මෙන්න රාජ්‍ය තාන්ත්‍රිකයෝ

බ්‍රිතාන්‍යයේ චැනල් 4රූපවාහිනි නාලිකාව ඔස්‌සේ විකාශය කරන ලද ශ්‍රී ලංකා කිලිං ෆීල්ඩ් (Sri lanka Killing Field) නමැති වාර්තා චිත්‍රපටය ව්‍යාජ හා අසත්‍ය කෙප්පයක්‌ බව තහවුරු කළ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍රÊසිල්වා එහි අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ ප්‍රමුඛ සියලු කුලීකරුවන් නිරුවත් කර තිබෙන මොහොතකි මේ. මේ අධම ව්‍යාපාරය පසු පස සිටි කිසිවෙක්‌ තව දුරටත් විළි වසා ගැනීමට ඇඳුම් ඇඳිය යුතු නැත.

මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් පිළිබඳව වැදි බණ දෙසන හියුමන් රයිට්‌ස්‌ වොච්, ඇමිනෙස්‌ටි ඉන්ටර්නැෂනල් වැනි ආයතනවල ක්‍රියාකාරීහුද නිව්යෝක්‌හි චර්ච් සෙන්ටර් ශාලාවට රැස්‌ව සිටියාහු ශ්‍රී ලංකාවට දෙඤ්ඤං බැටේ යන සිතිවිල්ලෙනි. ජාත්‍යන්තර තානාපතිවරුන්ද කැඳවා සිය අශෝබන මෙහෙයුම දියත් කිරීම සඳහා දත මැදගෙන සිටි මේ මහත්හොරුන් මුහුණ දුන්නේ කිසි විටෙක අපේක්‍ෂා නොකළ තත්ත්වයකටය. එහෙත් අධිරාජ්‍යවාදය යනු අශිෂ්ට, අවලම් තක්‌කඩි මංකොල්ලයක්‌ නිසා මොවුන්ගේ ඊළඟ වටය ගැනද අප බලාපොරොත්තුවෙන් සිටිය යුතුය.

තවමත් ඊළාම් කොඩිය බිම නොදැමූ දෙමළ ඩයස්‌පෝරාවේ ඩොලර්වලින් යෑපෙන ජාත්‍යන්තර හා දේශීය වනචරයෝ ශවීන්ද්‍ර සිල්වාගේ ක්‍ෂණික මෙහෙයුම පිළිබඳව කුමක්‌ කියත්ද?

සත්තකින්ම මේ තීරණාත්මක මොහොතේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තලයේ අප රට නියෝජනය කළ යුත්තේ ශවේන්ද්‍රÊසිල්වා වර්ගයේ තානාපතිවරුන් නොවේද? රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද භාවිත කරමින් කුසීතයන් සේ කාමරවලට වී සිටින්නා වූද සිය සුතනඹුවන් සමඟ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ මුදලින් සුරසැප විඳින්නා වූද, සම්මත තානාපති සේවය අවසන් කළ යුතු හෝරාව එළඹ තිබේ.

එල්. ටී. ටී. ඊ. ව්‍යාපාරය ජාත්‍යන්තරව තහවුරු වූයේද, බටහිර ප්‍රජාවගේ අවධානයට ලක්‌වූයේද අපගේ වඳ පීදුනු රාජ්‍යතාන්ත්‍රික රූකඩ නිසා බවද අපි නිර්භයව කියමු. එංගලන්තය, ප්‍රංශය, ඇමෙරිකාව වැනි රටවල විවෘත සංවාදයකට එක්‌ව කොටි සමඟ කරට කර සිටිය හැකි තානාපතිවරු කීදෙනෙක්‌ අපට සිටියෝද?

බටහිර ජනමතය මෙන්ම පාලක අභිමතයද එල්. ටී. ටී. ඊ. ව්‍යාපාරයට අවශ්‍ය පරිදි සකස්‌වීමේ එක්‌ ප්‍රබල හේතුවක්‌ වූයේද ඒ බොහෝ රටවල් නියෝජනය කළ ශ්‍රී ලංකාවේ නපුසංක විදේශ සේවය හැර වෙන දෙයක්‌ නොවේ. මහා බ්‍රිතාන්‍ය වැනි රටවල සිටි ඇතැම්හු කොටි සමඟ සාද පැවැත්වූවෝ බවටද චෝදනා නැගුණි.

ඒ පසුබිම දෙස බලනවිට ශවීන්ද්‍ර සිල්වා යනු සම්මතය හා ගතානුගතිකත්වය නමැති යදම බිඳ දමා ස්‌වකීය මාතෘභූමිය වෙනුවෙන් විශිෂ්ටතම සේවයක්‌ ඉටු කළ වීරයකු බව අපගේ අවංක විශ්වාසයයි.

නිව්යෝර්ක්‌ චර්ච් සෙන්ටර් ශාලාවට ගාල්වූ කොටි නඩයේ සියලු අපේක්‍ෂාවන්, අනාගත ඉලක්‌ක යනාදී සියල්ලම ව්‍යර්ථ කර දැමීමට ශවීන්ද්‍ර සිල්වාට හැකිවීම ශ්‍රී ලංකාවේ පරම භාග්‍යයක්‌ බව අපි හඟිමු. අප කෙරෙහි දැඩි ලෙස උරණවී සිටින ජයලලිතා ජෙයරාම් තමිල්නාඩු මහ ඇමැතිනිය ශ්‍රී ලංකා විරෝධය නමැති විෂ දුම් පිට කරමින් සිටින්නීද මේ වර්ගයේ ව්‍යාජ තොරතුරු ගෙඩිපිටින් ගිල දැමීම නිසා බවද අපි හඟිමු.

කෙසේ හෝ යුද බිමේදී ගැටුණු සිය ප්‍රතිවාදී නායකයන්ට පවා ගෞරව කළ ශ්‍රී ලාංකික ඉතිහාසයේ උරුමය මත යුද අපරාධ නමැති හංවඩුව ගැසීමට අද බටහිරයන්ට නොහැකි වන්නේ ශවේන්ද්‍ර සිල්වා වැනි වීරයන් නිසා බවද අපි කෘතවේදීව සිහිපත් කරමු.

ශ්‍රී ලංකාව ලද ඓතිහාසික විජයග්‍රහණය ආපස්‌සට හැරවීමට ජාත්‍යන්තර හා දේශීය වශයෙන්ද කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බව ඇත්තය. එහෙත් ඒවා පිළිබඳ පුනරුච්චාරණය කිරීමෙන් පමණක්‌ අපට ජාත්‍යන්තර ප්‍රසාදය දිනාගත නොහැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව නිර්මාණය වී තිබෙන චිත්‍රය වෙනස්‌ කිරීමත් සදොස්‌ මත නිදොස්‌ කර ගැනීමත්ය. එසේ නොමැතිව දේශ ප්‍රේමිත්වය යනු ආණ්‌ඩුවේ සියලු වැරදි හා දේශපාලන මුග්ධ ක්‍රියාකාරකම් වසා ගැනීමට තිබෙන කඩතුරාවක්‌ නොවන බවද සිහිතබා ගත යුතුය.

අපි අවසන් වශයෙනුත් මෙසේ කියමු. දරුස්‌මාන් වාර්තාවෙන් හෝ කැල්ලම් මැක්‌රේලාගේ කිලිං ෆීල්ඩ්වලින් හෝ ශ්‍රී ලංකාව දංගෙඩිය කරා ගෙන යාම වැලැක්‌වීමට නම් ශවීන්ද්‍ර සිල්වා වර්ගයේ වීර තානාපතිවරු එක්‌ අයෙක්‌ නොව කීප දෙනෙක්‌වත් නිසැකයෙන්ම අවශ්‍ය වෙති. එබඳු ශ්‍රී ලාංකික විශිෂ්ටයන්ට අපි හිස නමා ආචාර කරන්නෙමු. අප මෙන්ම මේ මාතෘභූමියෙහි නිදහස හා අභිමානය අගයන සියලු ශ්‍රී ලාංකිකයෝද එබඳු ලංකා පුත්‍රයන්ට ගරු කරන්නාහු නිසැකය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.