ලන්ඩන් සටහන්
සුජීව නිවුන්හැල්ල


සනත් අවසාන වරට එංගලන්තයේ

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රයේ ජයකෙහෙලි නැංවූ සනත් ජයසූරිය අවසාන වරට ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩා තරගයකට සහභාගිවීම සඳහා පසුගිය සතියේ එංගලන්තයට පැමිණියේය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරග මාලාව පසුගිය සතියේ අවසන් වූ අතර දැන් ඔවුන් එක්‌ 20(20 තරගයකට සහ එක්‌ දින සීමිත ඕවර තරග පහකට සහභාගිවීමට නියමිතය.

එක්‌දින තරග මාලාව සඳහා ක්‍රීඩා කිරීමට සනත් ජයසූරිය නැවතත් කණ්‌ඩායමට කැඳවා තිබුණද එංගලන්තය බලා පිටත්වීමට පෙර මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවූ ජයසූරිය කියා සිටියේ තමා ජුනි 25 වැනි සෙනසුරාදා බ්‍රිස්‌ටල් නුවර පැවැත්වෙන තරගයටත් ජුනි 28 වැනි අඟහරුවාද ලන්ඩනයේ ඕවල් පිටියේ පැවැත්වෙන පළමු එක්‌දින තරගයටත් පමණක්‌ ඔහු සහභාගි වන බවයි.

ඒ අනුව ඕවල් පිටියේ පැවැත්වෙන දිවා-රාත්‍රී තරගය සනත් ජයසූරියගේ අවසාන ජාත්‍යන්තර තරගය වනු ඇත.

තම තරුණ වියේදී ඉතා වේගවත් පිති හරඹයක නිරත වෙමින් ක්‍රීඩාලෝලී ජනයා කුල්මත් කළ ජයසූරියට දැන් වයස අවුරුදු 42 කි. තවමත් හොඳ ශරීර සෞඛ්‍යයකින් හෙබි ජයසූරිය තම සමුගැනීමේ තරගයේදීද හොඳින් ක්‍රීඩා කරනු ඇතැයි ක්‍රිකට්‌ ලෝලීහු බලාපොරොත්තු වෙති.

එසේ වුවද සනත් ජයසූරිය නැවත කණ්‌ඩායමට ඇතුළත් කිරීම පිළිබඳ පුහුණුකරු ස්‌ටුවර්ට්‌ ලෝ, හිටපු නායකයන් දෙදෙනකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්‌කාර තම අසතුට පළ කළ බව වාර්තා වේ.

ඒ පිළිබඳව පසුගිය ජුනි 20 වැනිදා එංගලන්තයේ පළවූ "ඩේලි මේල්" පුවත්පතද වාර්තාකර තිබුණ අතර මේ ප්‍රශ්නය නිසා කණ්‌ඩායමේ තරුණ ක්‍රීඩකයන් නොසන්සුන්තාවයට පත්වූ බවත් එම පුවත්පත වාර්තා කර තිබිණි.

ටෙස්‌ට්‌ තරග මාලාවට සහභාගි නොවී එක්‌දින කණ්‌ඩායමට අලුතින් එක්‌ කළ ක්‍රීඩකයින් වූ සනත් ජයසූරිය, තිළිණ කණ්‌ඩම්බි, ඇන්ජලෝ මැතිව්ස්‌, නුවන් කුලසේකර, ලසිත් මාලිංග සහ ජීවන් මෙන්ඩිස්‌ යන ක්‍රීඩකයන් එංගලන්තයට පැමිණියේ පසුගිය ජුනි 17 වැනි සිකුරාදාය.

ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ. එල්. 506 දරන ගුවන් යානයෙන් ලන්ඩනයට පැමිණි අතර එම ගුවන් යානයේ එතරම් මගීන් පිරිසක්‌ ගමන් නොකළ නිසා එම ක්‍රීඩකයෝ ගුවන් යානයේ ඔබ මොබ යමින් ගමන් කළ මගීන් සමග සතුටු සාමීචියෙහි යෙදුණාහ.

ඔවුන් ලන්ඩනයට පැමිණෙන විට ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ කණ්‌ඩායම සවුත්හැම්ටන් නගරයේ "රෝස්‌ බෝල්" ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි සහ අවසාන ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයට සහභාගි වෙමින් සිටියහ. එබැවින් ඔවුහු සවුත්හැම්ටන් බලා පිටත්ව ගියහ.

ශ්‍රී ලංකා එක්‌දින කණ්‌ඩායම පසුගිය ජුනි 22 වැනි බදාදා වුෂ්ටර්ෂයර් ප්‍රාන්ත කණ්‌ඩායම හා එක්‌දින පුහුණු තරගයකට සහභාගි විය. එම තරගයෙන් ශ්‍රී ලංකා පිල ජයගත්හ.

එම තරගයේදී සුපුරුදු පිතිහරඹයේ නිරතවූ සනත් ජයසූරිය පන්දු 60 කදී ලකුණු 78 ක්‌ ලබාගත් අතර කඩුලු 2 ක්‌ද දවා ගත්තේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජයසූරිය තම සමුගැනීමේ තරගයට සහභාගීවීමේදී ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරගයකට සහභාගි වන පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද වෙයි.

දෙමළ තරුණයින් ස්‌විට්‌සර්ලන්තයේ යකා නටයි

ස්‌විට්‌සර්ලන්තයේ සූරිච් නගරයේ වීදිවල බීමත් දෙමළ තරුණයන් කෑකෝ ගසමින් යකා නැටීම නිසා සමාන්‍ය ස්‌විස්‌ ජනයා මහත් අපහසුතාවකට පත්ව ඇති බව "ටේජර්සන්සීගර්" පුවත්පත වාර්තා කරයි.

සරණාගතයින් ලෙස ස්‌විට්‌සර්ලන්තයට පැමිණියද ඔවුනට රැකියා අවස්‌ථා නොමැති නිසා මෙසේ බීමත්ව හැසිරෙන බවත් කොටි ත්‍රස්‌තවාදීන් යුද්ධය පරාජය වීම නිසා ලඡ්ජාවට පත්ව සිටින මෙම තරුණයන් මෙසේ හැසිරෙන බවත් ස්‌විට්‌සර්ලන්තයේ මුද්‍රණය කරන මෙම පුවත්පත තවදුරටත් සඳහන් කරයි.

බීමත් මෙම දෙමළ තරුණයන්ගේ නොමනා හැසිරීම නිසා ස්‌විස්‌ ජාතිකයන්ට බියෙන් ජීවත්වීමට සිදුවී තිබෙන බවද එම පුවත්පත අවධාරණය කර තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.