පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව

උතුරේ ප්‍රශ්නයට විසඳුමක්‌ සෙවීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ පත් කිරීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා තීරණය කළ බව මුල් වරට ප්‍රකාශයට පත් වූයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන්ගේ මාසික හමුවේදීය. පාර්ලිමේන්තුවේ සියලුම පක්‍ෂ නියෝජනය කරන තේරීම් කාරක සභාවක යෝජනා ක්‍රියාත්මක කිරීම නොමැනවයි අපට යෝජනා කළ නොහැක. මන්ද යත් ජනතා නියෝජිතයන්ගෙන් සැදුම් ලත් පාර්ලිමේන්තුව ගන්නා තීරණය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී එකක්‌ බව පිළිගැනෙන හෙයිනි.

මෙයට විරුද්ධ මත තිබිය හැකිය. විපක්‍ෂයේ පක්‍ෂ මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්‍ෂ හා වෙනත් සිවිල් සංවිධාන මේ පිළිබඳව බරපතල විවේචන දැනටමත් ඉදිරිපත් කරයි. කෙසේ හෝ මෙම අර්බුදය විස¹ ගැනීම සඳහා පැවැත්වූ සර්ව පාක්‍ෂික සමුළුව, වෙනත් කමිටු මෙන්ම විවිධ සාකච්ඡා වලින් ද සිදුවූ ප්‍රතිඵලයක්‌ නැත. ඒ මෙම ප්‍රශ්නයේ තිබෙන සංකීර්ණ ස්‌වරූපය නිසාමය. ශ්‍රී ලංකාවේ ජන කොටස්‌ මෙන්ම දසක තුනක්‌ මුළුල්ලේ විවිධ සමාජ ආර්ථික හා සංස්‌කෘතික වන්දි අසීමිත ලෙස ගෙවූ මෙම උතුරේ ප්‍රශ්නයට පොදු එකඟතාවක්‌ ඇතිකර ගැනීමේ දුෂ්කරතාවද අපට පැහැදිලිය.

සන්ධාන රජය එල්. ටී. ටී. ඊ. ය හා එහි නායකයා වූ වේළුපිල්ලේ ප්‍රභාකරන්ද සහමුලින්ම පරාජය කිරීමේ අසීරු අභියෝගය ජය ගත්තේය. එහෙත් අද ඒ ප්‍රශ්නයට දිය යුතු විසඳුම ලබාදීම ඊටත් වඩා අභියෝගයක්‌ වී තිබෙන බව සන්ධානය ප්‍රමුඛ ජනාධිපතිවරයා ද ඉඳුරා දනී. මේ සංකීර්ණ ප්‍රශ්නය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට යොමු කරන්නේද එනිසාම විය හැකිය. එහෙත් ඒ පිළිබඳ තත්ත්වය කුමක්‌ද?

මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිබඳව එජාපයේ ප්‍රතිචාරය යහපත් එකක්‌ නොවන බව ඔවුන්ගේ හැසිරීම් වලින් පෙනී යයි. ජ.වි.පෙ. දැනටමත් ඒ සඳහා විරෝධය ප්‍රකාශ කර තිබේ. යම් හෙයකින් එම වාතාවරණය තුළ පාර්ලිමේන්තු කාරක සභාව යන හැඳින්වීම තුළ ඉතිරි විය හැක්‌කේ සන්ධානය නියෝජනය කරන කුඩා දේශපාලන පක්‍ෂ පමණක්‌ විය නොහැකිද? වෙනත් ආකාරයකින් කිවහොත් එය ආණ්‌ඩුවේම පක්‍ෂ පමණක්‌ නියෝජනය කරන කමිටුවක්‌ වුවහොත් ඉන් අපේක්‍ෂිත ප්‍රතිඵලය ලැබේද?

දැනට දෙමළ ජනතාවගේ බහුතර නායකත්වයක්‌ දිනා සිටින දෙමළ එක්‌සත් සන්ධානය මෙන්ම එල්. ටී. ටී. ඊ. යට විරුද්ධ වූ දෙමළ නායකයකු වන ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා ද උතුරේ ජනතාව හා ඔවුන් මුහුණදී සිටින ගැටලු පිළිබඳව රජයට චෝදනා කරන බවද පෙනේ. මේ දෙමළ නායකයන්ගේ සහයෝගය හා අදහස්‌ නොමැතිව මෙම ප්‍රශ්නයට විසඳුමක්‌ ලබාදිය හැකිද? යන්නත් ගැටලුවකි.

උතුරේ ජනතාව මේ නායකයන්ට වඩා වත්මන් රජය පිළිබඳ විශ්වාසයක්‌ තබා ඇත්නම් ඒ වාතාවරණය ද රජයට වාසිදායකය. එහෙත් උතුරේ ජන ජීවිතය පිළිබඳ පසුගිය දාක ආනන්ද සංගරී මහතා කියා තිබුණේ මේ තිබෙන තත්ත්වයට වඩා එල්. ටී. ටී. ඊ. ය යටතේ ජනතාවට සහනයක්‌ තිබුණු බවකි. ඔහු කියා තිබුණේ ඔහුට අයත් නිවසක්‌ පවා හමුදාව අත්පත් කරගෙන තිබුණු බවය.

ආනන්ද සංගරීගේ චෝදනාවල මෙන්ම දෙමළ සන්ධානයේ ඇතැම් අයගේ විවේචනවල ඇත්ත නැත්ත අපි නොදනිමු. එහෙත් යාපනේ ජන ජීවිත නිදහස්‌ වී නැති බවට නගන චෝදනා රජයට හානිදායකය. විශේෂයෙන් ජාත්‍යන්තර තලයේ රජයට එරෙහිව ක්‍රියාත්මක වන ඊළාම්වාදීහුද, දෙමළ ඩයස්‌ පෝරාවේ කපටි ආරක්‍ෂකයෝද ඒවායින් අප්‍රමාණ වාසි සලසා ගනිති.

තතු මෙසේ නම් මේ ප්‍රශ්නයට ලබාදෙන විසඳුම කුමක්‌ද? ඒ විසඳුම් යෝජනා ගෙන එනු ලබන්නේ කවුරුන් විසින්ද? පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එන හැම දෙනකු තුළම විසඳුම පිළිබඳ දළ අදහසක්‌ මෙන්ම සාධනීය යෝජනාවලියක්‌ද තිබිය යුතුය. එසේ නොමැතිව අනිත් කෙනා යෝජනා කරන තෙක්‌ බලා සිටිය හොත් සිදු වන්නේ කුමක්‌ද? එවිට එයත් ආඬි හත්දෙනාගේ කැඳ හැලිය මෙන් වනු වැළැක්‌විය නොහැක.

දේශපාලනය යනු හෘදය සාක්‌ෂියක්‌ සහිත මිනිසුන්ට වඩා සටකපට සූත්තරකාරයන්ගේ සෙප්පඩ විඡ්ජාවලින් පිරුණු ගූඪ ප්‍රපංචයක්‌ බවට අපට බොහෝ නිදසුන් තිබේ. එසේම දේශපාලනයේදී අත පුච්චා ගැනීමටද පළපුරුදු අය රිසි නොවෙති. මොන නරක දේ කළත් ඒවා හොඳ ප්‍රජාතන්ත්‍රවාදයේත් බෞතීස්‌ම කරනු ලබන්නේද එහෙයිනි. ඇත්තටම ඉහත සඳහන් කළ ආඬි හත්දෙනා කැඳ පිසගත් ආකාරයට මෙහිදීත් ක්‍රියා කළහොත් සිදුවන්නේ කුමක්‌ද? හැම ආඬියාම කල්පනා කළේ තමන්ගේ හාල් මිට නොදා අනෙක්‌ හයදෙනාගේ හාල් වලින් සැකැසෙන කැඳ බීමටය. එහෙත් අන්තිමේදී ලැබුණේ කැඳ නොව උණු වතුරය.

අපි මේ කතා ලියන්නේ සර්ව අසුබවාදීව නොවේ. අපට තිබෙන අවංක ප්‍රශ්නය වන්නේ ද මේ ප්‍රශ්නය විස¹ ගන්නට සිංහල මෙන්ම දෙමළ නායකයන්ට ද අවංක විශ්වාසයක්‌ තිබේද යන්නයි. කෙසේ හෝ මෙයත් නොකෙරෙන වෙදකමකට කෝඳුරු තෙල් හත්පට්‌ටයක්‌ හා තව ටිකක්‌ සෙවීමක්‌ නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු. මේ ප්‍රශ්නයෙන් උතුරේ ජනතාව තවත් විඳවිය යුතු නැත. ඒ සැනසිල්ල ඒ ජනතාවට ලබාදීම සිංහල මෙන්ම ඊටත් වඩා දෙමළ නායකයන්ගේ වගකීම හා යුතුකම බව අපි අවධාරණය කරමු.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.