උසස්‌ අධ්‍යාපනයට පිටරට ගිය දහස්‌ ගණනක්‌ අතරමං

ජනිත සෙනෙවිරත්න

උසස්‌ අධ්‍යාපනය සඳහා විදේශ රටවල් රැසකට ගිය ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ දහස්‌ ගණනක්‌ නිසි රැකියා නොමැතිව විවිධ අසීරුතාවන්ට පත්ව සිටිති. මෙයින් බොහෝ පිරිසක්‌ විවිධ ඒජන්සිකරුවන් හරහා විදේශගතවූ පිරිස්‌ය.

අධ්‍යාපනය ලබන අතරතුර මාසිකව රුපියල් ලක්‍ෂ තුනක්‌ හතරක්‌ අතර මුදලක්‌ ඉපැයිය හැකි බවටත් සුඛෝපභෝගී ලෙස එරට ජීවත්විය හැකි බවටත් ව්‍යාජ තොරතුරු ලබා දෙමින් ඒජන්සිකරුවන් විසින් මෙම තරුණ තරුණියන් විදේශගතකර ඇත්තේ රුපියල් ලක්‍ෂ 7, 8, 10, 12, 15 ආදී වශයෙන් මුදල් අයකර ගනිමිනි.

එසේ වුවද මේ වනවිට එංගලන්තය ඇතුළු බොහෝ රටවල පවතින වත්මන් තත්ත්වය තුළ එම රටවල ජීවත්වන පිරිස්‌වලට පවා සීමිත රැකියා සංඛ්‍යාවක්‌ පැවැතීම හේතුවෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ලෙස එරටට ගිය ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ බොහෝදෙනෙක්‌ රැකියා නොමැතිව විවිධ අපහසුතාවන්ට මුහුණදෙමින් ජීවත්වෙති.

එම රටවල නවාතැන්, ප්‍රවාහන වියදම් ආදිය ඉතාම ඉහළ මට්‌ටමක පැවැතීම නිසා මෙම තත්ත්වය වඩාත් උග්‍රවී තිබේ.

විශාල මුදලක්‌ ගෙවා විදේශ ගතවූ නිසා ආපසු මෙරටට හිස්‌ අතින් පැමිණෙන්නට බැරිකම හේතුවෙන් මෙම තරුණ තරුණියෝ කුමක්‌ හෝ ලැබෙන රැකියාවක්‌ කරන්නට පෙළඹී සිටිති. මේ ඇතැම් රැකියා අතර නීතිවිරෝධී රැකියාද ඇති බව සඳහන්ය. මේ අතර විදේශ රටවල්වලින් අධ්‍යාපනය සඳහා විශාල වශයෙන් පැමිණෙන පිරිස්‌ රැකියාවල නිරතවීම නිසා මතුව ඇති ප්‍රශ්න පාලනය කිරීමට මහා බ්‍රිතාන්‍යය විසින් නව නීති හඳුන්වා දී තිබේ.

ඒ අනුව ලබන වසරේ සිට බ්‍රිතාන්‍යයේ රජයේ විශ්වවිද්‍යාල හැර වෙනත් විශ්වවිද්‍යාල වෙත යන විදෙස්‌ සිසු සිසුවියන්ට රැකියාවල යෙදීම තහනම් වන අතර ඔවුන්ගෙන්a යෑපෙන්නන්ටද එරට රැකියාවල යෙදීම තහනම් කර තිබේ.

එරට විශ්වවිද්‍යාල සඳහා යන විදෙස්‌ සිසුන් පස්‌ වසරකට පසු තම රටට යැම අනිවාර්ය කර තිබේ.

එසේම අධ්‍යාපනයෙන් පසු අවුරුදු දෙකක්‌ රැකියාවල නිරතවීම ඒ සඳහා බලපත්‍රලාභී සමාගම්වලට පමණක්‌ සීමා කිරීමටද බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.