ඒ ලොවින් බිඳක්‌ මෙහි ගෙන ආ පරතසාරථි



"ඒ ලොවින් බිඳක්‌ මෙහි ගෙන එනු මැනවි" යනු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සෞන්දර්ය තත්ත්වය නිරූපණය වූ කල්පනා ලෝකය ග්‍රන්ථයෙහි පරිච්ඡේදයක මාතෘකාවය. එහි සඳහන් "ඒ ලොව" කුමක්‌ද? එනම් මිනිසුන් ඇතුළු සත්ව ලෝකයෙහි සෑම තැන පැතිරී ඇති ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මද, මාන, මෝහ ආදී කිළිටිවීම්ගෙන් මිදුණු බ්‍රහ්මාස්‌වාදයට සම්පූර්ණ ආධ්‍යාත්මික සුවයක්‌ වූ බ්‍රාහ්මාස්‌වාදයට සම වැදෙන කලාකරුවා එම ලෝකයේ පවතින විසිතුරු දැ පුහුදුන් රසිකයන් වෙතට ගෙන එයි. රසිකයෝ ද මොහොතකට හෝ එම ලොවෙහි සැරිසැරීමේ වරම ලබති. පසුගිය 10 වැනි සිකුරාදා සවස බණ්‌ඩාරනායක සමරු කේන්ද්‍ර පරිශ්‍රයෙහි දී භාරතීය තාල වාදන ශිල්පී පරතසාරථි මුඛර්ජි ශිල්පියා විසින් කරන ලද්දේ එබඳු ප්‍රාතිහාර්යයකි. සිය තාල වාදනය වූ උත්තරභාරතීය සම්භාව්‍ය සංගීත සම්ප්‍රදායෙහි විශිෂ්ටතම භාණ්‌ඩය බවට පත්ව ඇති තබ්ලාව මගින් ඔහු මවා ලූ වාද්‍ය චමත්කාරය මෙරට රසිකයන් කලකින් අත්විඳි දුර්ලභ ආස්‌වාදයක්‌ ම විය.

පරතසාරථි මුඛර්ජි සූරීහු උත්තර භාරතයේ ඇති විවිධ තබ්ලා වාදක ගුරුකුල අතර බෙනාරස්‌ ඝරාණා නමින් හැඳින්වෙන ගුරු කුලයේ මෑතක සිටි අග්‍රගණ්‍ය වාදන ශිල්පී දිවංගත පණ්‌ඩිත ශම්ත ප්‍රසාද් සූරීන්ගේ ශිෂ්‍යයෙකි. පරතසාරථි සූරීන් තම භාණ්‌ඩය හැසිරවීමෙහි මෙන්ම එය වාදනය කර විවිධ ගුරුකුල අතර සම්භාවිත සම්ප්‍රදායයන් පිළිබඳව ලබා ඇති ප්‍රවීණතාව මෙම ප්‍රසංගය අවස්‌ථාවේදී මොනවට ප්‍රදර්ශනය කළ ආකාරය මනමෝහනීය විය. පරතසාරථී සූරීහු තම වාදනය කරමින් සිටින අවස්‌ථාවේ මොහොතක්‌ නැවතී තම පූර්වාචාරීන් සිහිපත් කළහ. ඔහු පැවසූ පරිදි මේ ඔහු උගත් ශාස්‌ත්‍රය පෞද්ගලික අයිතියක්‌ හෝ වස්‌තුවක්‌ හෝ නොවේ. එය අනන්ත වූ ගුරුකුල සම්ප්‍රදායයක්‌ ඔස්‌සේ පැවත ආ පොදු වස්‌තුවකි. ඒ රසෝඝයට විටින් විට ඒ ඒ ප්‍රවීණාචාරීන් විසින් එකතු කරන ලද වාද්‍ය කොටස්‌වලින් ද සමන්විතය. තමාම සිල්ප උගත් පණ්‌ඩිත ශාම්ත ප්‍රසාද් ගුරුතුමන් විසින් එක්‌ කරන ලද පදයක්‌ ඔහු විටෙක වාදනය කර පෙන්වූයේ ය.

තවත් විටෙක ඊට ජ්‍යෙෂ්ඨ වූ ආචාර්යවරු පණ්‌ඩිත අනෝකි ලාල් ප්‍රබන්ධ කළ පදයක්‌ වයා පෙන්වයි. තවත් විටෙක ඉතිහාසගත මහා ප්‍රවීණයකු වූ උත්සාද් වජීද් හුසේන් ඛාන්ගේ පදමාලාවක්‌ වයා පෙන්වයි. තවත් විටෙක එබඳුම මහා ප්‍රවීණයකු වූ පණ්‌ඩිත රාම් සහායගේ පද මාලාවක්‌ වයා පෙන්වයි.

තම වාදන සිල්ප දැක්‌වීම හුදෙක්‌ ප්‍රදර්ශනයක්‌ ම නොව අධ්‍යාපනික ව්‍යායාමයක්‌ ද කිරීමට පර්තසාරථ සූරීහු උත්සුක වූහ. තබ්ලා වාදන ශිල්ප සාගරයෙහි ඒ ඒ ගුරුකුල (ඝරාණා) අතර ඇති වෙනස්‌කම් විටින් විට ඉස්‌මතු කොට දක්‌වමින් තම වාදනය විචිත්‍රවත් කළේ එහෙයිනි. ඉතිහාසගතව ඇති පරිදි දහනව වැනි සියවසෙහි ලක්‌නව් රාජධානියෙහි නරනිඳු වූ වජීද් අලි ෂා සාහිත්‍ය සංගීතාදියෙහි නිමග්නව සිටි පාලකයෙකි. ලක්‌නව් රාජ්‍යය තමන් සතු කොට ගත් බ්‍රිතාන්‍ය පාලකයෝ වජීද් අලි ෂා නරනිඳුන් හා රාජ සභාව කලිකතාවට පිටුවහල් කළෝය. ලක්‌නව් ගුරු කුලයේම ශාඛාවක්‌ ලෙස ප්‍රභවය ලත් බෙණාරස්‌ (බරණැස්‌) ගුරු කුලය බිහිවූයේ එම සිද්ධියෙන් පසුව බව සැලකේ. මීට අමතරව දිල්හි ගුරුකුලය, තරුකා බාද් ගුරු කුලය (මෙහි අග්‍රගණ්‍ය ශිල්පියා වූයේ දිවංගත උස්‌තාද්a අහමද් ජාන් තිකේවාය. එතුමාගේ ශිෂ්‍යවර සනත් නන්දසිරි සූරීන් අප අතර සිටීම භාග්‍යයකි) ආදී වශයෙනි.

පරතසාරථී සූරීන් මේ සංගීත ශාස්‌ත්‍රය තම පෞද්ගලික අයිතියක්‌ නොවේ යෑයි පැවැසුවේ එම සියලු අතීත විශිෂ්ටයන්ට ප්‍රණාම කරමිනි. විටෙක පණ්‌ඩිත අනෝකි ලාල් ගේ රේලාවක්‌ වාදනය කොට දැක්‌වූ පරතසාරථී සූරීහු එම වාදකයාණන් අයත් බණාරස්‌ ගුරුකුලයේ වර්තමාන විශිෂ්ටයා වන පණ්‌ඩිත ස්‌වපන් චෞද්රිගේ පදයක්‌ ද අනතුරුව වාදනය කොට දැක්‌වූහ. තම ගුරුවරයා වූ පණ්‌ඩිත ශම්ත ප්‍රසාද් සූරීන්ගේ විශේෂත්වයක්‌ වූ බායන් කොටස හරවා තබා වාදනය කිරීම මගින් වෙනමම ස්‌වරයක්‌ තම වාදනයට එක්‌ කිරීමට පරතසාරථ ශිල්පියා සමත් විය.

පරතසාරථී මුඛර්ජී ශිල්පියා ලක්‌දිවට පැමිණියේ පණ්‌ඩිත අමරදේවයන් වෙනුවෙන් පිහිටුවා ඇති අමරදේව පදනමෙහි ආරාධනයෙනිs. තමන් මෙරටට පා තැබූ වෙලේ පිටරටකට ගියාක්‌ මෙන් නොව තමන්ගේම ජනතාවක්‌ අතරට පැමිණි බව තමන්ට දැනුණු අයුරු තම වාදනයට පෙර කළ කෙටි දෙසුමේදී සඳහන් කළහ. පරතසාරථී සමඟ ලෙහෙරා වාදනයෙන් සහාය වූයේ තරුණ සාරංගි වාදකයකු වන dරුක්‌ ලතීa ඛාන් ය. භාරතීය සංගීත ක්‍ෂේත්‍රයෙහි හින්දු හා මුස්‌ලිම් බැතිමතුන් අතර ඇති සහෝදරත්වය හා අෙන්‍යාaන්‍ය සබඳතාව ප්‍රකට කරන මෙවැනි අවස්‌ථා බහුලය. මා අසා ඇති පරිදි මෑතකදී අප අතරෙන් වියෝ වූ අග්‍රගණ්‍ය ෂනායි වාදක උස්‌තාද් බිස්‌මිල්ලා ඛාන් වනාහී මව්පසින් බරණැස සුප්‍රකට හින්දුදේවාලයක නිලෂනායි වාදක පරපුරකින් පැවත එන්නෙකි. උත්තර භාරතයේ හින්දු විවාහ මංගල්‍යයන් හි අත්‍යවශ්‍යම සංගීතය වන ෂනායි වාදනය බොහෝ විට සැපයෙන්නේ මුස්‌ලිම් ශිල්පීන්ගෙනි. උත්තර භාරතීය රාගධාරී සංගීතයේ දැවැන්තයන් අතර උස්‌තාද් බිස්‌මිල්ලා ඛාන්, උස්‌තාද් අල් අක්‌බාර්ඛාන් වැනි මුස්‌ලිම් ශිල්පීන් මෙන්ම පණ්‌ඩිත රවි ශන්කර්, පණ්‌ඩිත භීම්සෙන්ජොශි වැනි හින්දුන් ගැන නිතර සඳහන් වේ.

පරතසාරථී සූරීන් තම වාදනය ඉදිරිපත් කිරීමට පෙර කළ කෙටි දේශනයේදී කියූවක්‌ මෙහිලා සඳහන් කළ යුතුමය. තමන් ගුරුවරුන්ගේ අන්වයෙන් ප්‍රගුණ කළ ශාස්‌ත්‍රය තම පෞද්ගලික අයිතියක්‌ නොවන හෙයින් එම ශිල්පය අන්‍යන්ට උගැන්වීමේදී මුදල් අය නොකරන බව කියා සිටි හේ පසුගිය දින පහක්‌ තිස්‌සේ අමරදේව පදනම විසින් සංවිධානය කළ පරිදි නොමිලයේ ශිල්ප හැදැරූ තිස්‌ දෙදෙනාගෙන් ඕනෑම අයෙකුට තමන් වෙත පැමිණ ශිල්ප හැදැරීමට අවශ්‍ය නම් තමන් එය නොමිලයේ සපයන බව හේ කියා සිටියේය. පරතසාරථී සූරීන් ලක්‌දිවට කැඳවා ගෙන ආ රංජන අමරදේව ඔහුගෙන් පසුව දැනගත් කරුණක්‌ ද මෙහි සටහන් කළ යුතු වේ. තමන් භාරතයේ ප්‍රධාන කර්මාන්ත ආයතනයක ඉංජිනේරුවරයකු වූ තම පියා තම තබ්ලා වාදන ශිල්පෝද්ග්‍රහණය සඳහා අවශ්‍ය මුදල් සපයා තිබේ. පරතසාරථී සූරීහු විටින් විට එම මුදල් තම ආචාර්යවරයා වූ පණ්‌ඩිත ශම්ත ප්‍රසාද්ට ගෙන ගොස්‌ දී ඇත. වසර ගණනාවක ශිෂ්‍ය භාවය නිම කොට ගුරු අවසරය ඇතිව සමුගැනීමට ගිය අවස්‌ථාවේදී ගුරුතුමා ඔහු අත පාස්‌ පොතක්‌ (තැන්පතු මුදල් සටහනක්‌) තබා තිබේ. ඒ කුමක්‌ දැයි පෙරළා බැලූ විට එහි තිබී ඇත්තේ ඔහු ගුරුතුමාට විටින් විට දෙන ලද මුදලය. එය ඉතුරුම් ගිණුමක තැන්පත් කළ ගුරුතුමා තම ආශීර්වාදය සමඟ ඔහුට ලෝකය වෙත පා තැබීමට සමුදුන්නේය.

අමරදේව පදනම විසින් පස්‌ දවසක පුහුණු වැඩමුළුවක්‌ මගින් පුහුණුව ලබා දුන් ශිෂ්‍ය පිරිසට පරතසාරථී සූරීන් කියා දෙන ලද්දේ හුදෙක්‌ වාදන ශිල්පයේ අංග ප්‍රත්‍යංග පමණක්‌ නොවූ බව ඊට සහභාගි වූවෙක්‌ මා සමඟපැවැසීය. තම කලාව ජීවිතය හා බද්ධ කරගන්නා ආකාරය ද ඔහු විටින් විට ඔවුන්ට කියා දුන්නේය. සංගීත ශාස්‌ත්‍රය ආධ්‍යාත්මික කර්තව්‍යයක්‌ බව පෙන්වා දුන් පරතසාරථී සූරීහු හුදෙක්‌ බෙරයක්‌ වැයීම නම් යාන්ත්‍රික කාර්යයෙහි යෙදීම නොව තමන් සමාජයේ යහ පැවැත්මට දායක වන මනුෂ්‍යයෙකු වීමේ විනය ද සංගීත ශිල්පියකු තුළ තිබිය යුතු බව ඔවුන්ට කියා දුන්නේය. තමන් දිනපතා භාවනාවේ යෙදෙන අතර ආදර්ශයෙන් තම ශිෂ්‍යයන් ද හොඳ ශිල්පීන් මෙන්ම ගුණ යහපත් මිනිසුන් ද බවට පත් කිරීම තම අරමුණ බව ඔහු පවසා තිබේ.

දහවැනි දින සන්ධ්‍යාවේ පැවැති ප්‍රසංගයෙහි තවත් සුවිශේෂ කොටස්‌ දෙකක්‌ තිබිණි. එකක්‌ නම් භාරතීය තාල වාදන සම්ප්‍රදාය හා සිංහල දේශීය තාල වාදන සම්ප්‍රදාය අතර සහ සමානතා හා අෙන්‍යාන්‍ය සංවේදිතා ප්‍රකට කරන යුගල වාදනයකි. මෙහිදී අපේ ප්‍රවීණ තාල වාදන ශිල්පී රවිබන්ධු විද්‍යාපති ගැට බෙරය වයමින් පරතසාරථී මුඛර්ජිගේ තබ්ලා වාදනය සමඟ සංවනියක්‌ පැවැත්විය. සන්ධ්‍යාවේ අවසාන අංකය වූයේ අපේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්‌ඩිත අමරදේවයන් පරතසාරථී සූරීන්ගේ තාල වාදනයෙහි සහාය ලබමින් ඉදිරිපත් කළ වයලීන වාදනයය. සුපුරුදු පරිදි තම වැඩිහිටි ශිල්පියා පිය තන්හි තබා අභිවාදනය කළ පරතසාරථී සූරීන් මෙම අත්දැකීම මහත් සේ අගය කළ අයුරු පෙනුණි.

සිංහල අපගේ ද මහා සම්ප්‍රදාය වන උත්තර භාරතීය ශාස්‌ත්‍රීය සංගීත සම්ප්‍රදායෙන් බිඳක්‌ මෙහි ගෙන එමින් අමරදේව පදනම හුදු නිස්‌සරණාධ්‍යාසයෙන් කළ මේ කර්තව්‍යයට ජාතියේම ප්‍රණාමය පුද විය යුතුය.

මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.