දරුවා අරන් ගියේ නපුරු හිතකින් නොවේ
ඒත් අනුන්ගේ දරුවෙක්‌ හොරෙන් අරන්යන්න බෑ


 

කැලණිය පොලිස්‌ ස්‌ථානාධිපති
අජිත් පුෂ්පකුමාර මහතා

"දිළිනි පැටියෝ ඔයා කොහේද? මීට හරියටම සත් දිනකට පෙර අපි ඒ සුරතලිය පැහැරගෙන යැමේ අනුවේදනීය පුවත රටට හෙළි කර සිටියේ එලෙසිනි.

ඒ වගකිවයුතු අංශවලට මෙන්ම සමාජයේ සියලු පාර්ශ්වයන්ට මේ පැටික්‌කිය සොයා ගැනීමට හැකිතාක්‌ සහාය දක්‌වන ලෙසට වූ සංවේදී ආයාචනයක්‌ද සමගිනි.

අපි දිළිනි පිළිබඳ එසේ සටහනක්‌ තබා කාලය දිනෙන් දින ගෙවී යමින් තිබුණද ඒ පැටික්‌කිය ගැන හෝඩුවාවක්‌ හෝ ලැබුණු බවක්‌ දැනගැනීමට නම් නොවිණි.

මේ අතරේ දිළිනි මෙලොවට බිහි කළ නොව ඇය හදා වඩා උපන් දරු සෙනෙහස හමුවේ වාවාගත නොහැකි මහා දරු දුකකින් පෙළෙමින් සිටි ඒ අම්මා වරින් වර දුරකථනයෙන් අප අමතන්නට වූවාය.

"අනේ මහත්තයෝ මගේ දරු පැටියා තවමත් හොයා ගන්න නැහැ මහත්තයෝ... පොලිසියේ මහත්වරු පරීක්‍ෂණ කරනවා... ඒත් අනේ මගේ පැටියා නැහැ මහත්තයෝ... එසේ අප අමතන සෑම අවස්‌ථාවකදීම ඇය අපට කීවේ මේ කතාවම පමණි.

මෙසේ ඇය වැළපෙමින් අප අමතන සෑම වාරයකදීම සියල්ල මොහොතකට අමතකව අපේ හදවත්ද සියුම් වේදනාවකින් බර වෙන්නට වූයේ අපටද නොදැනීමය.

ඒ සෑම වාරයකදීම අදාළ අංශ වෙත කතා කර කරුණු විමසිමක්‌ කිරීමටද අපි අමතක නොකළෙමු. "ඔව් දිළිනි තවම හොයා ගන්න බැරි වුණා... අපි දිගටම පරීක්‍ෂණ කරනවා... එකී විමසීම්වලදී නිරන්තරයෙන් අපට පිළිතුරු ලැබෙන්නට වූයේ එලෙසිනි.

මේ පැටියා.. දිළිනිට සිදු වූයේ කුමක්‌ද? එකී පිළිතුරු හමුවේ නිරන්තර ඒ පිළිබඳ අවධානයෙන් සිටි අප තුළද සෑම මොහොතක්‌ පාසාම වූයේ එවන් වූ ප්‍රශ්නාර්තයක්‌ම පමණි.

එහෙත් කාලය ගෙවී යමින් තිබුණද කොයි මොහොතකදී හෝ මේ පැටික්‌කිය පිළිබඳ තොරතුරක්‌ ලැබෙතැයි යන විශ්වාසයද අප තුළ විය.

සුපුරුදු ලෙසම කාර්යබහුලව තිබූ "දිවයින" කාර්යාලයේ දුරකථනයක්‌ ඉකුත් සිකුරාදා පෙරවරුවේ නොනවත්වා නාද වන්නට වූයේ මේ අතරතුරය. නිරන්තරයෙන් ලැබෙන දහසකුත් දුරකථන පණිවිඩ අතරේ ලැබුණු ඒ ඇමතුම කාගෙන්දැයි බැලීමට අපි ඊට ප්‍රතිචාර දැක්‌වුවෙමු.

"මහත්තයෝ අපේ දරු පැටියා හම්බවෙලා මහත්තයෝ... අන්න දැන් කැලණිය පොලිසියේ ඉන්නවා... එහා කෙළවරින් අප ඇමතූ පුද්ගලයකු මහා සතුටකින් ඒ පණිවිඩය අප වෙත ලැබෙන්නට වූයේ අප කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අයුරිනි.

"ඔව් දිළිනි හමු වෙලා... මේ පැටික්‌කිය වෙනුවෙන් කළ මෙහෙවරද සිහිවී හදවත් සියුම් සතුටකින් පිරීයද්දී දෙවරක්‌ නොසිතූ අප වහා කැලණිය පොලිසිය වෙත ඉගිල යන්නට වූයේ සිදුව ඇත්තේ කුමක්‌දැයි දැන ගන්නා වුවමනාවද සමගිනි.

අප එහි යන විටත් කැලණිය පොලිසියේ කාන්තා පොලිස්‌ නිලධාරින්ගේ සෙනෙහසට මැදිවී දිදුලමින් සිටින්නී අප සෙවූ දිළිනිය. පොලිස්‌ නිලධාරිනියක තුරුලේ සිටින ඇය වරෙක තමන් හැදූ අම්මා පෙන්වමින් සිහින් හැඬුමක්‌ හඬන්නීය.

එහෙත් ඊළඟ නිමේෂයේ එය අමතකවදොa යළි පොලිස්‌ නිලධාරිනියකගේ බහකට රැවටෙන පැටික්‌කිය සිසිල් බීම බිඳුවක රස බලමින් නැලවෙන්නීය.

වරෙක තමන් හැදූ අම්මාගේ අතට පනිනා දිළිනි ඇගේ ගෙල බදා ගනිමින් සුරතලයට මෙන් අපෙන් වසන් වන්නට තතනන්නීය. ඒ අතරේ සති ගණනාවකට පසු දුටු තම එකම සොයුරියගේ ගෙල බදා ගන්නා දිළිනි අතොරක්‌ නැතුව සිය අක්‌කා සිප ගනිමින් දක්‌වන සෙනෙහස සැබෑ සොයුරු ප්‍රේමයේ කැඩපතක්‌ව ඇත්තේය.

මේ සුරතලියගේ ඒ සොඳුරු දසුන් සමගින් මොහොතක්‌ නතරව සිටි අප අවසානයේ දිළිනි සොයා යැමේ මෙහෙයුමේ නියමුවා වූ කැලණිය පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක අජිත් පුෂ්පකුමාර මහතා වෙත යොමු වූයේ දිළිනි පැහැරගැනීමේ සැඟවුණු කතාව කුමක්‌දැයි දැන ගන්නා වුවමනාවෙනි.

"ඔව් අපි අත්අඩංගුවට ගත්ත සැකකාරියගෙනුත් කියෑවෙන්නේ එක්‌තරා අනුවේදනීය කතාවක්‌... එත් ඇය සිදු කර තිබෙන්නේ බරපතල වරදක්‌...

තවමත් දෙහැවිරිදි වියේ පසුවන මේ සිඟිත්තිය පැහැරගෙන යැමේ කතාවේ පැමිණිල්ල මුල්වරට කැලණිය පොලිසිය වෙත ලැබෙනුයේ පසුගිය මැයි මාසයේ 31 වැනිදාය.

එහිදී කිසිවෙකුටත් නොදැනී ඒ පිළිබඳ පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹන කැලණිය පොලිසිය දැරිය සොයා ගැනීමේ මෙහෙයුම හමුවේ මුලින්ම අත්අඩංගුවට ගන්නේ ඊට අධාර අනුබල දුන් බව කියෑවෙන කොළඹ කොච්චිකඩේ දේවස්‌ථානය අසළ සිඟමනේ යෙදෙන කාන්තාවකි

"ඔව් අප ඇය අත්අඩංගුවට ගත්තට පස්‌සේ ඉතාම වටිනා තොරතුරක්‌ අප වෙත ලැබුණා... ඒ දරුවා පැහැරගෙන ගියෑයි කියූ සැකකාරිය සතුව තිබූ ජංගම දුරකථනයේ අංක දෙකක්‌...

එය තිබුණේ අපි මුලින්ම අත්අඩංගුවට ගත් යාචක කාන්තාව සතුව... පසුව අප ඒ කාන්තාව රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඉදිරි පරීක්‍ෂණ ඒ ඔස්‌සේ ක්‍රියාත්මක කළා...

එහෙත් මෙහිදී එකක්‌ කිව යුතුයි... මේ දරුවා සොයා ගැනීම සඳහා වූ සැබෑ වුවමනාව නිසාම අප ඒ තොරතුරු කිසිවක්‌ කිසිවෙකුටත් හෙළි කළේ නැහැ... එහිදී අපට සමාජයේ විවිධ පාර්ශ්ව වෙතින් බරපතල දොaෂාරෝපණත් එල්ල වුණා... අප පරීක්‍ෂණ මග හරිනවා කියලා...

එහෙත් අප ඒ දේවල් හෙළි නොකර සිටියේ උපක්‍රමයක්‌ ලෙස බව අද කිවයුතුව තිබෙනවා...

මේ ජංගම දුරකථන අංක ඔස්‌සේ පරීක්‍ෂණ සිදු කළ කැලණිය පොලිසිය මුලින්ම කරනුයේ අධිකරණ නියෝගයක්‌ ලබා ගනිමින් එකී දුරකථන අංක පිළිබඳ අදාළ සමාගම් වෙතින් සවිස්‌තර වාර්තාවක්‌ ලබා ගැනීමය.

එහෙත් ඒ වාර්තාව ගෙන පරීක්‍ෂා කරබැලීමේදී අදාළ සිම් කාඩ් පත් දරුවා පැහැරගත් දිනෙන් පසු කිසිසේත් භාවිත කර නොමැති බව පෙනී යැමෙන් පොලිසිය හමුවට එන්නේ බරපතල ගැටලුවකි.

අවසානයේ පොලිසියේ අවධානය යොමු වන්නේ දරුවා පැහැර ගැනීමට පෙර සැකකාර කාන්තාව ලබාගත් ඇමැතුම් පිළිබඳවය.

"ඔව් එහිදී අපිට පෙනී ගියා මේ තැනැත්තිය දරුවා පැහැරගත් දිනයේ කැලණියේ සිට එක්‌තරා දුරකථන අංකයකට ඇමතුමක්‌ ලබාගෙන තිබෙන බව...

පසුව අප ඒ දුරකථන අංකයට ඇමතුමක්‌ ලබා ගත්තා... එහා කෙළවරින් පිළිතුරු දුන්නේ කවුදොa තරුණයෙක්‌... අපට වැටහුණා ඔහුගෙන් යම් තොරතුරක්‌ හෙළි කර ගැනීමට හැකිවෙයි කියලා...

එහෙත් අප ඔහුට දරුවා පැහැර ගැනීමේ සිද්ධිය පිළිබඳ මුලින්ම කිසිවක්‌ කියන්නට ගියේ නැහැ... එහෙම කළේ උපක්‍රමයක්‌ ලෙසින්

අපි කළේ උපක්‍රමශීලීව දිගින් දිගටම ඇමතුම් ලබා ගනිමින් එම තරුණයා සහ අප අතර මුලින්ම සමීප මිත්‍රත්වයක්‌ ගොඩනගා ගැනීම...

මෙසේ ටික දිනක්‌ ගත වෙද්දී කැලණිය පොලිසියේ ස්‌ථානාධිපතිවරයා සහ එකී තරුණයා අතර පැහැදිලි මිත්‍රත්වයක්‌ ගොdඩනැගෙන්නේ පොලිසිය බලාපොරොත්තු වූ ලෙසින්මය...

"ඔව් සර්... ඕන වෙලාවක කතා කරන්න... මම මේ පැත්තේ දන්න දෙයක්‌ තියෙනවා නම් සර්ට කියන්නම්... එකී මිත්‍රත්වය පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා බලාපොරොත්තු වූ තැන දක්‌වාම වර්ධනය වී එන්නේ එලෙසිනි.

මේ අතරේ ඉකුත් බ්‍රහස්‌පතින්දා කැලණිය පොලිසියේ ස්‌ථානාධිපති අජන්ත පුෂ්පකුමාර මහතා මේ තරුණයාට ඇමතුමක්‌ ලබා දෙන්නේ දිළිනි සොයා ගැනීමේ මෙහෙයුමේ අවසාන අධියර ක්‍රියාත්මක කිරමිනි.

"මල්ලී ඔයාගේ ඔය ෙµdaන් එකේ තියෙන් සිම් එක ඔයාගේ නෙමේනේ... මේකයි මල්ලී... ඔයාට පහුගිය 31 වෙනිදා කැලණියේ ඉඳලා ගෑණු කෙනෙක්‌ කෝල් එකක්‌ දීලා තියෙනවා... ඒ ගෑණු කෙනා දරුවෙක්‌ පැහැරගෙන ගිය කෙනෙක්‌... අපි දැන් ඒක හොයනවා... ඔයාට පුළුවන්ද තොරතුරක්‌ දෙන්න...

"ඔව් සර්... මම ඒ ගැන දන්නවා... ඒ දරුවා අරගෙන ආවේ අපේ ගමේ අක්‌කා කෙනෙක්‌... එයා දැන් ගෙදර ඉන්නවා... හැබයි සර්ල දැන් එන්න එපා... මම සර්ලට කියන්නම් එන්න ඕන වෙලාව...

අවසානයේ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා සහ එකී තරුණයා අතර පැවති දුරකථන සංවාදය අවසන් වූයේ පොලිසිය බලාපොරොත්තු වූ ලෙසින්ම දිළිනි සොයා ගැනීම සඳහා ක්‍රියාත්මක කළ රහසිගත සැළසුම මල්පල ගන්නා තැනට ළඟා වෙමිනි.

"ඔව් අපි ඒ විදිහට මේ මෙහෙයුමේ අවසාන අධියරට ළඟා වෙලා ඉන්න අතරේ තමයි සිකුරාදා උදේ ඓක පාරටම මේ තරුණයා මට කථා කළේ...

සර්... සර්... සර්ලා දැන් එන්න... මේ වෙලාවේ ඒ අක්‌කයි දරුවයි ගෙදර ඉන්නවා... සර්ලා දැන්ම එන්න... තරුණයා පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට දුන් එකී ඇමතුමෙන් පවසා සිටියේ එවැන්නකි.

"ඒ අමැතුමත් සමගම අපි වහාම ක්‍රියාත්මක වුණා... තරුණයා කියන නිවස තිබුණේ පිළියන්දල මඩපාත පාරේ තැනක... කාන්තා උප පොලිස්‌ පරීක්‍ෂක ප්‍රබෝදනී, පොලිස්‌ පරීක්‍ෂක කොඩිතුවක්‌කු සහ සැරයන් (1354) කොඩිතුවක්‌කු ඇතුළු අපි කණ්‌ඩායමක්‌ ඒ මොහොතේම කැලණිය ජ්‍යෙෂ්ට පොලිස්‌ අධිකාරි ආනන්ද විඡේසූරිය මහතාගේ විෂේශ උපදෙස්‌ හා අවසරයක්‌ මත ගියා එම නිවස සොයාගෙන...

අප එහි යන විටත් අදාළ සැකකාර කාන්තාව පැහැරගත් දරුවා වූ දිළිනිත් සමග ඒ නිවසේ සිටියා... අප ඇගෙන් ඇහුවා දරුවා තමන්ගේද කියලා... ඇය නිරුත්තර වුණා... ඒත් පස්‌සේ ඇය කිව්වා දරුවා තමන්ගේ නෙවේ මේ දැරිය තමයි කැලණියේදී පැහැර ගත්ත දිළිනි කියලා...

කැලණිය පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක අජන්ත පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරින් සහ කාන්තා උප පොලිස්‌ පරීක්‍ෂිකා ප්‍රබෝධනී එක්‌ව දිළිනි සොයා ගැනීමේ ඒ සූක්‍ෂම මෙහෙයුම සිදු කර තිබුණේ එලෙසිනි.

අප යළිත් මදකට පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා වෙතින් ඈත්ව දිළිනි දෙසට අවධානය යොමු කෙරුවෙමු. ඒ සුරතලිය තමන් හැදූ අම්මා ඇතුළු කලකින් දුටු තමන්ගේම අය අතරේ දඟකාර ලෙස සිටින්නේ රටක්‌ රාජ්‍යයක්‌ ලත් සතුටිනි.

වරෙක පොලිසිය තුළ රවුමක්‌ දිවයන්නී ඇය ඊළඟ නිමේෂයේ තමන් හැදූ අම්මා වෙත දිව විත් ඇගේ සුරතට මැදි වන්නේ ඉතාම සුන්දර සුරතල් සිනහවකින්ද මුව සරසා ගනිමිනි.

මෙලෙස දිළිනිගේ සුරතල් බලමින් සිටිනා අතරේ එක්‌ වරම මා දැස්‌ පොලිසියේ බංකුවක්‌ මත වාඩි වී හිස්‌ බැල්මකින් යුතුව සිටිනා කාන්තාවක්‌ වෙත යොමු වූයේ සියුම් සැකයක්‌ද සමගිනි.

ඔව් ඒ ඇයම වේ. අද දිළිනි පැහැරගෙන යැමේ සැකකාරිය ලෙස පොලිස්‌ අත්අඩංගුවට පත්ව සිටින්නී ඇයම වේ.

සිඟිති දරුවෙකුගේ ලෝකය සොරා ගනිමින් aමේසා විශාල වරදකට ඒ ගැහැණිය යොමු වූයේ ඇයි. සිතට නැගුණු කුහුල නිසාම මදකට මම ඇය වෙත සමීපව ඇය දෙස බැලුවෙමි.

අක්‌කේ... ඇයි ඔයා මේ දරුවා අරන් ගියේ... මම ඇගෙන් එක එල්ලේ එසේ ඇසුවෙමි.

මගේ ඒ පැනයත් සමගම දැසින් වැටෙන කඳුළු පොදි අතරින් මොහොතක්‌ මා දෙස බලා සිටි ඈ අවසානයේ මදකට හඬ අවදි කළාය.

"මගේ මහත්තයේ හිටියේ හිරේ...මත් කුඩු චෝදනාවකට එයාට අවුරුදු දෙකක සිර දඬුවමක්‌ ලැබිලා තිබුණේ... මහත්තයා හිරේට යනකොට එයා නිසා මට දරුවෙක්‌ ලැබෙන්න හිටියා.. ඒත් එයා හිරේ ඉන්න අතරේ දවසක්‌ ඒ දරුවා බඩේදිම නැතිවුණා..

මෙහෙම ඉන්නකොට තමයි පහුගිය මාසේ මහත්තයා නිදහස්‌ වෙලා එන්න තිබුණේ... එයා හරි වසයි... මට බය හිතුනා එයා අවාහම මම ළමයා නැති කළා කියලා හිතලා මට මොනවා හරි කරයි කියලා... ඒකයි මම දරුවා පැහැරගෙන ගියේ...

මම එහෙම කළේ මේ දරුවා මගේ මහත්තයාගේ දරුවා කියලා පෙන්නන්නයි.

ඇගේ ඒ කථාව හමුවේ මම මොහොතකට ගල් ගැසුනෙමි. ඇය කියන්නේ සත්‍යයක්‌ නම් මේ සමාජයේ කාන්තාවක මුහුණ දෙන්නාවූ අප නොදන්නා මෙවන් වේදනා බර හැඟුම් කොතෙකුත් විය හැකි වේද? දිළිනිගේ හැදූ අම්මා දිළිනි සුරතල් කරමින් සැනසෙන අයුරු යළි පෙනෙන්නට තිබේ.

සමන් ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.