්‍ය ගී නාදයක්‌ බවට පෙරළා රසික හද ගැබ තුළ නිදන් කළ සංගීතඥයන් අතර එච්. එම්. ප්‍රමුඛ යෑයි මා සටහන් කරන්නේ අන් කවර හෝ සංගීතඥයකු නොසලකා නොවේ. ඇය වෙනුවෙන් මධුර තනු නිම වූ ස්‌ටැන්ලි පීරිස්‌ මෙන්ම රෝහණ වීරසිංහ ද මට සිsහිවෙයි. එච්. එම්. නන්දා වෙනුවෙන් නිම වූ බොහෝ ගීත රසික ජන ප්‍රසාදයට ද ලක්‌ විය.

ස්‌ත්‍රී පුරුෂ ප්‍රේමයේ සුකුමාරතාව මෙන්ම එහි සදාතනික ශෝකාන්ධකාරය ද මවමින් සුනිල් - නන්දා - එච්. එම්. ත්‍රිසංයෝගයෙන් බිහි වූ ගීත සිංහල පෙම් ගීත අතර ද සුදිලෙයි. කඩ මන්ඩියේ, ප්‍රේමය නම්, නෙළා ගන්න බෑ වැනි ගීත සමඟ මොහොතක්‌ දැහැන්ගත වී බලන්නැයි මම ඔබට ඇරියුම් කරමි.

නන්දා මාලිනියගේ සත්‍යයේ ගීතයේ තේමා සංගීතය සේ ගිණිය හැකි සුනිලුන්, අතින්ම විරචිත "මේ ජීවන ගංගාධාරේ" එච්. එම්. ගේ සංගීත කල්පනා ලොව ගැඹුර හා දාර්ශනික සීමාවන් දෙසට රසිකයා රැගෙන යයි. ස්‌ත්‍රිත්වය නිවන රමණීය ප්‍රේමයම ඒ ස්‌ත්‍රිත්වය පෙළන අයුරු එච්. එම්. ගේ ස්‌වර ඥානයේ අලංකාර සමග රසික හද ප්‍රකම්පිත කරවන අත්දැකීමක්‌ වූ අයුරු ඔබම සිහිපත් කරන බලනු මැනවි. මානව ප්‍රේමය සුඛාන්තයකට වඩා ශෝකාන්තයක්‌ ලෙස ශේෂ වන්නේ මනුෂ්‍යත්වයේ ම දුබලතාවන් නිසා ය. එච්. එම්. එයට දාර්ශනික ගැඹුරක්‌ ද ශෝක රසයක්‌ ද මුසු කරයි.

එච්. එම්. ගේ මධුර තනුවලින් අලංකෘත වූ බොහෝ ගී මා දෙසවන් තුළ නැගෙයි. මුතු අහුරකින් එක්‌ මුතු ඇටයක්‌ හොඳ යෑයි කෙලෙස තෝරන්නද? එහෙත් පණ්‌ඩිත් අමරදේවයන්ගේ මුවින් වෑහුනු "සඳ තරු නිහඬයි" (කුලරත්න ආරියවංශ) මට මගහැර යා නොහැක. යෞවනයේ හුදෙකලා විරාමය ශෝකය නැගෙයි. නිදි නැති රැයක ප්‍රේමය හඬයි. එච්. එම්. එය ඔබ අමරදේවයන්ගේ හඬට කළ පූජාවක්‌ද?

එච්.එම්. සංගීතවත් කළ රඹුක්‌කන සිද්ධාර්ථ හිමියන් පබැ "බුදුබණ ඇසුවත්" ඔහුගේ සංගීත දර්ශනයේ ගැඹුරද, ශාන්තියද අපට දක්‌වයි. එඩ්වඩ් ජයකොඩි සමග මාලිනි බුලත්සිංහලගේ ගැයුමම ආශ්චර්යකි. තව කොපමණ ගීත තිබේද? එහෙත් නතර විය යුතුය.

ගීතය හා ගී ප්‍රසංගය මෙන්ම චිත්‍රපට හා පසුව රූපවාහිනී මාලා නාටක දෙසට ද එච්. එම්. ඇදී යයි. කැලෑමල්, මුහුදුලිහිණි, මංගල තෑග්ග, මෙන්ම ආරාධනා (රෝහණ වීරසිංහ සමග) එච්. එම්. ගේ චිත්‍රපට සංගීත නිර්මාණ අතර වේ. සුනිල් ආරියරත්නයන්ගේ මුහුදු ලිහිණි චිත්‍රපටය සදහා වුවද එච්. එම්. ගේ සංගීතය වසරේ විශිෂ්ටතම සංගීත අධ්‍යක්‍ෂණයට මෙන්ම හොඳම තනුව සඳහා ද ජනාධිපති සම්මානයට තෝරා ගනු ලබන්නේ එහි වූ අපූර්වත්වය නිසාම ය. ඔහු එය ප්‍රතික්‍ෂේප කිරීම වෙනම කරුණකි.

ගීතයේ සිට සිනමාව තෙක්‌ ගලා ගිය ඔහුගේ සංගීතය තුළ අප හඳුනාගන්නේ සුවිශිෂ්ට සංගීත භාවිතයක නිරත වූ අතිශය විරල ගණයේ සංගීතඥයෙකි. සිනමා සංගීතයේදී බොහෝ විට හිස්‌තැන් පිරවීමට සංගීතඥයන්ට සිදු වී තිබේ. එහෙත් එච්. එම්. කිසි විටෙක එබදු නාස්‌තිකාර වැඩට සිය සංගීත ප්‍රතිභාව අලෙවි කර නැත.

එච්. එම්. සංගීත ප්‍රතිභාව උපතින් ම රැගෙන ආවෙකි. ඔහුම සඳහන් කරන ආකාරයට කේමදාස, පණ්‌ඩිත් අමරදේව, සෝමදාස ඇල්විටිගල වැනි සංගීතඥයන් සමඟ ඔහුට ගුරු ඇසුරක්‌ තිබී ඇත. එහෙත් ඔහුගේ සංගීතඥානය පෙර භවයන්හි ලද පින්මහිමයක්‌ බව ද ඔහුගේම සමකාලීනයෝ කියති. කිසිවකුට ශාස්‌ත්‍රාලීය පුහුණුවක්‌ හෝ වෙනත් ගුරු ඇසුරක්‌ හෝ නොමැතිව කිසියම් ක්‍ෂේත්‍රයක විශාරදයකු හෝ ප්‍රාමණයකු විය නොහැක. එහෙත් එච්. එම්. ගේ මේ දුලබ ප්‍රතිභාව පෙර කල පඬිවරුන් සඳහන් කළ වාසනා ගුණයම විය යුතුය. එච්. එම්. නිසැකයෙන්ම ප්‍රතිභා, වාසනාගුණ හා ව්‍යqත්පත්ති යන ලක්‍ෂණ වලින් සමන්විතය.

එච්. එම්. ගේ ඇතැම් සංගීත රචනයක්‌ එක්‌වරම අපට ආචාර්ය කේමදාසයන් සිහිපත් කරන අවස්‌ථා ද වේ. එහෙත් අවධානයෙන් සවන් යොමු කරන විට එච්. එම්. ගේ ස්‌වීය ලක්‍ෂණත්, අනන්‍යතාවත් හඳුනාගත හැකිය. මා මේ පිළිබඳව බොහෝ විට කල්පනා කර ඇත්තෙමි. මට හැඟෙන පරිදි එච්. එම්. ට කේමදාසයන්ගේ ආභාෂය වඩාත් ළං වී තිබේ. අනෙක්‌ අතට මේ දෙදෙනාම සම්මත සංගීත සම්ප්‍රදායයන් තුළින් බිහිවූවෝ නොවෙති. ඒ සමානත්වය ද ඔවුනොවුන් අතර වූ ගෞරව සම්ප්‍රයුක්‌ත ගුණය ද එබඳු සමානත්වයකට හේතු විය හැකිය.

එච්. එම්. ගේ සංගීත කලා ජීවිතය හතලිස්‌ වසරක්‌ මුළුල්ලේම නොසිඳී නොබිඳී ගලා ගියේත් ගලා යන්නේත් ඔහුට වඩා රසිකයන්ගේ භාග්‍යයකට යෑයි මම සිතමි. ඔහු කිසිවිටෙක සිය සංගීත ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමට ගියේ ද නැත. එහෙත් ඔහුගේ ජීවිතය සංගීතයම විය. නොකල්හි සමුගෙන ගිය ප්‍රිය බිරිඳ මාලිනී බුලත්සිංහල සමඟ ඔහු ජීවත් වූ කුටුම්බයේ හැම තැනකම සුලභව යමක්‌ වී නම් ඒ සංගීතය පමණි.

මා දන්නා තරමින් එච්. එම් ට ආඪ්‍ය භෞතික සම්පත් නොවීය. ඔහු ඒවාට ලොල් වූයේ ද නැත. ඔහු ජීවත් වූ රාජගිරියේ නිවසට ද මම කීපවරක්‌ ගොස්‌ ඇත්තෙමි. සැඳෑ අඳුරින් වට වූ නිවස විදුලි පහනකින් එළි වී තිබුණි. මධුවිතකින් ද සප්පායම් වන එච්. එම්. සර්පිනාව හඬවයි. එයින් ගලා යන්නේ මා කම්පිත කරවන ශෝකී රාග තාලයන්ය. එහෙත් එච්. එම්. කිසිදිනක හඬාවැටුණේ නැත. මාලිනී මිය ගිය දින මට මතකය. මම ඔහුගේ නිවසට ගියෙමි. මගේ ළයට තුරුළු වූ එච්. එම්.ගේ ඉකි බිඳින සුසුම් හඬ මට දැනුණි. කොහොමටත් එච්. එම්. වැඩි කතාබහක්‌ නැති නිහඬ මිනිසෙකි. එහෙත් අප ජීවත් වන තැවුල් පිරි ලොවින් මිදී අපූර්ව සංගීත කල්පනා ලොවකට පිවිස සිය හැඟීම් සෝ තැවුල් නිවා ගැනීමට ඔහු හුරු වී සිටින්නට ඇත.

එච්. එම්. ගේ සංගීත කලා දිවිය ඇගයීම සඳහා ඔහුගේම සහෘදයින් පිරිසක්‌ සූදානම්ව සිටිතියි මට වාර්තා විය. සිංහල සංගීතයට ඒ සා විශිෂ්ට ප්‍රදානයන් කළා වූ ද, එහි පෝෂණයට නන් අයුරින් සම්මාදම් වූද, සුවිශිෂ්ට සංගීතඥයකු ලෙස එච්. එම්. සුදිලෙයි. ඔහුගේ සංගීත ප්‍රතිභාව ද, සංගීත භාවිතය ද විචිත්‍ර ද රමණීය ද වේ. ඔහු මේ රටේ අග්‍රගණ්‍ය ගායන ශිල්පීන්ට හා ශිල්පීනියන්ට ද නව පරපුරේ ශිල්පීන්ට ද සිය සංගීත නිර්මාණයේ මහත්ඵල නිර්ලෝභීව පිරිනැමූ සංගීතවේදියෙකි.

එච්. එම්. මෙන්ම ඔහු ප්‍රියාවි මාලිනී ද ආධුනික ගායක ගායිකාවන්ට මහත් සේ අනුබල අනුග්‍රහ දැක්‌වූහ. කිසිම දිනෙක පුවත්පතකින් ප්‍රචාරයක්‌ නො ඉල්ලන එච්. එම්. කිසියම් දිනක මා අමතා එබඳු අනුග්‍රහයක්‌ ඉල්ලුවේ නම් ඒ තරුණ ශිල්පියකු හෝ ශිල්පිනියක වෙනුවෙන්මය. පහන්කන්ද මුල අඳුරුය. එහෙත් ඒ අඳුර යට සිටින පමණක්‌ නොව ජීවත්වන සොඳුරු මිනිසකු ලෙස එච්. එම්. මම දකිමි. ආදරය, දයාව, පරිත්‍යාගය, ඔහුට ලැබුණු ප්‍රමාණයට වඩා සිය දහස්‌ ගුණයකින් ඔහුගෙන් ලැබුණු බව පමණක්‌ මම මෙහි ලියා තබන්නෙමි.

එච්. එම්. ගේ සංගීතය ගැඹුරින් විග්‍රහ කිරීමට මම කිසිසේත් වෑයම් නොකරමි. ඒ සඳහා මට නිසි රිසි සංගීත ඥානයක්‌ ද නැත. සංගීත කලාව පිළිබඳ ප්‍රමාණිකයෝ එයට නිස්‌සෝ ය. එහෙත් රසිකයකු හා සහෘදයකු ලෙස මගේ වින්දනය මම මෙහි සටහන් කළෙමි. අවසන් වශයෙන් එක්‌ දෙයක්‌ කිව යුතුය. ඔහු විසින් විශද කරන ලද සංගීත ප්‍රතිභාව හා සමඟ බලන විට එච්. එම්. සිටිය යුත්තේ අද ඔහු සිටින තැනට වඩා උස්‌ තැනක යෑයි මම සිතමි. ඔහු සිය සංගීත චාරිකාවේ ඔහුට යා හැකි දුර හෝ තවම ගොස්‌ නැතැයි මම සිතමි. මා හමු වූ විටක ඔහු සතු උත්ප්‍රාසය මුසු සිනහවකින් මගේ ඒ කියමනට ප්‍රතිචාර දක්‌වනු නිසැකය.

දුලබ සංගීත ප්‍රතිභාවකින් සපිරුණු අදීන සංගීතඥයකු ලෙස ඔහු සිය දහසක්‌ සහෘද ජන ප්‍රණාමයන්ට ලක්‌වන බව ද මම දනිමි. හෙට ලියෑවෙන සංගීත කලා ඉතිහාසයේ ඔබයි රම්‍ය සඳ කිරණ යෑයි ඔබ වෙනුවෙන් ලියන නන් නාඳුනන සහෘදයාගේ සුරත සිඹින්නට හා මා ද ඔබම වීය යෑයි ගයන්නට කවුරුන් හෝ එන බව පමණක්‌ මම ලියා තබමි. එච්. එම්. ඔබට චිරං ජයතු

 ගාසු
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.