අනේ නපුරු අලියෝ
'අපේ ගෙදර සද්දන්තයා' බිලිගත්තේ ඇයි?



දුප්පත්කම නමැති ශාපයෙන් දැනෙන වේදනාව වෙන්වූ තවත් මහා ජිවන අඳුරක්‌ ජීවිතයකට නැති තරම්ය. එයින් නැගෙන දැනෙන දුකත්, විඩාව හා සන්තාපයත් මහා මේරුව හෝ මහා සාගරයට වත් සමාන කළ නොහැකි බව දන්නෝ නම් එම රුදුරු ජීවන ඉරණමට ගොදුරු වූවෝම හැර අන් කවුරුන්ද? අපේ රටේ නායකයන් මැති ඇමැතිවරුන්, ඔවුන්ගේ සංවර්ධන සැලසුම් කරුවන් දුප්පත්කම ලංකාවෙන් පමණක්‌ නොව ආසියාවෙන්ම තුරන් කිරීමට කෙළවරක්‌ නැති කතා කියද්දී, ඇති හැකි අය උපන් දිනයට, මගුල් සාදයට, විනෝදයට මතුනොව මළගෙයට පවා කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි වියදම්කරද්දී දවසේ එකවේලක්‌වත් හරිහැටියට සොයා සපයා ගැනීමට බැරිතරම් අන්ත අසරණ වූ දුප්පතුන් අපේ රටේ දුර ඈත ගම්මානවල අත්තෙන්ම කොයිතරම් නම් සිටිනවාද?

අසන අසන කියවන කියවන සෑම මිනිස්‌ හදවතක්‌ම එකසේ කම්පා කරවන තරම් වූ මෙම හද දවන කතාවද ඒ දුප්පත්කම පිළිබඳ වූ තවත් එක කඳුළු කතාවක්‌ පමණක්‌ නොවේ. එනම් ඒ දුප්පත්කමින් ජීවිත පෙළක්‌ම මිරිකෙමින් තිබියදී සොබා දහමේ අකාරුණික කුරිරු බලවේගද එම ජීවිතවලට සරදම් කළ ඒ ජිවිත නිවනු සනහනු සඳහා ඔබේ දයාබර දැතේ සවියද ඉල්ලා ආයාචනා කිරීමට ලියූ කතාවකි.

මෙම කඳුළු කතාවට මුළ පිරුණේ අදින් දින කිහිපයකට උඩදීය. පසුගිය හය වැනිදාය. අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ මහ හෙට්‌ටියාව දිළිඳු ගම්මානයට රෑ කළුවර කඩා හැළුණේ ගැමියන්ට හැමදාමත් හුරු පුරුදු විඩාපත් ජිවනයට මඳ විරාමයක්‌ ලබා දෙමින්ය.

එස්‌. ඒ. ගුණවර්ධනත්, යූ. එන්. ලීලාවතීත් තම කුඩා දරුවන් දෙදෙනාත් සමඟ ගිරිදුර්ගවලින් පිරි ඉතිරුණු මේ මහ හෙට්‌ටියාවේ ජීවත් වූයේ කාලයක පටන්ය. සැබවින්ම ඔවුන්ගේ ජිවිත එම ගිරිදුර්ග තරම්ම වූ කටු කොහොල් හා කොර සැඩිකම්වලින්ද පිරී ඉතිරී ගියේ ජීවිතය එකම දුක්‌ සයුරක්‌ බවට පත්කරමින්ය.

ගුණවර්ධනගේ පුතු වූ දහතුන් හැවිරිදි එස්‌. ඒ. ගුණවර්ධන ඉගෙන ගත්තේ මී වැව පිරිවෙනේ හය වසරේයි. ඔහුගේ හය හැවිරිදි වියේ වූ පුංචි දියණිය ඉෂාරා පලාගල කනිෂ්ඨයේ එක වසරේ ඉගෙන ගත්තාය. ගුණවර්ධනට මෙම දරු පවුල නඩත්තු කිරීමට ස්‌ථිර රැකියාවක්‌ නොතිබිණි. ඔහු තැනින් තැන සොච්චමක්‌ අතට ගන්නට කුලී වැඩ හොයාගෙන ගියේය. දවසේ පැය දොළහේම දැඩි හිරු රැස්‌ පොළොවට රවා බැලූ බොහෝ දිනවල කුලී වැඩ සොයා ගිය

එම මූසල දවසේ එනම් පසුගිය හය වැනිදා සතර දිගින් කළුවර ගලා හැලී රෑ දහය තරම් වූවා පමණි. සීතල සුළං වැදී මහ හෙට්‌ටියාව ගම්මානයේ මහ තුරු මුදුන් සෙලවී එකිනෙක ගැටුණේය. ඝනකළු කොළ කැටියෙන් වැසුණු ඒ මහ ගසක දිරා ගිය අතු ඉපලක පිය පතර තබා සැඟව කෑලි කැපිය හැකි ඝන අන්ධකාරය දෙස බලා නොකඩවා හැඬූ බකමූණාගේ සොහොන් හඬ පවා ඒ තුරු මුදුන් එකිනෙක ගැටෙන හඬින් කාටවත් ඇසුණේ නෑ. මහ හෙට්‌ටියා වට හැමදාමත් වල් අලි කඩා වැදුණද ඒ රැය එදා නිදිබර බවින්ම ගෙවී යන්නට පටන් ගත්තේ ඒ ගැන කිසිම හාවක්‌ හූවක්‌ද නොවූ ගානටය. මහ හෙට්‌ටියාවේ ගුණවර්ධන යුවළ මෙන්ම ඔවුන්ගේ පුංචි පැටවුන්ද නින්දට යන වේලාව ආසන්න වෙමින් පැවතිණි. ඔවුන්ගේ පැල් කොටය වටා වෙනත් දිනවල පැවති සොඳුරු චමත්කාරය එදින දක්‌නට නොලැබුණේය. රැහැයියන් පමණක්‌ තොරතෝංචියක්‌ නැතිව කෑගෑ පාළු මූසල වටපිටාවට තනි රකින්නකු මෙන් ගුණවර්ධන ගේ අද්දර හිටගෙන එකතැනම නතර වී උන් මහ කළු හෙවණැල්ල තව මොහොතකින් ගුණවර්ධනගේ ජීවිතය ඩැහැගන්නට පැමිණ සිටින මාරයා බව කිසිවකු දුටුවේ නම් ඒ පාළු වට පිටාවට පමණි. ඒත් එක්‌කම ගුණවර්ධනගේ පැල්පතට අල්ලපු වත්තෙන් ඇසුණේ විශාල ශබ්දයකි. ඒ වෙන කිසිවෙකුත් නොව මූසල කළුවරේ හොල්මන් කරන නපුරු තනි අලියා බව ඉවෙන් මෙන් වටහා ගැනීමට ලීලාවතීට වැඩි වේලාවක්‌ ගත නොවීය. මහා බයකින් තිගැස්‌සී ගිය මුවැත්තියක වැනි වූ ඇය නපුරු තනි අලියා පැමිණ ඇතැයි ගුණවර්ධනට කොඳුරුවාය. ඔහුqට කළ යුතු දෙයක්‌ සිතා ගැනීමට පවා නොහැකිවිය. පුංචි ඇස්‌ගෙඩි ලොකුකර ගෙන තමන් දෙස බියෙන් බලාසිටි පුංචි පැටවුන් දෙදෙනාගේ මූණු පොඩි දෙස මොහොතක්‌ බැලූ ඔහුට දැනුනේ බිය මුසු පාළු හැඟීමකි. එයින් ඉක්‌බිතිව ගෙපැලෙහි උළුවස්‌ස ළඟට ගෑටූ ඔහු දොරක්‌ නැති උළුවස්‌සට නිකං හේත්තුකර තිබූ ටකරමට කීප වරක්‌ම ගැසුවේය. කිසිදු හාවක්‌ හූවක්‌ නැත. එක දිගට ඇසුණේ රැහැයියන් හඬන හැඬ පමණෙකි. ටකරම හෙමින් මෑත් කළ ඔහු එළියට බැස්‌සේය. පුංචි දරු පැටවුනටවත් සැපදායක හෙට දවසක්‌ උරුමකර දෙන්නට හැමදාමත් කුලී වැඩට ගිය ඔහු මේ යන්නේ සිය පන කෙන්දවත් රැගෙන යළිත් ගෙපැලට නොඑන ගමනකැයි කිසිවෙකුත් නොසිතූවේය. මිදුලේ අඩි දෙක තුනක්‌ වත් ඉදිරියට යන්නට මේ අසරණ මිනිසාට ඉඩ නොලැබුණේය. එතෙක්‌ මහ ඝන අඳුරේ සැඟවී ගුණවර්ධනගේ මාරයෝගය එළඹෙන තෙක්‌ බලා සිටී සාහසික තනි අලියා හිටි හැටියේම ඔහු ඉදිරියට පැන ගුණවර්ධනව එක්‌ වරම හොඬ වැලෙන් අල්ලාගත් අලියා සිය උපරිම වැර යොදා අඩක්‌ නිමකළ බිත්තිය දෙසට ඔහු විසි කළේය. හිත්පිත් නොවූ අලියාගේ ඒ අකාරුණික පහර කෙතරම් වීද යත් ගඩොල් ගැලවුණු බිත්තියෙහි සුන්බුන් බිමට කඩා හැළුණේය.

"අනේ ලීලා මාව ඉවරයි. අනේ පුතේ මාව ඉවරයි." තවමත් ජීවන කෙඳිරිය හරිහැටි නතර වී නොතිබුණු අහිංසක ගුණවර්ධනගේ මුවින් පිට වූයේ එපමණකි. ගුණවර්ධනගේ ගොරබිරම් භීත හඬ හිත කීරි ගැසුවද එය අලියාගේ සිතනම් සලිත කිරීමට සමත් නොවීය. එහෙයින් ඒ අතිශය අමානුෂික පහර දීමෙන් නොනැවතුණු අලියා ඔහුගේ අබල දුබල වූ ශරීරය පාගා පොඩි පට්‌ටම් කළේ පොළොවේ ගොම ගෑවී යන තරමටය. තම ජීවිතය තුළ ඇස්‌ ඉදිරිපිටදීම මෙවන් කුරිරු ඉරණමක්‌ දක්‌නට කරම් අවාසනාවන්ත වූ ලීලාවතීට හෝ දහතුන් හැවිරිදි පුංචි ගුණවර්ධනට හෝ තම ආදරණීය පියා බේරා ගැනීමට කළ හැකි කිසිවක්‌ නොවීය. තනි අලියාගේ බල පරාක්‍රමය හමුවේ ඔවුන්ට ඉතිරි වි තිබුණේ නම් ඒ එකම දෙය ජීවිතයෙහිත්, අවට වටපිටාවෙහිත් පැල් බැඳගෙන හුන් තට්‌ටතනිකම හා අසරණකම් පමණි. නූතන යුගයේ පටාචාරාවක වැනි වූ මේ දෙදරු මව දියෙන් ගොඩදැමූ මසකු මෙන් විලාප නගමින් මුළු මහ හෙට්‌ටියාව ගම්මානයටම ඇසෙන සේ මහ හඬින් හැඬුවාය. සිය පුංචි සමනළ පැටවුන් දෙදෙනාද තුරුලට ගෙන ගෙයි මුල්ලක සැඟවුණු ඇය එයින් ඉක්‌බිතිව හීනි හඬින් පමණක්‌ කෙඳිරි ගෑවේ තමන්ගේ දුබල මහා හඬ ඇසී කිසිවෙකුත් එනු වෙනුවට ඒ හඬින් දරු සිඟිත්තන් දෙදෙනාගේ ජීවතත් තනි අලියාට බිලි වෙතැයි සිතූ නිසාවෙනි. භීතිය වේදනාව හා විඩාවද අතරින් ලීලාවතීගේ සිතෙහි වූ ශෝකාග්නිය මෙලෙස බුර බුරා දැල්වෙද්දී මහ හෙට්‌ටියාවේ බොහෝ පිරිසක්‌ ඇයගේ මිදුලට රැස්‌ වී සිටියහ. එහෙත්a ඒ වන විටත් එතැනින් පලාගොස්‌ සිටි තනි අලියා ලීලාවතීගේ පවුලේ සතුට හා සැනසුම පමණක්‌ නොව මුළු මහත් අනාගතයම කැබලි කැබලිවලට කඩා බිඳ සුනුවිසුණුකර දමා ඉවරකර තිබුණේය.

අඩුම මිලකට ගෙන ආ ලෑලි පෙට්‌ටියක ගුණවර්ධනගේ මළකඳෙහි කැබලි බහාලුවාද කිසිවකුටත් බැලීමට නොහැකි තරමට විකෘති වී තිබුණු බැවින් පෙට්‌ටිය වසා දමා තිබිණි. දේහය සහිත දෙන තැබීමට තරම්වත් ඔවුන්ගේ ගෙය සුqදුසු තත්ත්වයක නොවූ හෙයින් එය තබා තිබුණේද ගම්මුන් එකතු වී හදිසියේම ඇට වූ කුඩා ටකරන් මඩුවකය. මෙහිදී දක්‌නට අපට ලැබුණු, මොහොතකට අපේ හදවත් පවා නතර කළත් මෙවන්වූ දු(තම කතාව නම් මෙය නොවේ. එනම් තම පුංචි පුතාගේත්, දුවගේත් පිරිවෙන් හා පාසල් ගමන්වලට දිරියක්‌, ශක්‌තියක්‌ දෙන්නට නිල ඇඳුම් දෙකක්‌ මසනු සඳහා දිගුකලක්‌ දහදිය කඳුළු හලා එකතුකර ගත් මුදලින් ගුණවර්ධන සුදු රෙදි මිටර් තුනක්‌ ගෙනවිත් ගෙදරතබා තිබුණේය. සුදු රෙදි කැබැල්ලක්‌ ගන්නට තරම්වත් වත් පොහොසත් කමක්‌ නොවූ ලීලාවතීලාට අවසානයේ එය ගන්නට සිදුවූයේ මතක වස්‌ත්‍රය ලෙස ගුණවර්ධනගේ දේහය සහිත දෙන මත දමන්නටය. මෙහි ඡායාරූපයෙන් දැක්‌වෙන ගුණවර්ධනගේ නිහඬ සිරුර තැන්පත් කළ දෙන දමා තිබුණු ඔබ මේ දකින්නේ එම සුදු රෙදි කඩය. ඉදින් දයාබර මිනිසුනි. දැන් ලීලාවතීත් ඇගේ අසරණ දරු පැටවුන් දෙදෙනාත් ජීවත්වන මේ ගෙපැලේ තවත් ඉතිරිව ඇත්තේ නම් ඒ පාළුවත්, තනිකමත් ඒ ඔක්‌කෝටමත් කලින් පැනවිත් පැලට රිංගාගෙන එහි පැදුරු එලාගත් දුප්පත්කමෙහිම අඳුරත් පමණි. එයින් නැගී වාතලය සලිත කරවන තරම් වූ ඔවුන්ගේ ජීවන දුක්‌ සුසුම් හඬ අසන්නට දැන් ඒ ගෙපැලෙහි කිසිවෙකුත් නැත. මෙතෙක්‌ ඔවුන් ජිවත් කළ එකම ජිවිතය නැත්තටම නැති වී ගියේය. හිතක්‌ පපුවක්‌ නැති වල් අලියාගේ පහරට ලක්‌වී ඉන්න හිටින්ට තිබුණු ඔවුන්ගේ පැල්කොටයද බිමට බාහැළුණේය. අන්ත අසරණ බව පමණක්‌ ජිවිතයේ එකම උරුමය බවට පත්වූ ලීලාවතීලාගේ මේ කඳුළු කතාව මිනිස්‌කම් දොaර ගලා යන සිත්වලින් යුත් මිනිසුන් සිටින ලෝකයේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම අත්තටු ලබා ඉගිලී යා යුතු වන්නේ නිසාය. එහෙත් ජිවිතය ජීවත්කරවීමට ජීවිතයම පරදුවට තබා සිත්පිත් නැති සොබා දහමෙහි කෲර බලවේගද සමඟ පොර බදමින් ඈත ගම්මානවල ජීවිතයට හඬා වැටෙන මෙවැනි මිනිසුන් ගැන මානසික සිතුවම් ඇඳෙන්නේ අප කීයෙන් කී දෙනෙකු තුළද? කොළඹ හෝ වෙනත් නගරයක නැත්නම් සැප පහසුකම් වලින් පිරුණු ගමකට ද වී ජීවත් වන අපි අපට අරදේ මේ දේ නැතැයි කෑමොර දෙන්නට තරම් සැහැසිවෙමු. එලෙස කිසිම කිසි හඬක්‌ පවා නොනැගම එහෙත් ජිවිතයෙන් ඈතට පලා නොගොසින් ජීවත් වන්නට වැර වෑයම්කරන මේ මිනිසුන්ගේ ජීවිතවලට අවම පහසුකම හෝ ලැබී තිබේද? විවිධ ආගම් යටතේ කෙළගණන් වූ කාසි පනම් යට අප පින් පුරන්නට නිමා නැති තරගයක නියෑලී සිටින්නේද රන් අකුරින් පවා අපගේ නම් ගම් විස්‌තර ලියවමින්ය. එසේම පාරවල් පුරා තිබෙන බැනර් කටවුට්‌ කොතරම් නම් වූ නිසරු ධන හානියක්‌ විදහාපාන්නේද? මේ කිසිවකිනුත් අපට අපගේ මනුෂත්වය වඩාත් අර්ථවත්කර ගැනීමට හැකි වූයේ දැයි යන්න සැකයට තුඩුදී තිබෙන කාරණයකි. සැබෑ හැඟීමෙන් අනාථ අසරණයන්ට සංග්‍රහ සත්කාර කරන්නා තමන් වහන්සේට නිසිලෙස සත්කාර කරන්නෙ කැයි සදෙස තිලෝගුරු බුදුරජාණන් වහන්සේද මතුකොට වදාළේත් නිතර පින්දම් කරන අප නෙත සිත නොගැටෙන මානව හිතවාදීත්වයේ ඒ අපූරු හරය යෑයි අපට සිතේ. පලාගල ලීලාවතීලාට පිළිසරණයේ දැත් දිගුකරමින් දෙස්‌ විදෙස්‌ ඔබ සියලු දෙනා ඔවුනට පිහිට වී ඔවුන්ගේ ජීවිතය යළිත් ගොඩනගන දෙස අපි නිරාමිස සතුටින් බලා සිටිමු. ඒ සඳහා අවශ්‍ය වැඩි විස්‌තර පලාගල ප්‍රදේශීය ලේකම් කාර්යාලයෙන්ද ඔබට ලබාගත හැකිය. යූ. එන්. ලීලාවතී, මහහෙට්‌ටියාව, පලාගල, ඔවුන්ගේ ලිපිනයයි

සුගත් වීරසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.