back    
   
 
කාමයේ වරදවා හැසිරීම
පව පින අතර ගැටුමකි



රාත්මලාන ධර්ම පර්යේෂණාලයේ
හෑගොඩ විපස්‌සී හිමි

සෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය 17

තෙවැනි සික පදයේ "කාමෙසු" යනු බහුවචන පදයක්‌ නිසා ඇතැමෙක්‌ "කාමයන්හි" යනුවෙන් අර්ථ දක්‌වනවා. තවදුරටත් පැහැදිලි කරනවා නම් ඇස්‌, කන්, නාසාදී ඉඳුරන් සංවර කර ගැනීම තෙවැනි සිකපදයෙන් කියෑවෙන බව ඇතැමකුගේ අදහසයි. මේ ඉන්ද්‍රිය සංවරය ගිහි ශික්‌ෂාවේදී අදාළ වන්නේ නෑ. ඇත්ත වශයෙන්ම "කාමෙසුමිච්ඡාචාරය" කියන්නේ වැරැදි ලෙස අඹුසැමියන් සේ ගතකිරීමයි. මේ සඳහා ත්‍රිපිටකයෙන් ඕනෑතරම් උදාහරණ දක්‌වන්න පුළුවන්. නැතහොත් "කාමෙසුමිච්ඡාචාරා පටිවිරතෝ" කාමයෙන් වැළකී සිටීම යෙදුමෙන් දක්‌වන සෑම සූත්‍රයකදීම වැරැදි "මෙවුන්දම් සේවනයෙන් වැළකීමයි" දේශනා කර තිබෙන්නේ.

ඇත්ත වශයෙන්ම කාමෙසු යනු සත්තම් විභක්‌ති බහුවචන රූපයයි. එහි ඒකවචන පද කිහිපයක්‌ තිබෙනවා. එනම් කාමේ, කාමම්හි, කාමස්‌මිං. මේ පදයන්හි ශබ්දය කාම ශබ්දයයි. කාම ශබ්දය පඤ්චශීලයෙහි දී හුදෙක්‌ මෛථුනයම අදහස්‌ කරනවා. අපට ඒ පිළිබඳ විවාදයක්‌ නෑ. ඇත්ත වශයෙන්ම මෙහි "කාමෙසු" යනුවෙන් බහුවචන රූපයෙන් තිබෙන්නේ වාග් ධර්මතාව අනුවයි. සාමාන්‍යයෙන් ජනපද වාචී පද යොදා තිබෙන්නේ මේ නයින්මයි.

නිදසුනක්‌ වශයෙන් මගධෙසු, කුරූසු, කෝසලෙසු පෙන්වාදිය හැකියි. මගධ, කෝසල කියන්නේ ප්‍රදේශ නැතහොත් ජනපදයි. මගධ හෝ කුරු හෝ කෝසල හෝ කියන්නේ එක එක ජනපදයි. එහෙත් වාග් සිද්ධාන්තය අනුව එහි බහුවචන රූප ව්‍යවහාර කර ඇත. මෙය පාලි භාෂා රූඪියයි.

කෙසේ වුවත් "කාමෙසුමිච්ඡාචාරා" යනු වැරැදි ලෙස කාමයන්හි හැසිරීම නම් එහි යහපත් සේ කාමයන්හි හැසිරීම යන අදහස ඉදිරිපත් කරන්නට "කාමෙසු සම්මාචාරා" යනුවෙන් බුද්ධ දේශනාවේ තිබෙන්නට ඕනෑ. එහෙත් එවැනි රූපයක්‌ ත්‍රිපිටකයේවත්, අටුවාටීකා ග්‍රන්ථවලවත් සඳහන්ව නෑ. එම නිසා "කාමෙසුමිච්ඡාචාරා" නැතහොත් කාමය වරදවා හැසිරීමෙන් වැළකීම පිණිස යන අදහස "අබ්‍රහ්මචරියා" යන පාලි පදයෙන් ඉදිරිපත් කොට තිබෙනවා. වෙනත් අයුරකින් කිවහොත් ගිහියාට "කාමෙසුමිච්චාඡාරාවෙන් වෙන්ව අබ්‍රහ්මචරියව" වාසය කළ හැකියි. තවත් පැහැදිලි කරනවා නම් "කාමෙසුමිච්ඡාඡාරාවේ විරුද්ධ පදය" අබ්‍රහ්මචරියාවයි. කාමෙසුමිච්ඡාචාරා කියන්නේ වැරැදි විදියට මෙවුන්දම් සේවනයයි. නිවැරැදි මෙවුම්දම් සේවනය "අබ්‍රහ්මචරියා"වයි.

අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයේ තප සූත්‍රයේ පැවිදි ශික්‌ෂාව පෙන්වන තැන "අබ්‍රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී හොති ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා" එහි තේරුම "පැවිද්දා අබ්‍රහ්මචරියාවෙන් වෙන්ව බ්‍රහ්මචාරී වූයේ, ග්‍රාම්‍ය වූ මෛථුන ධර්මයෙන් වැළකෙයි" යනුයි. එසේම මඡ්Cධිම නිකායේ සල්ලෙඛ සූත්‍රයේදී "පරෙ අබ්‍රහ්මචාරී භවිස්‌සනති මයමෙත්ථ බ්‍රහ්මචාරිනෝ" මේ ආදී වශයෙන් දහස්‌ ගණන් නිදසුන් පෙන්වා දිය හැකියි. මෙයින් අප තහවුරු කරන්නේ කාමේසුමිච්ඡාචාරා යනු වැරැදි ලෙස අඹුසැමියන් වශයෙන් ජීවත්වීම මිස වැරැදි ලෙස ඉන්ද්‍රියයන් පිනවීම නොවේ. මේ පිනවීම් හේතුඵල ධර්මය අනුව පැහැදිලි කළ යුත්තක්‌. එහෙත් සාකච්ඡාව වෙනත් ඉසව්වක්‌ කරා යොමු වන නිසා පැහැදිලි කරන්නේ නෑ.

මේ ලෝකයේ සිsටින සත්ත්වයා ලිංගිකව හැසිරීම ඔවුනට ආවේණික වූ ධර්මතාවක්‌. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ඒ බව මෙසේ සඳහන් වෙනවා.

නාහං භික්‌ඛවේ අඤ්ඤං ඒක රූපම්පි සමනුපස්‌සයාමි, යං ඒවං පුරිසස්‌ස චිත්තං sතිට්‌ඨති. යථඉදං භික්‌ඛවේ ඉක්‌ථිරූපං.....

මහණෙනි, ස්‌ත්‍රි රූපය පුරුෂයාගේ සිත ඇදබැඳගෙන හාත්පසින්ම පවතිනවා. ස්‌ත්‍රීන්ගේ කටහඬ, ස්‌ත්‍රීන්ගේ සුවඳ, ස්‌ත්‍රීන්ගේ රසය, ස්‌ත්‍රීන්ගේ ස්‌පර්ශය පුරුෂයාගේ සිත හාත්පස ඇදබැඳගෙන තිබෙනවා.

පුරුෂයකු සම්බන්ධව ස්‌ත්‍රියගේ ඇදබැඳ ගැනීමත් එසේමැයි.

නාහං භික්‌ඛවේ අඤ්ඤං ඒකරූපම්පි සමනුපස්‌සයාමි යං ඒවං ඉත්ථියා චිත්තං පරියාදාය තිට්‌ඨති - යථඉද භික්‌ඛය පුරිස රූපං...

ස්‌ත්‍රිය පුරුෂයාගේ සිත හාත්පස අල්ලාගෙන තියෙනවා. එනිසාම පුරුෂයකුට ස්‌ත්‍රිය කෙරේ කටහඬින්, සුවඳින්, රසයෙන්, ස්‌පර්ශයෙන් ඇතිවන හාත්පස බැඳීම ඒ ආකාරයෙන්ම ස්‌ත්‍රියටද ඇතිවන බවයි මෙහි තේරුම. මෙයයි සත්වයාගේ පැවැත්මට හේතුවන්නේ. මෙය ඔවුනොවුන් කෙරේ හැඟීම් දනවන ස්‌වභාවයයි. ශාරීරික වශයෙන් සත්ත්වයාගේ පවතින මෙම සුවිශේෂී ජීව විද්‍යාත්මක සාධකය අප තේරුම් ගත යුතුයි. මෙම තත්ත්වය තුළ පුරුෂයන් හා ස්‌ත්‍රීන් නීත්‍යනුකූලව මෙවුන්දම් සේවනය කිරීම වරදක්‌ නොවෙයි. නීත්‍යනුකූල තත්ත්වය ඉක්‌මවූ විට සිදු වන්නේ කාමයෙහි වරදවා හැසිරීමක්‌.

නූතනයේ මෙම තත්ත්වය අප හඳුන්වන්නේ ඩී. එන්. ඒ. නමැති සංයෝජනය ලෙසයි. ඩී. එන්. ඒ. නමැති ජීවමාන රසායනික ද්‍රව්‍ය අඛණ්‌ඩව පෘථිවියේ පැවැත්මට දරන ප්‍රයත්නය ලෙසයි මෙම තවදුරටත් හඳුනාගත හැක්‌කේ.

වෛද්‍ය ශාන්ත හෙට්‌ටිආරච්චි මහතා ලියූ "ලිංගාශ්‍රිත රෝග ලිංගිකත්වය සහ සමාජය" යන ග්‍රන්ථය පිළිබඳ එහි සටහන් තබන මහාචාර්ය කාලෝ ෙµdන්සේකා මේ පිළිබඳව සටහනක්‌ තබනවා. එම සටහනින් පැහැදිලි කරන්නේ බුදු දහමේ තියෙන දේ වෛද්‍ය විද්‍යා දෘෂ්ටිකෝණයකින්.

එම අපූර්ව සටහන මෙසේයි.

"වෙසෙසින් ජීව විද්‍යාත්මක දෘෂ්ටියකින් ලෝ තතු දෙස බැලීමට පුරුදු වී සිටින මට ස්‌වභා දහමේ ප්‍රධාන ක්‍රියාවලිය ලෙස පෙනෙන්නේ ඩී. එන්. ඒ. නමැති ජීවමාන රසායනික ද්‍රව්‍ය අඛණ්‌ඩව පෘථිවියේ පැවැත්මට දරණ ප්‍රයත්නයයි. ඒ අරමුණ වඩා සාර්ථකව සාක්‌ෂාත් කර ගැනීමට දොa විවිධ ස්‌වරූප ගෙන ඩී.එන්.ඒ. හැසිරේ. ලොව වෙසෙන කෝටි සංඛ්‍යාත ජීව විශේෂ ඒ ඩී.එන්.ඒ. ප්‍රභේදවල වාහක වැනිය. මනුෂ්‍ය සත්ත්ව විශේෂ හෙවත් හෝමෝසේපියන් නැතහොත් නැණවත් මානවයා ලෙස අප විසින්ම නම් කොට ඇති මෙම ජීව කොට්‌ඨාසය ඩී.එන්.ඒ.වල උත්කෘෂ්ට ප්‍රකාශය බව සම්මතයකි. මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රදර්ශනය වන ඩී.එන්.ඒ. ප්‍රජනන ක්‍රියාවලිය අතිශයින්ම සංකීර්ණය. විවිධාකාරය. ප්‍රබලය. එයයි මනුෂ්‍ය ලිංගිකත්වයේ අසාමාන්‍ය යථාර්ථය.

ජීව විද්‍යාත්මක සංසිද්ධියක්‌ මතයි, මෙම ක්‍රියාවලිය සිදු වන්නේ. නූතන වෛද්‍යවරුන් මේ දේවල් පැහැදිලි කිරීමට පෙර බුදුරජාණන් වහන්සේත් මේ පිළිබඳව දේශනා කළා. ත්‍රිපිටකයේ මේ සියලු දේවල් තියෙනවා. අටුවාවලත් මෙම කාරණා සඳහන් වෙනවා.

පුද්ගලයාගේ නැතහොත් සත්ත්වයාගේ ස්‌වභාවය වන්නේ ඔවුනොවුන් අල්ලා ගැනීමයි. ඇද බැඳ තබා ගැනීමයි. නමුත් එහිදී අප ලෝක සම්මතයන්ට ගරු කළ යුතුයි. මෙම ලෝක සම්මතයන්ට ගරු කරමින් ජීවත් වෙයි නම් සමාජයේ ඇතිවන ගැටුම් බොහෝ දුරට අවම කරගත හැකියි. නිරාකරණය කරගත හැකියි. අද බොහෝ මිනිසුන් තමන්ගේ ලස්‌සන ජීවිතය අසුන්දර කරගෙන තිබෙන්නේ, ඒ ජීවිත අපායවල් බවට පත් කරගෙන සිටින්නේ තම චර්යාවන් පාලනය කරගත නොහැකි නිසයි. එනිසා අප හැම මොහොතේම කල්පනා කළ යුත්තේ සමාජයේ ඉතාමත් සාධාරණ ලෙස ජීවත් වෙමින් සමාජ සංස්‌කෘතියේ පැවැත්ම සඳහා කටයුතු කිරීමයි.

රේණුකානේ චන්දවිමල මහා හිමියන්ගේ "කෙළෙස්‌ 1500" නමැති ග්‍රන්ථයේ ඇතුළත් මෙම කරුණුත් මෙහිදී අපගේ අවධානයට ලක්‌කර ගැනීම ඉතා වැදගත්.

එහි මෙසේ සඳහන් වෙනවා.

"සර්වාකාර පරිපූර්ණ ඉන්ද්‍රිය සංවරයක්‌ ඇති කර ගැනීම අතිදුෂ්කරය." එය හැකිවෙතොත් හැකිවන්නේ පැවිද්දෙකුටය. සියලු පැවිද්දන්ට එය කළ නොහැකිය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ පිළිබඳ සිඛපද නොපනවන ලදී. යමෙකුට ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ කළ හැකි වුවහොත් දුකෙන් මිදීමට අන් කළ යුත්තක්‌ ඉතිරි නොවේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් මාලුක්‌ඛපුත්‍ර භික්‌ෂුවට සහ භාහියධාරුචියටත් ඇසෙන් රූප දැක, දැකීම් මාත්‍රයෙහි සිටින්නේ නම්, කණින් ශබ්ද අසා ඇසීම් මාත්‍රයෙහි සිටින්නේ නම්, නාසයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රස දැන, කයින් ස්‌පර්ශ දැන, සිතින් ධර්මයන් දැක දැනීම් මාත්‍රයෙහි සිටින්නේ නම් නුඹ මෙලොවත් නොවේය, පරලොවත් නොවේය, දෙලොවේම නොවේය, එයම දුක්‌ කෙළවර වන්නෙහි" වදාළ සේක.

මඡ්Cධිම නිකායේ චුලමාළුක්‌ඛ සූත්‍රයෙහි සඳහන් දේයි උන්වහන්සේ මෙලෙස විස්‌තර කරනු ලබන්නේ.

උන්වහන්සේ එහිදී වැඩිදුරටත් මෙසේ විස්‌තර කරනු ලබනවා.

"ශ්‍රමණ ප්‍රතිපදාව දක්‌වන සූත්‍රවල මිස ගෘහස්‌ත ප්‍රතිපදාව දක්‌වන සූත්‍රවල ඉන්ද්‍රිය සංවරය දක්‌වා නැත. එහෙත් ගිහියන් විසින්ද එක්‌තරා ප්‍රමාණයකින් ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගත යුතුයි. එසේ නොවුණහොත් මිනිසා තිරිසන් ගණයට වැටෙන්නේය."

මෙය තමයි ලෝකයේ ස්‌වභාවය. කාමේසුමිච්ඡාචාරාවෙන් වැළකී නිසිසේ ඔවුනොවුන් යුග ජීවිත ගත කරනවා නම් සමාජයේ ගැටුම් ඇතිවන්නේ නැහැ. ප්‍රශ්න ඇතිවන්නේ නැහැ. ලෙඩදුක්‌ ඇතිවන්නේ නැහැ. මහා භයානක රෝග වැළඳෙන්නේත් නැහැ.

එතකොට මේ සමාජයේ සමලිංගික හැසිරීම් ගැනද කතා කරනවා. එලෙස හැසිරීම මේ සමාජයට කුමන ආකාරයේ බලපෑමක්‌ විය හැකිද? එය අකුසලයට හේතු වේද? මේ ගැනත් අප ඔබ වහන්සේගෙන් දැනගැනීමට කැමැතියි.

කාමේසුමිච්ඡාවරාවට සමලිංගිකත්වය අදාළ වෙනවද? මෙය බොහෝ දෙනකුට තියෙන ප්‍රශ්නයක්‌. සමලිංගිකත්වය ගැන කතා කිරීමේදී ත්‍රිපිටකයේදී එය හඳුන්වා ඇත්තේ මිච්ඡා ධම්ම ලෙසයි.

දීඝ නිකායේ අට්‌ඨ කතාවේදී මිච්ඡා ධම්ම කියන වචනය මෙලෙස විස්‌තර කර තිබෙනවා. පුරිසානං පුරිසේසු ඉත්ථිනංච ඉත්ථිසු ඡන්දරාගෝ.

පුරුෂයන් කෙරෙහි පුරුෂයන්ටද, ස්‌ත්‍රීන් කෙරෙහි ස්‌ත්‍රීන්ටද ඇති වන කාමය මිච්ඡා ධම්ම නම් වේ.

සමලිංගිකත්වය කාමයෙහි වරදවා හැසිරීමක්‌ද? මෙතැන ලොකු ප්‍රශ්නයක්‌ තියෙනවා. "කාමේසුමිච්ඡාචාරා" යනුවෙන් කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින්නැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමාජයේ පැවැත්මට හානි වන දේ වැළැක්‌වීමටයි. ඒ අනුව බලන කල සමලිංගිකත්වයත් සමාජයේ පැවැත්මට කරදරයට, හානියට හේතුවේ නම් එයත් කාමයේ වරදවා හැසිරීමක්‌. මෙයින් ලෙඩරෝග ඇති නම්, සමාජයම නොමඟට යයි නම්, පුද්ගලයා විනාශ වේ නම් මෙම ලිංගික හැසිරීමත් "කාමේසුමිච්ඡාචාරා" වට අයත් වෙනවා.

මිච්ඡා ධම්ම යනු වැරදි හැසිරීමයි. ඒ අනුව පැහැදිලි වන්නේ සමලිංගිකත්වය යනු විරුද්ධ ලිංගිකත්වයට වඩා පහත් දෙයක්‌ බවයි.

මෙතැන තියෙන්නේ පව සහ පින අතර ගැටුමක්‌. යම්කිසි ක්‍රියාදාමයක්‌ තුළින් අකුසලයක්‌ සිදුවේ නම්, එය තමන්ටත් අහිතකර නම්, අනුන්ටත් අහිතකර නම්, දෙපාර්ශ්වයටම අහිතකර නම් එය පවක්‌. යම්කිසි ක්‍රියාදාමයක්‌ තමන්ට මෙන්ම අන් අයටද හිතකර නම් එය පිනක්‌.

කාමය වරදවා හැසිරීමේදී අනියම් පුරුෂයකු, අනියම් බිරියක චර්යා ධර්මයන්හි හැසිරෙන්නේ ඉතාමත් කැමැත්තෙන්. මේ නිසා එතැනදී කාමයේ වරදවා හැසිරීමක්‌ වන්නේ නැතැයි කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ. මෙම ස්‌ත්‍රියකට විවාහ වුණු පුරුෂයෙක්‌ සිටිනවා. පුරුෂයාටත් විවාහ වුණු බිරිඳක්‌ සිටිනවා. මෙම අනියම් ඇසුර නිසා මෙම පාර්ශ්වයන් අතර ගැටුම් ඇතිවීමේ ඉඩකඩ වැඩියි. සමාජ සදාචාරය බිඳ වැටෙනවා. මේවා පවත්වාගෙන යැමේදී නිතරම පසුවන්නේ සැකෙන්, බියෙන්. අප රටට අනුව සමාජ සම්මතයන් බිඳ දමා සිදුකරන මෙම ක්‍රියාවලිය නිසා ඊට පෙළඹෙන්නන්ද සිටින්නේ දෙගිඩියාවකින්, නොසන්සුන් සිතකින්. මේවා දිගින් දිගටම සිදුවන විට එයම අකුසලයට හේතුවක්‌ වෙනවා.

අප සමාජයේත් සමාජ අන් සමාජවලත් ගණිකා වෘත්තිය පවතිනවා. ගණිකා වෘත්තියේ යෙදීම පවක්‌ද? කාමයේ වරදවා හැසිරීමක්‌ද? අප ඒ ගැනත් විමසා බැලිය යුතුයි.

සිරිමා යනු බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ජීවත්වුණු ප්‍රසිද්ධ ගණිකාවක්‌. ඇය තමන්ගේ සේවය ලබාදීම සඳහා විශාල මුදලක්‌ අය කළා. ඇය ගණිකාවක්‌ ලෙස තමා ළඟට පැමිණෙන අයට සේවය ලබාදීම කාමයේ වරදවා හැසිරීමක්‌ වන්නේ නැහැ. ඉන්දීය සමාජයේ ගණිකා වෘත්තිය නීතිගත කර තිබූ නිසා ඇය කළේ ඊට අදාළ වෘත්තියේ යෙදීම විතරයි.

නමුත් ඇයගේ පහස ලබන්න යන්නේ විවාහක පුරුෂයෙක්‌ නම් එකී ක්‍රියාවලිය තුළ ඔහුගේ පවුල් සංස්‌ථාව බිඳ වැටීමට හේතු වේ නම් එතැනදී පවක්‌ සිදුවීම වැළැක්‌වීමට නොහැකියි. එම පව සිදුවන්නේ එම පුරුෂයාටයි.

එහෙත් ශ්‍රී ලංකාවේ වෛශ්‍ය වෘත්තිය අනුමත කරන්නේ නැහැ. එවැනි තත්ත්වයක්‌ යටතේ වෛශ්‍ය වෘත්තියේ යෙදෙන්නන් මෙන්ම ඔවුන්ව සොයායන පුරුෂයන්ද අනිවාර්යෙන්ම සිදුකර ගන්නේ පවකි. සමාජය නොමගට යවමින් සමාජ සංස්‌ථාව බිඳ දැමීමට ඔවුන්ගේ ක්‍රියාවලිය හේතු වෙනවා.

ජපානය, තායිලන්තය වැනි රටවල ගණිකා වෘත්තිය නීතිගත කර තිබෙනවා. එවැනි තත්ත්වයක්‌ තුළ එම වෘත්තියේ යෙදෙන කාන්තාවන්ට අදාළ සේවය සැපයීමට සිදුවෙනවා.

අප සෑම විටම කල්පනා කළ යුත්තේ යම්කිසි ක්‍රියාවක්‌ සිදු කිරීමේදී එය තමන්ටත්, අනුන්ටත් අයහපත පිණිස වේ නම් එය අකුසලයක්‌ වන බවයි.

එනිසා කවුරුන්ට හෝ තමන්ගේ රුචි අරුචිකම් අනුව පමණක්‌ හැසිරෙන්න අයිතියක්‌ නැහැ. තමන් සිදුකරන ක්‍රියාවන් නිසා සමාජයට සිදුවන්නේ යහපතක්‌ද? අයහපතක්‌ද? කියා නිතරම කල්පනා කළ යුතුයි. සමාජ සදාචාරයට සහ සමාජ සම්මුතීන්වලට පිටුපා ක්‍රියාකිරීමට අපට අයිතියක්‌ නැහැ.


ධර්ම සංවාදය-වසන්ත ලියනගේ
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.