2600 දම්සක්‌ ජයන්තිය සමරමු
තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමි

2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය තුළ එබඳු වූ තවත් උතුම් ජයන්තියක්‌ උදා වෙමින් පවතී. ඒ වනාහි බුදු පියාණන් වහන්සේ ගයාවේ ඇසතු බෝ රුක මුලදී සාක්‍ෂාත් කැර ගත් සිවුසස්‌ දහම බරණැස ඉසිපතන නම් වු මිගදායෙහි දී පළමු වරට "දම්සක්‌ පැවැත්වීම (ධම්මචක්‌කප්පවත්තන) වශයෙන් දේශනා කිරීමෙන් මෙම ඇසළ පුනු පොහෝ දිනයට වසර 2600 ක්‌ උදා වීමයි. මෙය සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය විශිෂ්ටත්වයට පත් කරන සුවිශේෂ කරුණකි. මෙම ජයන්ති වර්ෂය තුළදීම බුදුරදුන් පළමු වරට සිරිලකට වැඩ, වසර 2600 ක්‌ උදා වීම තවත් විශේෂතර වූ අනුස්‌මරණීය ජයන්තියක්‌ ලෙස සිහිපත් කළ යුතුය.

දුර්ලභ ව සැමරීමට සිදුවන උතුම් ජයන්ති අවස්‌ථා තුනක්‌ අප ජීවිත කාලය තුළදීම මෙසේ සිහිපත් කරන්නට ලැබීම සැබවින්ම අප සැම ලද පරම භාග්‍යයකි. මුළු රටට ම ආර්ථික හා ආධාHdත්මක සම්පත් උපරිම වශයෙන් සලසාගත හැකි මේ උතුම් ආගමික සැමරුම් තුන අප විසින් උත්සව පැවැත්වීම්වලට පමණක්‌, නැතහොත් ආමිස පූජාවෙන් සැමරීමට පමණක්‌ සීමා කැරගැනීම අර්ථාන්විත වූත් ප්‍රඥගෝචර වූත් ක්‍රියාවක්‌ නොවේ.

2600 සම්බුද්ධත්ව ජයන්ති උදාවෙන් මහත් උද්දාමයෙන් පිබිදුණු බහුතර ජනතාවගේ උනන්දුව දැන් දැන් මදින් මඳ අවරට හැරෙන සෙයක්‌ පෙනේ. එසේ නොවී, උතුම් දම්සක්‌ ජයන්තියෙන් පිබිදෙන්නට කාලය පැමිණ තිබේ. බුදු පියාණන් වහන්සේ එදා ඇසතු බෝරුක මුල දී පටිවේධ Cදාණයෙන් සාක්‌ෂාත් කැරගත් වට තුනක්‌ හා ආකාර දොළොසක්‌ ඇති චතුරාර්ය සත්‍ය පිළිබඳ වූ ධර්මචක්‍රය බරණැස ඉසිපතනාරාමයේ දී දේශනා Cදාණයෙන් පළමු වරට ලෝකයට ප්‍රකාශයට පත් කිරීම මෙම ඇසළ පොහොයේ වටිනා ම සංසිද්ධිය වේ.

මේ ලොව දුකක්‌ ඇති බවත් (සත්‍ය ඥන) ඒ දුක මැනවින් පිරිසිඳ දතයුතු බවත් (කෘත්‍ය ඥන) එසේ දුක පිරිසිදු දැන ගැනීමත් (කෘත ඥන) මෙ පරිද්දෙන් ම ඒ දුකට හේතුවන තෘෂ්ණාවක්‌ ඇති බවත් එය ප්‍රහාණය කළ යුත්තක්‌ බවත්, එ ලෙස තෘෂ්ණාව ප්‍රහීණ කිරීමක්‌ - තෘෂ්ණා හේතුවෙන් හටගන්නා දුකේ නැති වීමක්‌ ඇති බවත්, ඒ දුක්‌ඛ නිරෝධ නම් වූ නිවන සාක්‌ෂාත් කළ යුත්තක්‌ බවත්, එසේ නිවන සාක්‌ෂාත් කිරීමත් ඒ සඳහා වූ ප්‍රතිපදා මාර්ගයක්‌ ඇති බවත්, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ඒ ප්‍රතිපදා මාර්ගය වැඩිය යුත්තක්‌ බවත්, ඒ අයුරින් ඒ ආර්ය මාර්ගය වඩන ලද බවත්, එසේ තමන් වහන්සේ විසින් අවබෝධ කැරගන්නා ලද චතුරාර්ය සත්‍යය ලෝකයාටත් අවබෝධ කරවනු සඳහා තමන් වහන්සේ ගේ ප්‍රථම ධර්මදේශනය ම උපයෝගී කැරගත් ආකාරයත් ධම්මචක්‌කප්පවත්තන සුත්‍රයෙන් අනාවරණය වේ. ධර්මචක්‍රය මුල් කැරගෙන දහම් ඇස ලොවට විවර කැරුණේ මෙම ඇසළ පුනු පොහෝදා ය. සූත්‍රයෙහි සඳහන් වන "චක්‌ඛුං උදපාදි යන එම අදහස ඇස්‌, අළඝ ඇසළ යන්නෙහි අරුත්වත් වන අයුරු සලකා බලනු වටී.

මෙම ධර්මචක්‍රය ලොවෙහි අන් කිසි ශ්‍රමණයෙකුට හෝ බමුණකුට හෝ දෙවියකුට හෝ මරකුට හෝ බඹකුට හෝ පැවැත්විය නොහැකි, නැත හොත් එබඳු කෙනෙකුට එය එසේ නොවේ යෑයි ආපස්‌සට පෙරළා යෑවිය නොහැකි විශිෂ්ට චක්‍රයක්‌ ලෙස ද සූත්‍රයෙහි හඳුන්වා ඇත. පටිසම්භිදාමග්ග පාලියෙහි ධම්මචක්‌ක කථා හි සඳහන් වන අයුරින් තථාගතයන් වහන්සේ විසින් දේශිත හැම ධර්මයක්‌ ම ධර්මචක්‍රයෙහිලා අන්තර්ගතය එබැවින් ධර්මචක්‍රය වූ කලී බුද්ධ ධර්මයෙහි ද බෞද්ධ සංස්‌කෘතියෙහි ද සුභාවනීය වූ සංකේතයකි.

එ බැවින් මෙම ධර්ම චක්‍රය නිවැරදි ව භාවිත කිරීම පිලිබඳ අවධානය යොමු කිරීම 2600 දම්සක්‌ ජයන්තියෙහිලා බෙහෙවින් වැදගත් වෙතැයි අපි සිතමු. ඡේ. ආර්. ජයවර්ධන මහතා ජනපති සමයේ දී ජනාධිපති ධජයෙහි යොදා ඇති ධර්මචක්‍රය නිවැරැදිව යෙදිය යුතු ආකාරය පහදමින් අතිපූජ්‍ය මඩිහේ පඤaCදාසීහ මහානායක මා හිමියන් වහන්සේ ජනපති තුමා අමතමින් පුවත්වලට ලියූ ලිපියෙහි සඳහන් කරුණු නැවතත් සිහිපත් කරවනු කැමැත්තෙමු. චක්‍රයෙහි ගරාදිවල කොන් රාමුවෙන් පිටට නෙරා සිටින සේ නිර්මාණය කැර තිබීම සදොස්‌ බවත්, එය ධර්මචක්‍රය නොව නැවේ සුක්‌කානම බවත් උන්වහන්සේ මැනවින් පෙන්වා දුන්හ. මේ කරුණ අද පවා බොහෝ දෙනාගේ අවධානයට යොමු නොවී තිබීම කනගාටුවට කරුණකි. බොහෝ විහාරස්‌ථානවල පවා ධර්මචක්‍රය වෙනුවට යොදා ඇත්තේ නැවේ සුක්‌කානම බව විමැසිල්ලෙන් බැලුවොත් පෙනී යනවා ඇත. මෙය නිවැරැදි කැර ගැනීමට දැන් කාලය පැමිණ තිබේ.

ධර්මචක්‍ර මූර්තිය පිළිබඳ පැරැණි සාධකය අපට ලැබෙන්නේ ධර්මාශෝක රාජ්‍ය සමයෙනි. අශෝක ස්‌තම්භයන්හි සිංහ කුළුණුවල යොදා ඇති ධර්මචක්‍රය නිවැරැදිව නිරූපණය කැර ඇති අයුරු නුවණින් විමසා බැලීම වටී. එහි ගරාදි විසි හතරක්‌ සහිතව චක්‍රාකාරව ධර්මචක්‍රය නිර්මාණය කැර ඇත. ඉන්දියාවෙහි හා ලංකාවෙහි විවිධ ප්‍රදේශවලින් සොයාගත් ධර්මචක්‍රවල ගරාදි සංඛ්‍යාවෙහි වෙනස්‌කම් ඇතත් චක්‍රයක ආකෘතිය කොහිවත් වෙනස්‌ කැර නැත. ධර්මචක්‍රයෙහි ප්‍රවර්තනාර්ථය (ඉදිරියට කරකවා යෑවීම) මූලිකව ගම්‍ය කොට ඇති හෙයින් චක්‍රාකෘතියට විරුද්ධව රාමුවෙහි කොන් පෙන්වා දැක්‌වීම ඉතා සදොස්‌ ය. එයින් වන්නේ ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීමක්‌ නොව නිවර්තනය වීමකි. කලාත්මක නිර්මාණයක දී ඒ සඳහා කලාකරුවාට නිදහස ඇතැයි තර්ක කළ හැකි වුවත් ධර්මාර්ථ නැසෙන ලෙස කලා නිර්මාණ කිරීමට කිසිදු කලාකරුවකුට අයිතියක්‌ නැත.

මෙහි ගරාදි සංඛ්‍යාවෙහි ද වෙනස්‌ කම් තිබීම විමසා බැලිය යුතුය. ඇතැම් චක්‍රයෙක ගරාදි අටක්‌ ද, ඇතැම් චක්‍රයෙක දොළොසක්‌ ද, ඇතැම් චක්‍රවල දහසය, විසිහතර, තිස්‌ දෙක ආදී වශයෙන්ද ගණන් වෙනස්‌ කම් දැක්‌ක හැකිය. ඒ හැම එකකින් ම ධර්මාර්ථ සංකේතනය කළ හැකි වුවද දහම්සෝ මහ රජුන් මොග්ගලීපුත්තස්‌ස මහරහතන් වහන්සේ ගේ අනුශාසනා ලැබ කළහ යි සිතිය හැකි ගරාදි 24 සහිත ධර්මචක්‍රය වඩාත් අර්ථාන්විත යෑයි බොහෝ විද්වත්හු කල්පනා කරති. චතුරාර්ය සත්‍ය ඇතුළත් කැරගන්නා ලද අංශ දෙකකින් මේ සූවිසි ගරාදි සහිත ධර්මචක්‍රය අපට විග්‍රහ කැර බැලිය හැකිය. දුක්‌ඛ සත්‍යයෙහි ඇතුළත් කරුණු දොළහ ද සමුදය සත්‍යයෙහි ඇතුළත් වන කාමතණ්‌හාදි වූ කරුණු තුන ද, නිරෝධ, සත්‍යයට අයත් නිර්වාණය ද, මාර්ග සත්‍යයට අයත් කරුණු අට ද යනු විසින් එක්‌ ආකාරයකින් කරුණු 24 ගණනය කළ හැකිය. අනෙක්‌ ආකාරය අපට විශද කැර ගත හැකි වන්නේ සාරත්ථප්පකාසිනී නම් වූ සංයුක්‌ත නිකාය අටුවාවේ ධම්මචක්‌කප්පවත්තන සූත්‍ර අටුවා විවරණයෙහි ධම්මචක්‌ක යන වචනයට කැර ඇති අරුත් පහදුව අනුවය.

එහි සිංහල පරිවර්තනය මෙසේය. ධම්මචක්‌කෙ යන්න ප්‍රතිවේද ඥනයෙහි ද දේශනා ඥනයෙහි ද වේ. බෝ පළගෙහි වැඩ හුන්නා වූ (බුදුරජාණන් වහන්සේට) සිවුසස්‌ දහම පිළිබඳව ඇතිවූ දොළොස්‌ ආකාර වූ ප්‍රතිවේද ඥනය ද, ඉසිපතනාරාමයෙහි වැඩ හුන්නා වූ උන්වහන්සේට පහළ වූ දොළොස්‌ ආකාර සත්‍ය දේශනාව පිළිබඳව ඇති වූ දේශනා ඥනය ද ධම්මචක්‌ක නමි. මෙ දෙ වැදෑරුම් ඥනය ම බුදුරජාණන් වහන්සේගේ ළෙහි පවත්නා ඥනයෝ මැයි. පැරැණියන් ධර්මචක්‍රයෙහි සූවිසි ප්‍රභේදයක්‌ සලකන්නට මෙම අටුවා විවරණය පිහිට කොට ගන්නට ඇතැයි අපි සිතමු.

එසේ හෙයින් ගරාදි විසි හතරකින් පරිමිත, කොන් පන්නා නැති, පැහැදිලි චක්‍රයක ස්‌වරූපය ගත් ධර්මචක්‍රය භාවිතයට ගන්නට අපි සැලකිලිමත් වමු නම් එය ම 2600 දම්සක්‌ ජයන්තියට අගනා සමරු සිහිවටනයක්‌ වන්නේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.