විද්වත් හමුව

අපේ රටට ගෙන්වන පළිබෝධනාශක තුළින් පානීය ජලයට, ආහාරවලට සහ පසට මාරාන්තික ආසනික්‌ විෂ මුසුව ඇද්ද යන්න මේ දිනවල බලවත් කතාබහට ලක්‌ව ඇති මාතෘකාවකි. පසුගිය සතියේ මේ තීරුවෙන් අප සාකච්ඡා කළේ රජරට පානීය ජලයේ සහ පසේ ආසනික්‌ ඇතැයි ප්‍රකාශ කරන කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්‌ඩායමේ නියමුවා සමගය. ආසනික්‌ සෙවූ ඔවුන්ගේ ක්‍රමවේදය විමසුමට ලක්‌කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඔලිවර් ඒ. ඉලේපෙරුම කරන විග්‍රහයකි මේ. මහාචාර්ය ඉලේපෙරුම අකාබනික රසායන විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික විද්වතෙකි.

දෙවියන් පෙන්වූ ආසනික්‌
විද්‍යාවෙන් හොයන්න බෑ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඔලිවර් ඒ. ඉලේපෙරුම


යම්කිසි ද්‍රව්‍යයක අඩංගු රසායනික සංඝටකයන් හඳුනාගැනීම සඳහා දැනට අනුගමනය කරන පිළිගත් ක්‍රමවේදය කුමක්‌ද?

මේ සඳහා සම්මත ක්‍රම ගණනාවක්‌ තිබෙනවා. ජලය විශ්ලේෂණය කිරීම සඳහා ඉතාම පැහැදිලි ක්‍රමවේදයක්‌ තියෙනවා. මේවා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකාවේ පී. පී. ඒ. ආයතනය වැනි ආයතන භාවිත කරන ඉතාම නිවැරැදි සම්මත ක්‍රම. මේ සඳහා අලුත් ක්‍රම සොයාගත්තට කමක්‌ නෑ. නමුත් එහෙම අවශ්‍යතාවක්‌ නෑ. යම්කිසි ද්‍රව්‍යයක අඩංගුව ඇත්තේ මොනවාද සෙවීමට කළ යුත්තේ ඒ සම්මත ක්‍රම නියම ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමයි. ඒ සඳහා නියමිත සම්මත තත්ත්වයන් මත එය සිදු කළ යුතු වෙනවා.

උදාහරණයක්‌ හැටියට ආසනික්‌ වැනි ද්‍රව්‍යයක්‌ පිළිබඳ පරමාණුක අවශෝෂක වර්ණාවලීක්‌ෂයෙන් පරීක්‍ෂා කරන විට එයට ඇසිටලීන් දැල්ලක්‌ යොදා ගන්නවා. එහිදී ඇසිටලීන්වල සංශුද්ධතාවය පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ඉතාමත් නිවැරැදි විශ්ලේෂණ මට්‌ටමක්‌ බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා විශේෂිත වූ පර්යේෂණාත්මක තත්ත්ව අනුගමනය කළ යුතුයි. පොතක පතක ක්‍රමයක්‌ තිබුණු පලියට එය කරන්න බෑ. ඒ සඳහා විශ්ලේෂක රසායන විද්‍යාව පිළිබඳ ගැඹුරු දැනුමක්‌ තිබෙන පළපුරුදු රසායනඥයන් අවශ්‍යයි.

ඔබ කියන්නේ ආසනික්‌ වැනි ද්‍රව්‍යයක්‌ විශ්ලේෂණය කිරීම දුෂ්කර කාර්යයක්‌ බවද?

වෙනත් විශ්ලේෂණයන්ට සාපේක්‌ෂව දුෂ්කරයි. වෙනත් රටවලදී අප මෙබඳු පරීක්‍ෂණ සිදු කළ අවස්‌ථාවලදීත් එය පැහැදිළි වුණා. ආස්‍රැත ජලයේත් ආසනික්‌ තිබෙනවා. ආසනික්‌ කියන්නෙ පෘථිවියේ නැති දෙයක්‌ නෙමෙයි. පෘථිවි ගෝලයේ වැඩිපුරම තිබෙන ද්‍රව්‍ය අතර විසිවැනි තැන හිමිවන්නේ ආසනික්‌වලට. අපි අද මේ ගැන මහ විශාල බියක්‌ නිර්මාණය කෙරුවට ඇමරිකාව මෑතක්‌ වනතුරුම කුකුළන්ගෙ බඩේ ඉන්න පනුවො මරන්න ආසනික්‌ අඩංගු රොක්‌සින් නමැති නාශකයක්‌ දුන්නා. එය කුකුළන්ට ලබාදීම නැවැත්තුවේ 2003 දී.

ජලයේ හෝ සහල්වල හෝ පසෙහි හෝ ආසනික්‌ අඩංගුදැයි සොයා බැලීම දුෂ්කර කාර්යයක්‌ යෑයි ඔබ කියන්නෙ ඇයි?

මේ සඳහා භාවිත කරන ඉතාම සංවේදී උපකරණ. විශේෂයෙන් ඉතා සුළු ප්‍රමාණ සඳහා සිදුකරන විශ්ලේෂණයන්හිදී එක්‌ එක්‌ පියවර ඉතාම නිවැරැදිව අනුගමනය කළ යුතු වෙනවා. පළපුරුදු විශ්ලේෂක රසායනඥයන් නැතිව එය කරන්න බෑ.

සම්මත ක්‍රමයෙන් බැහැරව අලුත් ක්‍රමවේදයකින් මේ විශ්ලේෂණය නිවැරැදිව කරන්න බැරිද?

මගේ හැඟීමේ හැටියට අලුත් ක්‍රමයක අවශ්‍යතාවක්‌ නැහැ. වඩා පහසුවෙන් අඩු වියදමකින් කළ හැකි අලුත් ක්‍රමයක්‌ තිබෙනව නම් හොඳයි. සාමාන්‍ය සම්මත ක්‍රමය අනුව මේ විශ්ලේෂණය සඳහා භාවිත කරන්නෙ මිලියන ගණනක්‌ වටින උපකරණයක්‌. වෙනත් උපකරණත් තිබෙනවා. අඩු වියදමකින් මෙයටත් වඩා නිවැරැදිව දත්ත ලබාගත හැකි ක්‍රමයක්‌ තිබෙනවා නම් හොඳයි.

කිසියම් අලුත් ක්‍රමයක්‌ දැනට සම්මත ක්‍රමයට වඩා නිවැරැදි ද යන්න තීරණය කරන්නෙ කොහොමද?

දැන් භාවිත කරන සම්මත ක්‍රමය පරමානුක අවශෝෂණ වර්ණාවලීක්‌ෂයට වෙනම කොටසක්‌ සවිකිරීමෙන් ආසීන් නමැති හයිඩ්‍රයිඩය මුක්‌ත කරලා දැල්ලක්‌ මගින් එය අවශෝෂණය කිරීමයි. වෙනත් ක්‍රමයක්‌ අනුගමනය කරනව නම් ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි අන්තර් ජාතික ආයතනය එම ක්‍රමය අනුගමනය කර තිබෙනවාද එසේත් නැතිව මෙය අලුත්ම ක්‍රමයක්‌ නම් එය නිවැරැදි ද යන්න තහවුරු කරගත යුතු වෙනවා.

සම්මත ක්‍රමවේදයට අනුව කාර්මික හා තාක්‌ෂණ ආයතනය කළ පර්යේෂණවලට අනුව රජරට පානීය ජලයේ සහ පස්‌වල ආසනික්‌ නැහැ. නව ක්‍රමවේදයකට අනුව කැලණිය විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්‌ඩායම කළ පර්යේෂණයට අනුව එම සාම්පලවල ආසනික්‌ තිබෙනවා. මේ ගැටලුව නිරාකරණය කර ගන්නෙ කොහොමද?

කාර්මික හා තාක්‌ෂණ ආයතනය අයිඑස්‌ඕ තත්ත්ව සහතිකය පවා ලබාගත් ප්‍රමිතියකට අනුව පර්යේෂණ සිදුකරන ආයතනයක්‌. එහි පර්යේෂණ නිවැරැදිව සිදුකෙරෙන බව අත්දැකීමෙන් දන්නවා. මෑතකදී මහනුවර මූලික අධ්‍යයන ආයතනයෙනුත් ඔය ආසනික්‌ අඩංගු යෑයි කියන සාම්පල ජපානයට යවල අයිසීපී නම් ඉතාමත් සියුම් උපකරණය ඇසුරින් කළ පර්යේෂණවලිනුත් මේ සාම්පලවල ආසනික්‌ අඩංගු යෑයි අනාවරණය වී නැහැ. ඒ අනුවත් කාර්මික හා තාක්‌ෂණ ආයතනය සිදු කළ පර්යේෂණ නිවැරැදි බව සනාථ වී තිබෙනවා.

නමුත් රජරට පානීය ජලයේ සහ පස්‌වල ආසනික්‌ අඩංගු වනවා පමණක්‌ නොව රජරට පැතිර යන වකුගඩු රෝගයටත් මූලික හේතුව මේ ආසනික්‌ බව කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්‌ඩායම නිගමනය කර තිබෙනවා?

රජරට වකුගඩු රෝගය ගැන මුලින්ම පර්යේෂණ කරන්න පටන් ගත්තෙ මම. ඒ 2003 දී. මේ රෝගය සොයාගත් වෛද්‍ය තිලක්‌ අබේසේකර ඇතුළු වෛද්‍ය කණ්‌ඩායමත් සමඟ මේ රෝගයට මම හේතු හෙව්වා.

ආසනික්‌ අපි භාවිත කරන කෘමිනාශකවල තියෙනවද ඒ හරහා ආසනික්‌ පසට එකතුවී තිබෙනවාද යන්න එක ප්‍රශ්නයක්‌. වකුගඩු රෝගය හැදෙන්නෙ ආසනික්‌ හින්ද ද කියන එක තව ප්‍රශ්නයක්‌. ආසනික්‌ නිසා වකුගඩු රෝගය ඇතිවීමට ඇති ඉඩකඩ ඉතා සීමිත බව මට පැහැදිලිව කියන්න පුළුවන්.

මම එහෙම කියන්නෙ විද්‍යාත්මක ක්‍රමයෙන්වත් දෙවියන්ගෙ මගපෙන්වීමෙන්වත් නෙමෙයි. වකුගඩු රෝගය වැළඳුණු අයගේ නිවෙස්‌වලට ගිහින් ඔවුන්ගේ ජීවන රටාව හොඳින් විශ්ලේෂණය කරලයි. වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ෆ්ලෝරයිඩ්. වකුගඩු රෝගය සෑදුනු හැම කෙනෙක්‌ම අධික ලෙස ෆ්ලෝරයිඩ් සහිත ජලය භාවිත කළ අය. මහවැලි කලාපයේ ගිරාඳුරුකෝට්‌ටෙත් මේ රෝගය තිබෙනවා. මේ රෝගයට හේතුව ෆ්ලෝරයිඩ් කිව්වම සමහරු හිනාවුණා. මහවැලි වතුරෙත් ෆ්ලෝරයිඩ් තියෙනවද කියලා. නමුත් අපි ගිහින් බැලුවහම මේ රෝගය වැළඳුණු අය මහවැලි වාරිමාර්ග ඇළවල්වලට හුඟක්‌ දුරින් ගම්වල ඉන්න අය. ඒ අය පාවිච්චි කරපු ළිංවල ජලයේ ෆ්ලෝරයිඩ් අධික සාන්ද්‍රණයක්‌ තිබුණා. වකුගඩු රෝගයට හේතුව ෆ්ලෝරයිඩ්. මේ රෝගයට ෆ්ලෝරයිඩ්වල බලපෑම වැඩි කරන තවත් හේතුවක්‌ අපට හමුවුණා. ඒ ඇලුමිනියම් භාණ්‌ඩ භාවිතය. ෆ්ලෝරයිඩ් අණු හයක්‌ විතර අරගෙන අපේ පටක තුළින් ගමන් කරන්න ඇලුමිනියම්වලට පුළුවන් බව අපි හොයා ගත්තා. මේ ප්‍රශ්නයට හේතුව කෘමිනාශකවල තියෙන ආසනික්‌ නම් එකම කෘමිනාශක හැම තැනම පාවිච්චි කරන අපේ රටේ හැම තැනම වකුගඩු රෝගීන් ඉන්න ඕන. අපි සොයා බැලුව ඇයි අනුරාධපුර නගරය ආශ්‍රිත අයට මේ රෝගය වැළදෙන්නෙ නැත්තෙ කියලා. පදවිය වැව ආසන්නයේ ඉන්න අයට මේ රෝගය වැළදෙන්නෙ නැහැ. එයට හේතුව වැව්වල ජලය නිසා ඒ පළාත්වල ළිංවල ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණය අඩුවෙන නිසයි. කෘමිනාශක නිසා සහල්වලත් ආසනික්‌ තිබෙනව නම් නැගෙනහිර පළාතෙත් පොළොන්නරුව අනුරාධපුර වැනි ප්‍රදේශවලිනුත් එන සහල් අනුභව කරන අයටත් වකුගඩු රෝගය හැදෙන්න ඕන. නමුත් එහෙම වෙලා නැහැ.

වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ නොවන බව මම නිගමනය කරන අනිත් හේතුව ආසනික්‌ ශරීර ගතවීම නිසා පෙන්වන රෝග ලක්‌ෂණ කිසිවක්‌ මේ එක වකුගඩු රෝගියකු තුළින්වත් අපේ වෛද්‍ය කණ්‌ඩායමට නිරීක්‍ෂණ කිරීමට නොලැබීමයි.

නමුත් විශේෂයෙන් රජරට ප්‍රදේශයේ කිවුල සහිත ජලය සමඟ ආසනික්‌ එකතුවී කැල්සියම් ආසනේට්‌ නම් අද්‍රdව්‍ය සංයෝගයත් සෑදීම කිවුල සහිත ජලය ඇති ප්‍රදේශවල මේ රෝගය බහුල වීමට හේතුවක්‌ බව කැලණිය විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්‌ඩායමේ අදහසක්‌.

ආසනික්‌ කිවුල ජලයේ ඇති කැල්සියම් සමග එකතුවී කැල්සියම් ආසනේට්‌ නම් අද්‍රdව්‍ය සංයෝගයක්‌ හැදෙනවා නම් අප දන්නා රසායන විද්‍යාව අනුව එම ජලයෙන් ආසනික්‌ ඉවත් වෙන්න ඕන. ඔවුන් පවසන ආකාරයට කැල්සියම් ආසනේට්‌ නිසා වකුගඩු රෝගය ඇතිවෙනවා නම් කිවුල ජලය අධික ලෙස ඇති පළිබෝධනාශකත් අධික ලෙස භාවිත කරන යාපන ප්‍රදේශයේ වකුගඩු රෝගීන් බහුල විය යුතුයි.

ඔබ දීර්ඝ කාලයක සිට පර්යේෂණ කටයුතුවල නියුතු අකාබනික රසායනික විද්‍යාඥයෙක්‌. ජලයේ හෝ මේ මහ පොළොවේ මිනිසුන්ට හානිකර මට්‌ටමක ආසනික්‌ ප්‍රතිශතයක්‌ තියෙනවද?

මම මෙතෙක්‌ කළ කිසිදු පර්යේෂණයකින් එබඳු නිගමනයකට එළඹෙන්න පුළුවන්කමක්‌ නැහැ. හානිකර මට්‌ටමකට ආසනික්‌ අඩංගු ඛනිජ අපේ රටෙන් සොයා ගෙන නැහැ. වෙනත් ඛනිජ සමග මුසු වුණු ඉතාමත් සුළු ප්‍රමාණයක්‌ ලෙස ආසනික්‌ තිබෙන්න පුළුවන්. අපේ පොළොවේ ආසනික්‌ තියෙනව කියල මුලින්ම කිව්ව කියන්නෙ දෙවි කෙනෙක්‌නෙ. නොපෙනෙන දෙවි කෙනෙක්‌ ගැන මා නම් විශ්වාස කරන්නෙ නෑ. දෙවියන් විශ්වාස කරන්න එපා කියලා මම කාටවත් කියන්නෙත් නෑ. විද්‍යාත්මක ක්‍රමයත්, යම් දෙයක්‌ දැකල එය විශ්ලේෂණය කරල ලබාගත් නිගමනත් මම විශ්වාස කරනවා. දෙවිවරුන්ට පුළුවන් නම් ඔහොම කියන්න අපට මොකටද විද්‍යාගාර. දෙවියො කියන දේ විතරක්‌ නෙමෙයි අපි ප්‍රායෝගික තත්ත්වයත් බලන්න ඕන. පළිබෝධනාශක නතර කරල අපේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර නිපදවන්න පුළුවන්ද? ඉස්‌සර වැද්දො කළා වගේ වනාන්තරවලට ගිහින් ආහාර සොයා ගෙන එන්න පුළුවන්ද? එහෙම වනාන්තර දැන් තියෙනවද? ආපසු ගල් යුගයට යන්න පුළුවන්ද?

කිසියම් දෙයක්‌ ගැන නිගමනයකට එන්න ඕන අලුත් ක්‍රමයකට කළා හින්දවත් දෙවියො කිව්ව හින්දවත් නෙමෙයි ඒ ගැටලුව පිළිබඳ කල්පිත ඉදිරිපත් කරලා එය වාදයක්‌ බවට පත්කරලයි. නිගමන ඇතිකරගන්න ඕන නිරීක්‍ෂණ හරහායි. බටහිරින් පැමිණි පමණින්ම සියල්ල ප්‍රතික්‌ෂේප කළ යුතුත් නැහැ. දෙවියන් පැවසූ දෙයක්‌ සමග විද්‍යාව මිශ්‍ර කරගත යුතුත් නැහැ. විද්‍යාව අම්ල භෂ්ම නිරීක්‍ෂණ නිගමන අනුව යන දෙයක්‌. දෙවියන් පේන, තොවිල්, පවිල්, දේවාල හා සම්බන්ධ දෙයක්‌. දෙවියන් ආසනික්‌ තිබෙනවා යෑයි පැවසූ කතාව විද්‍යාවෙන් ඔප්පු කරන්න යන එක මම හිතන්නෙ සාර්ථක නෑ. ඒ වගේම බුදු දහමත් විද්‍යාවෙන් ඔප්පු කරන්න නොයා යුතුයි. එසේ උත්සාහ කිරීම විද්‍යාවට වඩා බොහෝ උසස්‌ බුදු දහමට කරන නිග්‍රහයක්‌.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.