විද්වත් හමුව
විද්‍යාත්මක ක්‍රමය පට්‌ටපල් බොරුවක්‌
කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පීඨාධිපති මහචාර්ය නලින් ද සිල්වා

රජරට වකුගඩු රෝගයට ද ප්‍රධාන හේතුව ලෙසින් කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්‌ඩායම ප්‍රකාශයට පත් කළ රජරට පානීය ජලයෙහි සහ පලිබෝධනාශකවල ආසනික්‌ අඩංගු වී ඇතැයි කළ නිගමනය විශාල ආන්දොaලනයකට තුඩුදී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රකට රසායන විද්‍යාඥයන් පිරිසක්‌ එම නිගමනය ප්‍රතික්‍ෂේප කිරීම එයට හේතුවයි. අද මේ සාකච්ඡාව පැවැත්වෙන්නේ රජරට ජලයෙන් සහ මහපොළොවෙන් ආසනික්‌ සොයා ගත්තේ යෑයි කියන පර්යේෂණ කණ්‌ඩායමේ නියමුවා සමගය. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පීඨාධිපති මහචාර්ය නලින් ද සිල්වා මහතායි.

ආසනික්‌ සම්බන්ධ ගැටලුව දැන් අපේ රටේ විශාල ආන්දෝලනයකට තුඩු දී ඇති කාරණයක්‌ වී තිබෙනවා. වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්‍ෂත් පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයාත් පවසන්නේ ඔබ ඇතුළු කැලණි විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්‌ඩායමේ නිගමන පිළිගන්න බෑ කියලයි?

"මේ අය පදනම් කරගන්නෙ අයිටීඅයි ආයතනය එනම් කාර්මික හා තාක්‍ෂණ ආයතනය කර ඇති පර්යේෂණයි. අයි.ටී.අයි. එකේ වැඩ ගැන මම එක දෙයක්‌ කියන්නම්. දැනට සති කිsහිපයකට කලින් අපි ආසනික්‌ සඳහා පරීක්‍ෂා කරල දෙන්න කියල අපේ සාම්පල් වගයක්‌ අයිටීඅයි එකට යෑව්වා. ඒ සඳහා මුදලුත් ගෙව්වා. නමුත් ඒවා පරීක්‍ෂා කරන්න බෑ කියල සල්ලිත් එක්‌කම ආපහු එව්වා. හේතුව හැටියට කිව්වෙ ඒවා පරීක්‍ෂා කරන්න ගිය එක්‌ තැනැත්තියක්‌ සිහි නැතුව ඇදගෙන වැටුන කියල. නැවත වතාවක්‌ යෑව්වම පරීක්‍ෂා කරල තිබුණ. කලින් වතාවෙ පරීක්‍ෂා කරන්න යෑව්වම සිහි නැතිවෙන්නත්, දෙවැනි වතාවේදී පරීක්‍ෂා කරන විට සිහිනැති නොවෙන්නත් හේතුව කුමක්‌ද? කොහොමත් ඔය ආයතනයෙන් දෙන නිගමන පිළිබඳ අපට සැකයක්‌ තිබෙනවා. ඒ අය පාවිච්චි කරන්නෙ එක ක්‍රමයයි. ඕකෙන් හැම දේම කියන්න බෑ."

ඕනෑම දෙයක්‌ පරීක්‍ෂා කර බලා නිගමනවලට එළඹීම සඳහා පිළිගත් විද්‍යාත්මක විධි ක්‍රමයක්‌ තිබෙනවා. ඔබ කියන්නෙ අයි.ටී. අයි ආයතනයේ එම ප්‍රමිතිය නැහැ කියලද?

"විද්‍යාත්මක විධි ක්‍රමය කියන්නෙ අමුම අමු මිථ්‍යාවක්‌ විදිහටයි මම සලකන්නෙ. විද්‍යාත්මක විධි ක්‍රමයක්‌ නෑ කියල ඕනම කෙනෙක්‌ ඉදිරිපිට මම ඔප්පු කරල පෙන්වනවා. අද ලෝකෙ තියෙන ලොකුම මිථ්‍යාව තමයි ඔය විද්‍යාත්මක විධි ක්‍රමය. නමුත් අයි.ටී.අයි ආයතනය විශ්වාස කරන විද්‍යාත්මක විධි ක්‍රමට අනුව වුණත් එක තැනකින් විතරක්‌ දත්ත අරගෙන පාඨාංක අරගෙන නිගමනවලට එන්න පුළුවන්ද?

අනෙක්‌ කාරණය අපේ රටේ පළිබෝධ නාශකවල ආසනික්‌ නෑ කියල කිසිම පුද්ගලයකුට කියන්න බෑ. ඒ අයට කියන්න පුළුවන් අපේ ක්‍රමයට අනුව මේ යන්ත්‍රයෙන් සිදු කළ පරීක්‍ෂණවලදී මේ පළිබෝධ නාශකවල ආසනික්‌ තිබුණෙ නෑ කියල. ඒ අනුව සියලු පළිබෝධ නාශකවල ආසනික්‌ නෑ කියන්න පුළුවන්ද? ඒක හරියට අපි සුදු කපුටෙක්‌ දැක්‌කෙ නෑ කියල ලෝකෙ සුදු කපුටො නෑ කියනව වගේ කතාවක්‌."

ඊළඟ කාරණය ඔය අයගෙ රසායන විද්‍යාව කියන්නෙ සූප ශාස්‌ත්‍රයක්‌. මොනව හරි කෑමක්‌ හදන කොට එකතු කරන ප්‍රමාණ තියෙනවනෙ. දෙහි මිලි ග්‍රෑම් 3 යි පිටි කිලෝ ග්‍රෑම් 1 වගේ. ඒක රසායන විද්‍යාව නෙමෙයි. සූප ශාස්‌ත්‍රය. මේ අය රසායන විද්‍යාව කරන්නෙත් එහෙමයි. නයිටි්‍රක්‌ ඇසිඩ් මෙච්චරයි. අර භෂ්මය මෙච්චරයි. මේ උෂ්ණත්වයට රත් කරන්න ඕන. සුද්ද දීල තියෙන ඔය විධි ක්‍රමයට ආසනික්‌ අහුවෙන්නෙ නෑ. සමහර ද්‍රව්‍යවල අහුවෙන්නෙ තියෙන ප්‍රමාණයට වඩා අඩුවෙන්. කැලණි විශ්වවිද්‍යාලෙ කණ්‌ඩායම කළේ ඔය සුද්දගෙ පොතේ තියෙන ක්‍රමය සංශෝධනය කිරීමක්‌"

නමුත් කැලණි විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරය තුළ මෙබඳු පර්යේෂණයක්‌ කිරීමට පහසුකමක්‌ නැහැ කියල චෝදනාවක්‌ එල්ල වී තිබෙනව නේද?

"අපේ විද්‍යාගාරෙ යන්ත්‍ර සූත්‍ර කැඩිල කියල කිය කියා ඇවිදින ගැහැනු මනුස්‌සයෙක්‌ ඉන්නව. ඉස්‌සර කැඩිල තියෙන්න ඇති. එයා දන්නෙ නෑ දැන් ඒව හදල කියල. යන්ත්‍රයක්‌ එක දවසක්‌ දෙකක්‌ කැඩිල තිබුණට ඒක හැමදාම කැඩිල කියල නිගමනය කරන්න විද්‍යාඥයකුට පුළුවන්ද? මම අභියෝග කරනව එයාටයි ඔය කතාව කියන අනිත් අයටයි ඇවිත් බලන්ඩ කියල මේ යන්ත්‍ර වැඩ කරනවද නැද්ද කියල. අයි.ටී.අයි. ආයතනය පිළිගත් ආයතනයක්‌ වෙන්න ඇති. ඒකෙ යන්ත්‍ර සූත්‍රත් ඇති. නමුත් පරීක්‍ෂණ හරියට කරන්න ඕකේ මිනිස්‌සු ඉන්නවද කියල මම අහනව. අපට යන්ත්‍ර සූත්‍රත් තියෙනව මිනිස්‌සුත් ඉන්නව.

ඔබ පසුගියදාක ප්‍රකාශ කළා මේ ප්‍රශ්නය ජනතා අධිකරණයට බාර දීල කියල. නමුත් ආහාරවල සහ පළිබෝධ නාශකවල ආසනික්‌ තියෙනව කියන්නෙත් නැහැ කියන්නෙත් විද්‍යාඥයො. පර්යේෂණ අනුව විද්‍යාඥයන් ප්‍රකාශ කරන දෙයකට ජනතාව තීන්දුවක්‌ දෙන්නෙ කොහොමද?

උසාවියකදී නඩුවකට තීන්දුවක්‌ දෙන විනිසුරුවරයා විද්‍යාඥයෙක්‌ද? ඔහු සමහර විට පාලි හා බෞද්ධ අධ්‍යයනයක නිරත වූවෙක්‌ වෙන්න පුළුවන්. සිංහල බෞද්ධ චින්තනය ක්‍රිස්‌තියානි චින්තනයට වඩා හුඟක්‌ ඉහළයි. මිනී මැරුම් නඩුවක තීන්දුව දෙන්නෙ කවුද? සාමාන්‍ය මිනිසුන්ගෙන් යුතු ජූරි සභාවකින්. මේ මිනිහ මිනිහෙක්‌ මැරුවද නැද්ද කියල තීන්දු කරන්න අධිකරණ වෛද්‍ය විද්‍යාවේ හෝ වෙනත් විද්‍යාවක විශේෂඥයකු විය යුතු නැහැ. මේ වගේ දේවල්වලට තීන්දු දෙන්න ඕන ඒ ඒ ක්‍ෂේත්‍රවල විශේෂඥයො කියල හිතාගෙන ඉන්න එක මහා මිථ්‍යාවක්‌. මේවට තීන්දු දෙන්න හොඳම අය තමයි සාමාන්‍ය ජනතාව. දෙපැත්තම කරුණු ඉදිරිපත් කළාට පස්‌සෙ කවුද හරි කියල තීරණය කරන්න සාමාන්‍ය ජනතාවට පුළුවන්. දෙකෝටියකට වැඩි ජනගහනයක්‌ ඉන්න අපේ රටේ මේ ආසනික්‌ ගැන කෝටියක්‌වත් උනන්දු වෙනව ඇතිනේ. ඒ කෝටියම මේ ප්‍රශ්නයේ විනිශ්චයකරුවො. වඩා හරි එක්‌කෙනෙකුගෙ දෙන්නකුගෙ හරි එක ආයතනයක හරි නිගමනය ද නැත්නම් කෝටියකගෙ විනිශ්චයද?

අපේ රටේ ජනතාව භාවිත කරන ජලයේ සහ ආහාරවල ආසනික්‌ නැතැයි කියන කණ්‌ඩායම එල්ල කරන ප්‍රධාන චෝදනාව වන්නේ ඔබේ කණ්‌ඩායම ජලයේ සහ ආහාරවල ආසනික්‌ තිබෙනවා යෑයි සොයාගත් ක්‍රමවේදය විද්‍යාත්මකව තහවුරු කරල නෑ කියලයි. ඔබ සම්මත රසායන විද්‍යා නියමයන්ට අනුකූලව නෙමෙයිද මේ නිගමන ප්‍රකාශ කළේ?

විද්‍යාත්මක ක්‍රමය මම ප්‍රතික්‍ෂේප කළාට අපේ රටේ අධිපතිවාදී මතයක්‌ තියෙනව විද්‍යාත්මක ක්‍රමය හරියි කියල. රෝම ලන්දේසි නීතිය මම පිළි නොගත්තට යම් දිනයක උසාවියකදී මට කරුණු ප්‍රකාශ කරන්නට වුණොත් මට රෝම ලන්දේසි නීතිය පිළිගන්නට වෙනව. අන්න ඒ වගේ විද්‍යාත්මක විධි ක්‍රමය මම ප්‍රතික්‍ෂේප කළත් මහජනයා වෙනුවෙන් සිදුකළ මේ කාරණයේදී අපි කටයුතු කළේ සම්මත රසායන විද්‍යාවට අනුවයි. සම්මත රසායන විද්‍යාවේ නීති රීතිවලින් මූලික නියමවලින් බැහැර වන්නේ නෑ. අපි එහෙම කරන්නෙ විද්‍යාත්මක ක්‍රමය අද අපේ රටේ අධිපතිවාදය බවට පත්වෙලා තියෙන හින්දයි. මේ විද්‍යාත්මක ක්‍රමය මම දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා. අධිරාජ්‍යවාදීන් මේ ගැටයෙන් අද අපේ බෙල්ල හිරකරලයි තියෙන්නේ. මම මේ විශ්වවිද්‍යාලෙ විද්‍යාපීඨ පීඨාධිපති තමයි. මම මෙතෙන ඉන්නෙ මේ බොරුකාරයන්ගෙ විද්‍යාව උගන්වන්න නෙමෙයි. මේ විද්‍යාවට විරුද්ධව ළමයින්ට කරුණු කියන්න. මම පඩි ගන්නෙ මට නියම කරල තියෙන වැඩේට විරුද්ධ වැඩක්‌ කරලයි. ඒක සදාචාර නොවෙන්න පුළුවන්. නමුත් ඒක මගේ සදාචාරයට හරි. මගේ සදාචාරය තමයි රට. රටේ යහපත. මම බටහිර රසායන විද්‍යාව පිළිකෙව් කළත් මේ කාරණයේදී මම ක්‍රියාකරන්නෙ බටහිර රසායන විද්‍යාවට අනුවයි. මට මෙහි කිසි පටලැවිල්ලක්‌ නෑ.

මේ සියලු කණ්‌ඩායම් එක හඬින් ඉල්ලන්නෙ අපි පරීක්‍ෂා කළ සාම්පලවල ආසනික්‌ නෑ. ඒ සාම්පල්වල ආසනික්‌ තිබෙන බව නිගමනය කරන්න ඔබේ කණ්‌ඩායම අනුගමනය කළ ක්‍රමවේදය කුමක්‌ ද කියලයි?

පත්තරවලින් ජනමාධ්‍යයෙන් නෙමෙයි අපෙන් ලිතව ඉල්ලුවොත් ඒ ක්‍රමවේදය අපි දෙනව. පීඨාධිපති හැටියට මගෙන් නිල වශයෙන් ඉල්ලුවොත් ඒ ක්‍රමවේදය මම දෙනව.

නාථ දෙවියන්ගේ මඟ පෙන්වීම් මේ සොයා ගැනීම් සඳහා උපකාර වුණා යෑයි පළ වී ඇති තොරතුරු සහ මේ ක්‍රමවේදය අතර තිබෙන සම්බන්ධය කුමක්‌ද?

නාථ දෙවියො කියන්නෙ මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ සමඟ සන්නිවේදන කටයුතු කළ හැකි කාන්තාවක්‌ අපේ මේ කණ්‌ඩායමට සම්බන්ධව සිටිනවා. දෙවියන් ආරූඪ වීමක්‌ වැනි දෙයක්‌ නෙමෙයි. ඒ මහත්මිය සතු කිසියම් පාරමී ශක්‌තියක්‌ තිබෙනවා.

ආහාරවල පළිබෝධ නාශකවල ආසනික්‌ තිබෙන බවට මුලින්ම තොරතුරු කිව්වෙ ඒ මහත්මියද?

රජරට වකුගඩු රෝගය පිළිබඳ මම මගේ මිතුරන් සමඟ අවුරුදු කිහිපයක්‌ම සාකච්ඡා කළා. රජරට විශ්වවිද්‍යාලයේ සේවය කරන වෛද්‍ය චන්න ජයසුමන එයින් එක්‌කෙනෙක්‌. කොටි තර්ජන තිබුණු ඒ කාලේ අපි මුලින්ම හිතුවෙ මේක කොටින්ගෙ වැඩක්‌ කියලයි. අපි එහෙම සැක කළේ මේ රෝගය වැඩිපුරම පැතිරුණේ කොටි තර්ජනය තිබුණු ගම්මානවල නිසා. පසුව මම මගේ මිත්‍රයා කලින් සඳහන් මහත්මිය වෙත යොමු කළා. රජරට ප්‍රදේශයේ ජලයේ සහ පස්‌වල ආසනික්‌ ඇති බවත් මේ රෝගයට හේතුව එය බවත් ප්‍රකාශ කළේ ඇය. ඇය ඒ තොරතුරු ලබා ගත්තෙ නාථ දෙවියන්ගෙන්. ඒ වගේම අපේ කණ්‌ඩායමේ කිහිපදෙනෙක්‌ ඉන්නව භාවනාව දියුණු කරපු අය. ඔවුන් භාවනානුයෝගීව සමාධිගතව සිටින විට කිසියම් ද්‍රව්‍යයක්‌ දෙස බලා එහි අඩංගුව ඇති දේවල් හඳුනා ගැනීමට හැකියාවක්‌ තිබෙනවා. එය නාථ දෙවියන් හා සම්බන්ධ කාරණයක්‌ නෙමෙයි. රජරට ජලයේ සහ පස්‌වල ආසනික්‌ තිබෙන බව අපි නාථ දෙවියන්ගෙනුත් දැන ගත්තා. භාවනාව දියුණු කළ අපේ කණ්‌ඩායමේ කිහිපදෙනෙකුත් එය තහවුරු කළා. නමුත් අපි මෙය කාටවත් කිව්වේ නැහැ. අපි සම්මත රසායන විද්‍යාවට අනුව ඒ ගැන සොයා බැලුවා. නමුත් ඒ පරීක්‍ෂණවලදී අපට ආසනික්‌ තිබෙන බවට කිසිදු හෝඩුවාවක්‌ ලැබුණෙ නෑ. අපේ කණ්‌ඩායම නැවතත් භාවනාව තුළිsන් මෙහි නිරවද්‍යතාව පරීක්‍ෂා කළා. එහිදී ඒ අයට පෙනුණා ආසනික සොයන්නට භාවිත කරන ක්‍රමය වැරදි බව. පළමු ක්‍රමය මඳක්‌ සංශෝධනය කර ක්‍රියාත්මක කළ දෙවැනි ක්‍රමයේදී රජරට ජලයේ සහ පස්‌වල ආසනික්‌ ඇති බව පෙනුණා. අමුතු දෙයක්‌ කළේ නෑ. ඒ ඇසිඩ්මයි ඒ භෂ්මමයි. නමුත් එකතු කළ ප්‍රමාණවල වෙනසක්‌ සිදු කළා. මේක අපේ ක්‍රමයක්‌. භාවනාවෙන් සිත දියුණු කර සොයා ගත යුතු ක්‍රමයක්‌.

අපේ රටේ කිසිදු විද්‍යාඥයකුට මෙවැනි අදහසක්‌ පහළ වෙලා නැහැ. අවුරුදු 18 දී විශ්වවිද්‍යාලයට ඇවිත් අවුරුදු 66 ක්‌ විශ්වවිද්‍යාලයේ හිටපු මම අපේ රටේ බුද්ධිමතුන් හොඳට හඳුනනවා. අපේ විද්‍යාඥයො කරන්නෙ පොතේ තියෙන දෙයක්‌ අරං ප්‍රශ්නයක්‌ විසඳනව මිසක්‌ ඔවුන්ට අලුත් අදහස්‌ නෑ. අදහස්‌ පහළ වෙන්නෙ කොහොමද කියලවත් අපේ අද විද්‍යාඥයො දන්නෙ නෑ.

මේ සොයා ගැනීම කවර ආකාරයකින් සිදු වුණත් පානීය ජලයේ සහ ආහාරවල ආසනික්‌ අඩංගුව ඇත්නම් එය බරපතළ කාරණයක්‌. මෙහිදී ඔබ ජනතාවට දෙන පනිවිඩය කුමක්‌ද?

රජරට වකුගඩු රෝගය මේ ආසනික්‌ නිසා සෑදෙන බව අපට සියයට අනූනවයක්‌ම විශ්වාසයි. අද රට පුරා පැතිරෙන මී උණත් ඔය පළිබෝධනාශක නිසා ඇතිවන ලෙඩක්‌. එහෙම නැතිව මී මුත්‍රා නිසා නෙමෙයි. මී උණ පැතිරෙන්නෙ දැනට අවුරුදු 25 ක විතර කාලෙක ඉඳන්. මීට අවුරුදු 25 කට කලින් හිටපු මීයො මුත්‍රා කළේ නැද්ද? මේ පළිබෝධනාශක නිසා කුඹුරුවලට වස විස ඇවිත් තියෙනව. හේතුව ඒකයි. මේකට තිබෙන විසඳුම කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත නොකරන ගොවිතැනට නැවත යැමයි. ඊළඟට මේ වෙනුවට කාබනික පොහොර, හරිත පොහොර, කොම්පෝස්‌ට්‌ පොහොර ආදී නම් වට්‌ටෝරුවක්‌ තියෙනවා. ඒව නරකයි කියනව නෙමෙයි. නමුත් විසඳුම නෙමෙයි. ඒවත් බටහිරෙන් එන යෝජනා. ඊටත් වඩා පහසු ක්‍රියාත්මක කිරීමට ලේසි ක්‍රම තියෙනවා. අපේ ආචාර්යවරුයි ශිෂ්‍යයොයි එකතු වෙලා මේ කිට්‌ටුව කුඹුරක්‌ ඇස්‌වැද්දුව. අපි කෘමිනාශක පාවිච්චි කළේ නෑ. කැප්පෙටිය, නිදිකුම්බා වැනි කොළ වර්ග කිහිපයක්‌ පමණයි යෙදුවේ. අපි කන්න ගණනාවක්‌ එසේ වගා කළා.

මේ වෙනස දවසින් දෙකෙන් කරන්න බෑ. ආණ්‌ඩුව මැදිහත් වුණොත් තව වසර පහක්‌ ඇතුළත කෘෂි රසායන නැති ගොවිතැන් ක්‍රමයක්‌ රටේ ඇති කරන්න පුළුවන්.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.