මානවහිතවාදී දේශපාලනඥයා රිචර්ඩ් පතිරණ

හිටපු අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය රිචර්ඩ් පතිරණ මැතිතුමා අභාවප්‍රාප්ත වී 2011. 07. 04 දිනට අවුරුදු 03 ක්‌ සම්පූර්ණ වේ. මෙම ලිපිය ඒ නිමිති කරගෙනය.

නිදහසින් පසු මේ රටේ සිටි අධ්‍යාපන අමාත්‍යවරුන් අතුරින් සුවිශේෂ ස්‌ථානයක්‌ රිචර්ඩ් පතිරණ මහතාට හිමි වේ. ගුරු වෘත්තියෙන් ආරම්භ වී විදුහල්පතිවරයකු වශයෙන් ද ක්‍රියා කොට රටේ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් පත්වීම සුවිශේෂ කරුණකි.

ගාල්ල කපුහෙම්පල සුන්දර ගම්මානයේ ඉපිද වැලිපත කනිෂ්ඨ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ගාල්ල විද්‍යාලෝක මහා විද්‍යාලයෙන් උසස්‌ අධ්‍යාපනය ලබා පුහුණු ගුරුවරයකු වශයෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට පිවිසුණි. ඒ වකවානුවේ ගුරු වෘත්තියේ කේන්ද්‍රස්‌ථානයන් වූ, අධ්‍යාපනයට අභිමානවත් ගුරු පරපුරක්‌ බිහිකළ බළපිටිය ගුරු විදුහලට ඇතුළත්ව පුහුණු ගුරුවරයකු වශයෙන් අධ්‍යාපනය ලබා ගත්තේය. පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්‌ත්‍රීය උපාධිය ද, අධ්‍යාපන ඩිප්ලෝමා උපාධිය ද ලබා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ සිය සම්පූර්ණ දැනුම් සම්භාරය ලබා ගත්හ. පසුව නරාවල විදුහලේ දීර්ඝ කාලයක්‌ ගුරුවරයකු වශයෙන් ක්‍රියා කළ අතර විදුහල්පතිවරයකු වශයෙන් මීපාවල අමරසූරිය විදුහලට පත්විය. මීපාවල අමරසූරිය විදුහල් ඉතිහාසයේ අද දක්‌වා නොමැකෙන ඉතිහාසයක්‌ එක්‌කළ පතිරණ මහතා විදුහලේ නව දියුණුවක්‌ ඇති කළේය. විද්‍යා, කලා, වාණිජ අංශයෙන් උසස්‌ පෙළ ආරම්භ කර තම සේවා කාලය තුළ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කිරීමට තරම් අධ්‍යාපනයේ සීග්‍ර දියුණුවක්‌ ඇති කළේය. වර්තමානයේ වුවද ප්‍රදේශයේ ජනතාව පවසන්නේ පතිරණ මහතා බඳු දක්‍ෂ විදුහල්පතිවරයකු අද දක්‌වා පාසලට නොලැබුණු බවයි.

පසුව නාගොඩ රාජකීය විදුහලේ විදුහල්පති ධුරයට පත්වූ පතිරණ මහතා එම පාසල ද ප්‍රදේශයේ ජනප්‍රියතම පාසලක්‌ බවට පත් කළේය. විදුහලේ ස්‌වර්ණමය යුගය ඇරඹෙන්නේ පතිරණ මහතා විදුහල්පති ධුරය දරන කාල සීමාවයි.

1980 එවකට පැවති රජය දේශපාලන පළිගැනීමක්‌ ලෙස එතුමා බෙන්තොට අතුරුවැල්ල විදුහලට මාරු කරන ලදී. මේ මාරුව එක්‌තරා දුරකට රිචර්ඩ් පතිරණ මහතාට ආශිර්වාදයක්‌ විය. විදුහල්පති ධුරයෙන් විශ්‍රාම ගෙන පූර්ණ කාලීන දේශපාලනයට පිවිසුණ පතිරණ මහතා 1983 දී අතුරු මැතිවරණයට තරග කොට අක්‌මීමන ආසනයේ මන්ත්‍රීවරයා ලෙස තේරී පත්විය. 1986 දී නැවත අතුරු මැතිවරණයකට තරගකොට අක්‌මීමණ ආසනයේ මන්ත්‍රීවරයා බවට පත් වූ ඒ මහතා 1983 සිට 1994 දක්‌වා විපක්‌ෂයේ මන්ත්‍රීවරයකු ලෙසත් 1994 සිට 2001 දක්‌වා ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසත් පාර්ලිමේන්තුවේ සභානායක ලෙසත් ක්‍රියා කළේය.

අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන, රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමැතිවරයකු ලෙසත් මුළුමහත් ලංකාවටම කළ සේවය මෙබඳු කුඩා ලිපියකින් දැක්‌වීම අපහසුය. එතුමා අක්‌මීමන කොට්‌ඨාසයේ සියලුම පාසල් සඳහා දෙමහල් ගොඩනැඟිලි හා වෙනත් අධ්‍යාපන පහසුකම් ලබාදුන් අතර ලබුදූවේ සිරිධම්ම විදුහල නමින් නව විදුහලක්‌ ඇති කළේය. මෙයට අමතරව රුහුණු ඉංජිනේරු පීඨය, රුහුණු ජාතික විද්‍යා පීඨය, විවෘත විශ්වවිද්‍යාලය, බහු තාක්‍ෂණික ආයතනය, ලබුදූව හා පින්නදූව නව නගරය, අක්‌මීමණ හා ලබුදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාල, අක්‌මීමන හා බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව හා සෞඛ්‍ය මධ්‍යස්‌ථානය ආදි සියලු ගොඩනැඟිලි පහසුකම් අක්‌මීමන ඡන්ද කොට්‌ඨාසය තුළ කළේය.

පොදු ජන එක්‌සත් පෙරමුණේ ගාලු දිස්‌ත්‍රික්‌ නායකයා ලෙස පක්‍ෂයට ලබාදුන් විශිෂ්ට නායකත්වය විශේෂයෙන්ම කැපී පෙනේ. 1994 සිට පැවැති සෑම මැතිවරණයක්‌ම ගාලු දිස්‌ත්‍රික්‌කයේ පොදු ජන එක්‌සත් පෙරමුණට ජයග්‍රහණය ලබා ගත හැකි වූයේ මෙතුමා ලබාදුන් නායකත්වය නිසාය. මෙතුමාගේ ජීවිතයේ කැපීපෙනෙන ලක්‍ෂණය වන්නේ මෙතරම් කෙටි කාලයක්‌ තුළ අති විශිෂ්ට සේවයක්‌ ගාලු දිස්‌ත්‍රික්‌කයට සිදු කිරීමයි. මෙතරම් වැඩ කළ දේශපාලනඥයෙක්‌ නැති තරම්ය. පතිරණ මහතා මෙතරම් වැඩ කිරීමේ රහස වන්නේ තමා ආරම්භ කළ සැම වැඩකම පසු විපරම් කිරීමයි. මුල්ගල තබා වැඩ නිම වෙනතුරු බලා නොසිට තමා පෞද්ගලිකවම එහි ප්‍රගතිය නිතර විමසීම පුරුද්දක්‌ වශයෙන් සිදු කළේය. මෙහි ප්‍රතිඵලය වූයේ මෙතුමා ආරම්භ කළ වැඩ කටයුතු ඉතා කෙටි කාලයක්‌ තුළ අවසන් වීමයි.

ආචාර්ය රිචර්ඩ් පතිරණ මැතිතුමන්ගෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සිදු වූ අති විශිෂ්ට සේවයට කෘතගුණ සැලකීම සඳහා අක්‌මීමන අධ්‍යාපන කොට්‌ඨාසයේ ප්‍රධාන පෙළේ නවෝද්‍යා පාසලක්‌ වූ උළුවිටිකේ මහා විද්‍යාලය ආචාර්ය රිචර්ඩ් පතිරණ විද්‍යාලය යනුවෙන් නම් කිරීම එවකට කෘෂිකර්ම හා වාරි මාර්ග අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා රිචර්ඩ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2006. 08. 07 වැනි දින සිදුවූ අතර එම උත්සවය රිචර්ඩ් පතිරණ මැතිතුමා සහභාගි වූ අවසාන උත්සවය ද වන්නේය.

වර්තමානයේ අප විද්‍යාලයට එතුමාගේ නම තැබීම මහත් ආශිර්වාදයක්‌ විය. වර්තමානයේ විද්‍යාලය සීග්‍ර දියුණුවක්‌ ලබමින් පවතී. දැනට ද්විතීයික පාසලක්‌ වන මෙම විදුහල වර්තමානයේ සිසුන් 800 කට වැඩි සංඛ්‍යාවක්‌ අධ්‍යාපනය ලබයි.

පූජ්‍ය තලාවේ ධර්මාරාම හිමි
විදුහල්පති,
ආචාර්ය රිචර්ඩ් පතිරණ විද්‍යාලය, උළුවිටකේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.