කොළඹ නාලන්ද විද්‍යාලයෙන්
දුෂ්කර ප්‍රදේශවල වෙහෙර විහාර
දහසක්‌ ප්‍රතිසංස්‌කරණය කෙරේ

තුෂාරී කළුබෝවිල

කොළඹ නාලන්ද විද්‍යාලය මගින් ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල වෙහෙර විහාරස්‌ථාන දහසක්‌ ප්‍රතිසංස්‌කරණය කර නගාසිටුවීමේ වැඩපිළිවෙළක්‌ ආරම්භ කර තිබේ.

මේ යටතේ අනුරාධපුරය හා ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කවල විහාරස්‌ථාන 36 ක්‌ සහ රජයේ පාසල් 26 ක්‌ සංවර්ධනය කෙරේ.

මෙම වැඩපිළිවෙළ මගින් පාසල්, දහම් පාසල් සඳහා පුස්‌තකාල පහසුකම්, පාසල් උපකරණ සැපයීම මෙන්ම විශේෂ අධ්‍යාපනික වැඩසටහන් සංවිධානය කිරීම ද සිදු කෙරෙනු ඇත.

ත්‍රස්‌තවාදී තර්ජනවලින් දැඩි ලෙස පීඩා විඳි පදවිය, ශ්‍රීපුර, වැලිඔය හා කැබිතිගොල්ලෑව ප්‍රදේශවල විහාරස්‌ථානවල අඩුපාඩු සපුරාලීම ද මෙම වැඩපිළිවෙළෙහි තවත් අංගයකි.

මෙහි පළමු කර්තව්‍ය ලෙස අතිශය දුෂ්කර ගම්මානයක්‌ වූ අනුරාධපුරය, පදවිය, දළුග්ගල පුරාණ විහාරස්‌ථානය සඳහා රුපියල් ලක්‍ෂ 30 ක වියදමින් නාලන්දා සෑය නමින් අංගසම්පූර්ණ චෛත්‍යයක්‌ සාදවා පූජා කිරීම පසුගියදා කොළඹ නාලන්ද විදුහලේ ආදි ශිෂ්‍ය, ළමා හා කාන්තා කටයුතු ඇමැති තිස්‌ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

කොළඹ නාලන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් හේමන්ත ප්‍රේමතිලක, වත්මන් විදුහල්පති රංජිත් ජයසුන්දර යන මහත්වරු ප්‍රධාන පිරිසක්‌ ඊට සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.