නිරෝගී දරු ප්‍රසූතියකට ගර්භ පරිචර්යාවේ වැදගත්කම

දරු ප්‍රසූතියකදී වඩාත් සුදුසු සහ ආරක්‍ෂාකාරී ප්‍රසූතිය වන්නේ ස්‌වාභාවිකව දරුවා ප්‍රසූත වීමය. නමුත් වර්තමානයේ බොහෝ ගැබිණි කාන්තාවන්ට සිය දරු ප්‍රසූතිය සිදු කිරීමට සැත්කම් සඳහා යොමුවීමට සිදු වේ. ඊට හේතුවී ඇත්තේ ඔවුන් ගැබිණි සමයේදී නිසි චර්යාවන්ට අනුව කටයුතු නොකිරීමය. එබැවින් දරුවා නිසි ලෙස නිසි කලට ප්‍රසූතිය සඳහා සූදානම් නොවේ. ගැබිනි කාන්තාවද අධි රුධිර පීඩනය, දියවැඩියාව, තරබාරු බව ආදී රෝගාබාධයනට ගොදුරුවී ස්‌වාභාවික දරු ප්‍රසූතියකට අවශ්‍ය පරිදි සූදානම් කළ නොහැකි වේ. දරු කළලයක්‌ පිළිසිඳගත් දින සිට දරු ප්‍රසූතිය දක්‌වා වූ කාලය තුළ කාන්තාවක්‌ නිසි ලෙස ගර්භ පරිචර්යාවල නිරත වේ නම් නිරෝගී ස්‌වාභාවික දරු ප්‍රසූතියක්‌ සිදු කරගත හැකිය. එබැවින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ හඳුන්වාදී ඇති ගර්භ පරිචර්යා වත්පිළිවෙත් පිළිබඳව අපි අවධානය යොමුකර බලමු.

ගර්භ පරිචර්යාව

ආයුර්වේදයේ සඳහන් වන්නේ ගැබිණි කාන්තාවන් රැක බලා ගත යුත්තේ සම්පූර්ණයෙන්ම පිරෙන තෙක්‌ තෙල් පිර වූ බඳුනක්‌ රැක ගන්නා ලෙසින් බවය.

ඉන් පවසන්නේ ගැබිනි කාන්තාවක්‌ ඉතා ආරක්‍ෂාවෙන් රැක බලාගත යුතු බවය.

ගර්භපරිචර්ය වත් පිළිවෙත් ගැබිනි සමයේ අවස්‌ථා තුනකට බෙදා වෙන්කර ගත හැකිය. පළමු අවධිය දෙවැනි අවධිය සහ තෙවැනි අවධිය ලෙසිනි. පළමු අවධිය යනු දරු කළලයක්‌ හටගත් දින සිට මාස තුනක්‌ දක්‌වා වූ කාලයයි. දෙවැනි අවධිය පළමු මාස තුනෙන් පසු එළඹෙන මාස දහයක කාලයයි. එනම් මාස තුනේ සිට හය දක්‌වා වූ කාලයයි. තෙවැනි අවධිය හයවැනි මාසයේ සිට දරු ප්‍රසූතිය දක්‌වා වූ ඉතිරි මාස තුනක කාලයයි.

පළමු අවධිය

ගැබිනි සමයේ ඉතා වැදගත්ම සහ අවදානම් සහිතම කාලය ලෙස පළමු මාස තුන හැඳින්වේ.

වැදගත් බව

ඉතා වැදගත්ම කාලය ලෙස හඳුන්වන්නේ ඩිම්භයක්‌ සහ ශුක්‍රානුවක්‌ එක්‌වී සෑදුනු සෛල දෙකකින් යුත් යුක්‌තානුව තවත් සෛල රාශියක්‌ බවට බෙදී දරු කළලයක්‌ බවට පත්වන්නේ පළමු මාස තුනේදී බැවිනි.

දරුවාගේ හිස කඳ අත පය ඇතුළු සියලු අංග සෑදෙන්නේ මෙම කාලය තුළදීය.

අවදානම් බව

අවදානම් සහිත කාලය ලෙස හඳුන්වන්නේ ගර්භාෂයේ වැඩෙන කළලය පළමු මාස තුන තුළදී පෝෂණය වන්නේ ගර්භාෂ තරලයෙනි. එබැවින් මෙම කාලයේදී කිසියම් විෂබීජයක්‌ ශරීරගත වී ආසාධනයට ලක්‌වුවහොත් අධික වෙහෙසට පත්වූවොත් තිගැස්‌මකට ලක්‌වුවහොත් දරු කළලය පහසුවෙන් ගබ්සාවිය හැකිය.

පළමු අවධියේ පෝෂණය

දරු කළලයේ අඟපසඟ වර්ධනය වන බැවින් මෙම කාලය තුළදී ගැබිනි කාන්තාව හොඳින් පෝෂණය ලබා ගත යුතුය. එහිදී මධුර ශීත ගුණ සහිත පරිපූර්ණ පෝෂණයෙන් යුත් ආහාරයක්‌ ගැනීමට වග බලා ගත යුතුවේ. තම ආහාර වේලට සැර ආහාර පාන එක්‌කර ගැනීම සුදුසු නැත. සුප්වර්ග, කැඳ ඇල්හාල්, මුං ඇට ආදිය දිනපතා ආහාරයට එක්‌කර ගත හැකිය.

මෙලෙස මව නිසි පෝෂණය ලැබීමෙන් වැඩෙන දරු කළලයටද අවශ්‍ය නිසි පෝෂණය එක්‌වීම නිසා කළලයද නීරෝගීව වර්ධනය වේ. ආසාධනවලට ඔරොත්තුදීමේ ප්‍රතිශක්‌තියද ඇති වේ.

සුදුසු වත්පිළිවෙත්

ගැබිනි සමයේ පළමු මාස තුන හෙවත් පළමු අවධියේදී අධික වෙහෙසකර කටයුතුවල යෙදීම සුදුසු නැත. නිසි පෝෂණය ලබා ගන්නා අතර නිසි විවේකයද අවශ්‍යය. මනස නිරවුල්ව තබාගත යුතුය. සතුටින් කාලය ගත කළ යුතුය. ආගම දහමට වැඩි නැඹුරුවක්‌ සහිතව දිවි ගෙවිය යුතු අතර එහි ආශිර්වාදය ලබා ගැනීම වැදගත්ය.

සුදු පැහැති ඇඳුම්වලින් සැරසීම

පළමු මාස තුනෙහිදී සුදු පැහැති වස්‌ත්‍රාභරණයෙන් ද සැරසීමට යොමු විය යුතුය. එය සැහැල්ලු බවක්‌ පමණක්‌ නොව කළලයේ යම් ගැටලුවක්‌ ඇතිවුවද ඉතා ඉක්‌මනින් හඳුනාගත හැකිය. එනම් කළලයේ ගැටලුවක්‌ මතුවී යෝනි මාර්ගය ඔස්‌සේ රුධිරය පිටවීමක්‌ සිදුවුවහොත් හෝ යම් ශ්‍ර්‍රdවයක්‌ පිටවුවහොත් එය සුදු පැහැති ඇඳුම් පැළඳුම් ඇඳ සිටින විට ඉතා පහසුවෙන් හඳුනා ගත හැකිය. වෙනත් ඇඳුම් පැළඳුම් ඇඳ සිටින විට මෙවැනි අවස්‌ථාවක්‌ හඳුනා ගැනීම එතරම් පහසු නැත.

නුසුදුසු වත් පිළිවෙත්

පළමු මාස තුන තුළදී අධික වෙහෙස දනවන කටයුතුවල යෙදීම කළලයේ වර්ධනයට යෝග්‍ය නොවේ. බර ඉසිලීම, වැඩි වේලාවක්‌ සිටගෙන සිටීම, අධික ලෙස ලිංගික සේවනය කළලයේ වර්ධනයට හිතකර නැත.

එය කළලය ගබ්සාවීමට හේතුවිය හැකිය

පළමු මාස තුන තුළදී ගැබිනි කාන්තාව ආසාධන රෝගවලට ලක්‌වුවහොත් ඉන් කළලයට බලපෑම් ඇතිවිය හැකිය. එසේම මෙම කාලය තුළදී ඖෂධ වර්ග අධික ලෙස ගැනීමද සුදුසු නැත.

නිසි පිළිවෙත් අනුගමනය නොකළ හොත්

ගර්භාෂයේ හටගත් කළලය දරු කළලයක්‌ ලෙසින් සකස්‌වන කාලය මෙය බැවින් ඊට ඇතිවන සුළු බලපෑමකින් වුව කළලයේ විකෘතිතා ඇතිවිය හැකිය. එබැවින් නිසි පෝෂණය ලබානොගත හොත්, රෝග පීඩාදියෙන් මිදීමට පියවර නොගතහොත් නිරවුල් මනසින් සතුටින් විවේකීව නොසිටිය හොත් වර්ධනය වන කළලය විකෘති තා සහිත විය හැකිය. එනම් බිඳුනු තොල් සහිතව, ඇස්‌ අන්ධව, අත් පාවල විකෘතිතා සහිතව, හෘදයේ වකුගඩුවල රෝගී තත්ත්වයන් සහිතව මොළයේ වර්ධනය අඩු පාඩු සහිතව රෝගී කළලයක්‌ හට ගනී.

ලබන සතියේ ගර්භ පරිචර්යාවේ දෙවැනි සහ තෙවැනි අවධි

ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.