ද්‍රවිඩ සන්ධානය + හිලරි ක්‌ලින්ටන් සහ
උතුරේ යළි ගිනි ඇවිළීම

"ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ට සම තත්ත්වය ලබාදිය යුතුයි. ද්‍රවිඩ ප්‍රශ්නය
සම්බන්ධයෙන් ඇමරිකාව නිර්මාණශීලී අදහස්‌ ගැන සොයා බලනවා"
- හිලරි ක්‌ලින්ටන් (ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය)

"ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරි
ජෝන් ඩිස්‌ටර් උතුරේ මැතිවරණ කටයුතු සොයා බලයි"
- දිවයින

"ප්‍රභාකරන්ව අගය කළවුන්ටත් ස්‌වර්ණ සම්මාන"
- පුවතක්‌

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට එක එල්ලේම මැදිහත්වී ඇත්තේ මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ය. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්‌ලින්ටන් ඉන්දියාවට පැමිණීමට පෙර ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ප්‍රශ්නය ගැන ඇය ජයලලිතා සමග සාකච්ඡා කරන බවයි. හිලරි ක්‌ලින්ටන් තමිල්නාඩුවේ චෙන්නායි නුවරට පැමිණ ජයලලිතා හමුවී පැවසුවේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ට සම තත්ත්වය ලබාදිය යුතු බවත් ද්‍රවිඩ ප්‍රශ්නය ගැන නිර්මාණශීලී අදහස්‌ ගැන සොයා බලන බවත්ය.

එහෙත් ජයලලිතා සහ හිලරි ක්‌ලින්ටන් ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව වචනයක්‌වත් නොකීම ගැන කොටි වෙබ් අඩවි මගින් ඔවුන් වෙත බැනවැදී තිබිණි.

මේ පසුබිම මැද ද්‍රවිඩ සන්ධානය උතුරේ මැතිවරණයට සහභාගිවෙමින් ෂයිලොක්‌ නමැති යුදෙව්වා මෙන් මස්‌ රාත්තලම ඉල්ලා සිටී. ද්‍රවිඩ සන්ධානය මේ මැතිවරණයෙන් බලාපොරොත්තු වන්නේ උතුර නැගෙනහිර යළි ගිනි ඇවිළවීමයි. ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී පී. ආරියනේන්ද්‍රන් මේ සතියේදී මැතිවරණ රැලියක්‌ අමතමින් රජයට සහාය දක්‌වන පිරිස නියම ද්‍රවිඩ ජාතිකයන් නොවන්නේ යෑයි පවසා ඇත.

නැගෙනහිර ප්‍රදේශයේ පැවැති එම මැතිවරණ රැලියෙන් මේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයා පෙන්නුම් කිරීමට උත්සාහ කළේ රජයට සහාය වන්නන් ෙද්‍රdaහීන් බව නොවේද?

එහෙත් නියම ෙද්‍රdaහීන් වන්නේ කොටින්ට සහාය වූ ද්‍රවිඩ සන්ධානයයි. මෙය සනාථ වන්නේ නාම් තමිලර් පක්‍ෂයේ නායක සිමන් හෙවත් කොටි සීමන් උතුරේ ජනතාව වෙත නිවේදනයක්‌ කරමින් ස්‌වයං පාලනය ලබාගත හැක්‌කේ ද්‍රවිඩ සන්ධානයට ඡන්දය දීමෙන් යෑයි පවසා ඇත.

කොටි සීsමන් මේ නිවේදනය කළේ ද්‍රවිඩ සන්ධානයේ ඉල්ලීම මත බව පැහැදිලිය. මෙහිදී ද්‍රවිඩ සන්ධාන නායක සම්බන්ධන් පවසන්නේ රජය විසින් ද්‍රවිඩ රැඳවියන්ව (කොටි) නිදහස්‌ කළ යුතු බවයි.

එහෙත් සම්බන්ධන්ලා, මාවයි සේනාධිරාජා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ලාගේ අබිරහස්‌ ක්‍රමවේදය තේරුම් ගැනීම අපහසු නැත. ඉන්දීය බලධාරීන් එළදෙනෙක්‌ පෙන්නුම් කර ඒ අශ්වයා යෑයි කීවොත් හරි හරි ඒ අශ්වයා යෑයි කියන්නේ ද ද්‍රවිඩ සන්ධානයයි.

ඇමරිකානු තානාපති කාර්යාලය බූරුවකු පෙන්වා ඒ බැටළුවකු යෑයි පවසනවිට එය අනුමත කරන්නේ ද වෙනින් කවුරුවත් නොව ද්‍රවිඩ සන්ධානය වේ.

ද්‍රවිඩ ජාතිකයන්ගේ එකම නියෝජිතයා තමන් යෑයි ප්‍රකාශ කරන්නැයි ප්‍රභාකරන් විසින් ද්‍රවිඩ සන්ධානයට කියා සිටියේය. එය එලෙසින්ම පැවසීමට ද්‍රවිඩ සන්ධාන නායකයා ක්‍රියා කළේය.

මෙලෙස රූකඩයක්‌ මෙන් කටයුතු කරන ද්‍රවිඩ සන්ධානය උතුරේ වර්ගවාදය අවුළුවමින් කටයුතු කරද්දී මෙරට ඇතැම් දේශපාලකයන් උතුරට ගොස්‌ රජයේ ස්‌ථාවරයට පටහැනිව දේශන පවත්වති.

මේ ඊට නිදසුන්ය.

අමාත්‍ය වාසුදේව නානායක්‌කාර උතුරට ගියේය. උතුරේදී මාධ්‍ය සාකච්ඡාවක්‌ පවත්වනු ලැබීය. ඔහු කළ ප්‍රකාශය කොටි වෙබ් අඩවියක සඳහන් විය. චැනල් 4 චිත්‍රපටයේ එන දර්ශන ගැන විමර්ශනය කරන්නැයි මා පොලිස්‌පතිට ලිතව දැන්වූවා.  මියගිය සිවිල් වැසියන් සම්බන්ධව නිසි සංඛ්‍යාලේඛන තිබිය යුතු යෑයි මා පිළිගන්නවා යෑයි ද ඔහු තවදුරටත් පවසා ඇත.

මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා චැනල් 4චිත්‍රපටය සාවද්‍ය යෑයි සනාථ කර තිබියදී එහි දර්ශන ගැන විමර්ශනය කරන්නැයි පොලිස්‌පතිට ලිවීමට ඇමැතිවරයාට ඇති හිමිකමයි.

ඒ ගැන ක්‍රියා කළ යුත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශය සහ යුද හමුදාවයි. ඇමැතිවරයා ආරක්‍ෂක කටයුතු භාර ඇමැති නොවේ. මෙය පුදුමයක්‌ නොවේ.

ප්‍රභාකරන්ගේ මහා විරු දින කතාව හෙවත් ත්‍රස්‌තවාදීන් සැමරීමේ දේශනය ජාතික රූපවාහිනියට විකාශනය කිරීමට ඉඩ ලැබීම ගෞරවයක්‌ යෑයි පැවසූ තැනැත්තාට ද කොටින්ට කඩේගිය අයකුට ද ඊයේ (22 දා) කොළඹ පැවැති උත්සවයකදී මාධ්‍ය ස්‌වර්ණ සම්මාන යෑයි හඳුන්වමින් සම්මාන පිරිනැමිණ.

ඊළඟ අවස්‌ථාවේ ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන්ලාට සහ චැනල් 4 වෙත සාවද්‍ය වීඩියෝ දර්ශන යෑවූ ජර්මනියේ ඡේ.ඩී.එස්‌. කොටි හිතවාදී සංවිධානයට ද සම්මාන පිරිනැමුවොත් පුදුමයට පත්විය යුතු නැත.

මේ නිසා සිදුවන්නේ කුමක්‌දැයි පැහැදිලිය. වන්නි මෙහෙයුමට එරෙහි වූවෝ රට ගිනි තැබීමට උත්සාහ කරති. ප්‍රභාකරන් ඝාතකයාව අගය කළ වුන් සම්මාන ලබති. ඒ සම්මාන උළෙලට රජයේ දේශපාලනඥයන් ද සහභාගි වෙති.

මෙම වාතාවරණය මත ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය තමිල්නාඩුවට පැමිණියේ ද්‍රවිඩ ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමට නොවේ.

ඇමරිකාවේ ඉලක්‌කය වී ඇත්තේ චීනයයි. තව වසර කීපයක්‌ යන විට ආසියාවේ බලවත්ම ව්‍යාපාරික රාජ්‍යය චීනය බවට පත්වේ.

ඇමරිකානු ඇපල් සමාගමට පවා සිය පරිගණක යන්ත්‍ර චීනයේ නිෂ්පාදනය කිරීමට සිදුවීමෙන් ඇමරිකාව විසින් චීන බලය බිඳලීමට සැලසුම් කරන බව පැහැදිලිය.

චීනයේ මේ අනාගත බලයට ඉන්දියාව ද දැඩි බියක්‌ දක්‌වයි. චීනය හම්බන්තොට වරාය ඉදිකරන අවස්‌ථාවේ ඉන්දීය කොන්සල් කාර්යාලයක්‌ හම්බන්තොට පිහිටු වූයේ කුමකටද යන්න තේරුම් ගැනීම අපහසු නැත.

චීනයට දොස්‌ නඟන පිරිස ඉරනවිල ඇමරිකානු හඬ සම්ප්‍රේෂණාගාරය සහ ත්‍රිකුණාමලයේ ඩොයිෂ්මේල් සම්ප්‍රේෂණාගාරය ගැන හඬක්‌ නොනඟන්නේ මන්ද?

වන්නි මෙහෙයුම යටතේ මනෝ ගනේෂන් නමැත්තා කොළඹ චීන තානාපති කාර්යාලයට ගොස්‌ ශ්‍රී ලංකාවට අවි ආයුධ අලෙවි නොකරන්නැයි ඉල්ලා සිටියේය.

එහෙත් චීනය ඊට සවන්දුන්නේ නැත. ද්‍රවිඩ සන්ධානය ද ඊට දායක විය. එහෙත් චීනය ඊට ප්‍රතිචාර දක්‌වා නැත. දැන් මනෝ ගනේෂන් ද්‍රවිඩ සන්ධානය වෙනුවෙන් හඬ නඟයි. රජයට සහාය දැක්‌වීම තේරුමක්‌ නැතැයි ද ඔහු කියා සිටී.

වන්නි මෙහෙයුම සමයේ මනෝ ගනේෂන්ලා ක්‍රියා කළ ආකාරය අමතක කළ යුතු නැත.

ද්‍රවිඩ සන්ධානයත් මනෝ ගනේෂන්ලාත් එකතුවී ඇත්තේ කුමකට ද යන්න පැහැදිලිය. කොටි ජය ගනු ඇතැයි ද්‍රවිඩ සන්ධානය අපේක්‍ෂා කළේය.

එය සනාථ වූයේ චැනල් 4 අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ ද එම අදහස දැරීමයි. ඔහු ටයිම් සඟරාව අමතමින් පවසා තිබුණේ කොටි ජයගෙන ශ්‍රී ලංකාව දෙකඩ වන බව අපේක්‍ෂා කළ බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහිව එක්‌ පැත්තකින් චැනල් 4 චිත්‍රපටය ද, අනික්‌ පැත්තෙන් චීන භීතිකාව ද යොමුවී ඇත.

මේ තත්ත්වය මැද රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියකු පවසා ඇත්තේ රජය උතුරේ මැතිවරණය ජය ගත්තොත් 13 වැනි සංශෝධනය හා බලය විමධ්‍යගත කිරීමට නොලැබෙන බවයි. එවිට යුද අපරාධ චෝදනා ගැන බලපෑම් වැඩිවන බවද එම රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියා පවසා ඇත. මේ නිසා හිලරි ක්‌ලින්ටන් තමිල්නාඩුවට පැමිණියේ මන්ද හා ඊට මුල්වූ පසුබිම හා ඇගේ අනාගත මෙහෙයුම ගැන පැහැදිලි වේ. ඒ ශ්‍රී ලංකාවේ යළි ගිනි ඇවිළීමයි.

කීර්ති වර්ණකුලසූරිය
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.