පාට පාට ලෝකයක්‌!

ඉතා අවාසනාවන්ත හා නපුරු පුවතක්‌ අපට දැන ගන්නට ලැබී තිබේ. ඒ වූ කලී මේ රටේ සිටින ඇතැම් සහල් වෙළෙඳුන් සුදු සහල්වලට රතු ඩයි මිශ්‍ර කර රතු සහල් ලෙස වෙළෙඳපොළේ අලෙවි කරන බව ය. රතු සහල්වලට රටේ විශාල ඉල්ලුමක්‌ තිබේ. දියවැඩියා රෝගීන් බහුල වීම, එම රෝගීන්ට රතු සහල් ගුණදායක බව වෛද්‍යවරුන් නිර්දේශ කිරීම, දකුණු පළාතේ සිට කොළඹට සංක්‍රමණය වූ ජනයා සම්බා සහල් අතහැර නැවත වතාවක්‌ රතු සහල් පරිභෝජනය කිරීම, රතු සහල් ගුණදායක බවට වෛද්‍ය මතයක්‌ ගොඩනැඟී එය විශාල වශයෙන් ප්‍රචාරය වීම යනාදිය මෙම ඉල්ලුමට හේතු වී තිබේ. වෙළෙඳුන් මේ ඉල්ලුම දුටු තැන තම මෝල්වල ගොඩගසා ඇති සුදු කැකුළු සහ සුදු නාඩු ඩයි කරන්නට පටන්ගනී. පසුගිය කාලයේදී මේ කටයුත්ත සඳහා රෙදි වියන නූල් ඩයි කරන රතු පැහැති සායම් යොදා ගන්නා ලදී. අද වන විට වෙළෙඳුන් වඩා ලාභදායී සායම් වර්ග වෙත යොමුවීමට පියවර ගෙන තිබේ. මේ සායම් වර්ග පිළිකා කාරකයන් ය. ඒ අනතුර අවධාරණය කරමින් මේ කතුවැකිය සම්පාදනය කෙරේ.

ආහාර වර්ග ඩයි කිරීම පිළිබඳ ඉතිහාසයක්‌ දැන් රටට තිබේ. මේ ඉතිහාසය පටන් ගන්නේ 1970 දී බලයට පත් සමගි පෙරමුණු ආණ්‌ඩුව 1971 ජනතා විමුක්‌ති පෙරමුණේ කැරැල්ලෙන් පසු එළැඹි සර්වබලධාරී දේශපාලන සමය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම සීමා කිරීමත් සමඟ ය. ඉන්දියාවෙන් වියළි මිරිස්‌ ගෙන්වීම, මාලදිවයිනෙන් උම්බලකඩ ගෙන්වීම ඇතුළු ආහාර වර්ග රැසක්‌ ගෙන්වීම මේ යටතේ සීමා විය. 1971 වන විට ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් වියළි මිරිස්‌ හඳුන්වා දෙනු ලැබ වසර 170 ක්‌ සම්පූර්ණ වී තිබිණි. පැරැණි සිංහලයා කිසි කලෙකත් වියළි මිරිස්‌ පාවිච්චි කළේ නැත. තේ, ගම්මිරිස්‌ සහ අමුමිරිස්‌ සිය ආහාර සඳහා යොදා ගත්තේය. දෙමළ හා මලයාලි කම්කරුවන් ලංකාවට ගෙන්වීමත් සමඟම මුල් වරට වියළි රතු මිරිස්‌ මෙහි ගෙනෙන ලදී. අද වන විට වියළි මිරිස්‌ යනු රටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයකි. වියලි මිරිස්‌ ගණන් ගියවිට ජනයා ආණ්‌ඩුවට හෙණ ඉල්ලයි· මිරිස්‌ කොතරම් නරක වුවත්, ඒ මගින් අතුණුබහන් තැම්බෙන්නේ වුවත්, එමගින් සිරෝසිස්‌ රෝගය වැළඳෙන්නේ නමුත් අපේ ජනයාට රතු මිරිස්‌ නැතිවම බැරිය. 1971 න් පසු සමගි පෙරමුණු රජය වියළි මිරිස්‌ මිල නැංවූ විට කපටි වෙළෙඳුන් කළේ වියළි මිරිස්‌ කුඩු එක පංගුවකට ඉතා තුනියට කුඩු කළ ගඩොල් එක පංගුවකුත්, රතු පාටින් සායම් කළ පාන් පිටි එක පංගුවකුත් කලවම් කර වෙළෙඳපොළට දැමීමය. මේ මිරිස්‌ කුඩු යෙදූ හොද්ද සැර නැති නමුත් පාට විය. එහි ඇති ගඩොල් කුඩු නිසා ඇපෙන්ඩිසයිටිස්‌ රෝගය මිනිසුන්ට වැළඳින. එහි ඇති ඩයි නිසා මිනිසුන්ට පිළිකාව වැළඳින.

ඒ, අවුරුදු 40 කට පෙර කතාව ය. එහි පසුකතාව අද මෙසේයá කොළඹ සිට නුවරටත්, කොළඹ සිට ගාල්ලටත්, කොළඹ සිට හලාවතටත් යන පාරවල් දෙපස විශාල හෝටල තිබේ. මේ හෝටල පිටුපස පාවිච්චි කරන ලද තේ කොළ කඳු ගණන් ගොඩ ගසා තිබේ. මේ ඉවතලූ තේ කොළ කඳු ඉවත් කරගෙන යැමට කාලයෙන් කාලයට එකී හෝටල් වෙත වාහන එති. කොළඹට ගෙනෙන එම තේ කොළ ඩයි සමඟ මිශ්‍ර කර යළි වර්ණ ගන්වා හොඳ තේ කොළ සමඟ මිශ්‍ර කර කඩවලට විකුණනු ලැබේ. මේ අනුව එකම තේ කොළය හත් අට වරක්‌ පානය කරන්නට අපට අවස්‌ථාව ලැබේ. මෙය වෙනත් රටක පාරිභෝගිකයකුට නො ලැබෙන දුර්ලභ අවස්‌ථාවකි. මීට අමතරව මස්‌ කඩවල එල්ලා ඇති ඌරු ගාත් සහ හරක්‌ ගාත්වල රතු පාට ඩයි ගෑම, මාළු ෆොaමලින් යොදා කල් තබාගැනීම යනාදිය ඉතා ප්‍රසිද්ධ රහස්‌ය. මේ සියල්ලෙන්ම සිදු වන්නේ මිනිසුන්ගේ අතුණු බහන් තැම්බී යැමත්, ඉතිහාසයේ කිසි කලෙකත් අසා නැති රෝග මනුෂ්‍යයන්ට වැළඳීමත්, පිළිකාව වැනි රෝග පැතිර යැමත් ය.

පිරිසිදු වෙළෙඳපොළක්‌ පැවැත්වීමට රටකට පාර්ශ්ව තුනක්‌ අවශ්‍ය ය. ඉන් පළමු කොටස වෙළෙඳුන්ය. දෙවැනි කොටස රජය ය. තෙවැනි හා වැදගත්ම කොටස ජනතාවය. ජනතාව ප්‍රතිසංවිධානය වී, මනුෂ්‍ය සෞඛ්‍යයට හානිකර දේ කරන කපටි වෙළෙඳුන් අල්ලා දිය යුතුමය. අද සිටම එය කරමු.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.