සංස්‌කරණය : නාරද නිශ්ශංක

අද රසවින්දනය නන්නත්තාර වෙලා
රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා

එක්‌තරා පිරිසක්‌ පසුගිය කාලයේ දී අපේ රටේ ටෙලි නාට්‍ය ගැන සමීක්‌ෂණයක්‌ කළහ. අනතුරුව ඔවුහු සොයාගත් තතු හෙළි කරන්නට වූහ. ඒ අනුව මෙරට ජනතාව සතියකට පැය දහනවයක්‌ ටෙලි නාට්‍ය නරඹති. ඒ ගණන මසකට පැය අසුවකට කිට්‌ටුය. මේ ටෙලි නාට්‍ය අතරින් බොහෝමයක්‌ බොහෝ දෙනෙකුට පිළිකුල්ය. එකක්‌ දෙකක්‌ බලා ඉන්නට පිළිවන. හරවත් යමක්‌ ඇත. ඒත් බහුතරයේ අපුල බව නිසා විපුල පල නෙළාගත හැකි ටෙලි නාට්‍යයටද අපලය.

මේ ටෙලි නාට්‍ය ගොන්න අතරට අද (29 දා) සිට තවත් අලුත් ටෙලියක්‌ එකතු වේ. "ස්‌ටාර් ශ්‍රී ලංකා හිස්‌තැනක්‌" අද රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්‌සේ විකාශය ආරම්භ වේ. මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්‍ෂවරයා අපේ රටේ දක්‍ෂ රංගන ශිල්පියෙකි. හේ මහේන්ද්‍ර පෙරේරා ය. මහේන්ද්‍රගේ වැඩක්‌ නිසා පෙරකී අපුල ගනයේ ටෙලි නාට්‍ය ගොන්නට මේ ටෙලිය නොවැටෙන බව නම් කල්තියා ප්‍රකාශ කළ හැකිය.

කෙසේ වෙතත් නොබලා ඒ ගැන අදහස්‌ පළකළ නොහැකිය. එනිසා මහේන්ද්‍ර පෙරේරා හමුවී ඔහුගේ ප්‍රථම අධ්‍යක්‍ෂණය පිළිබඳ අපි අදහස්‌ විමසා සිටියෙමු.

මෙය අපේ රටේ සංගීත ක්‌ෂේත්‍රයට තරු උපදවන රියෑලිටි ෂෝ එකක්‌ ගැන කතාවකි. අද අපි අත්දකින දෙයක්‌ ගැන විමසා බැලීමකි. මහේන්ද්‍රගේ පළමු අධ්‍යක්‍ෂණය "ස්‌ටාර් ශ්‍රී ලංකා හිස්‌තැනක්‌" පිටපතද සුවිශේෂී පුද්ගලයකුගේ කුළුඳුල් ටෙලි පිටපත වේ. හේ දිලීප අබේසේකරය. දිලීප... කරුණාරත්න අබේසේකර ප්‍රවීණ ගී පද රචකයාගේ පුතණුවන්ය. දැන් අපි මහේන්ද්‍ර දෙසට හැරෙමු.



මහේන්ද්‍ර... රියෑලිටි සංකල්පය ගැන කතා කරන්න හිතුවේ ඇයි...?

මම දිලීප අබේසේකර එක්‌ක වැඩක්‌ කරන්න කලක ඉඳන් කතා කරමින් හිටියා. දිලීප තමයි මේ අදහස ගෙනාවේ.

රියෑලිටි ගැන විවේචනයක්‌ නොවේ. විමර්ශනයක්‌ කරලා වාණිජ පැත්තට බර රසවත් වැඩක්‌ කරන්නයි අපි තීරණය කළේ. මේ රියෑලිටි වැඩසටහන්වල ඇතුළු පැත්ත... අතපත ගාන්න පුළුවන් තැන් හොයාගෙන අපි ගියා. මගේ අංකය "එස්‌.එස්‌.එල්. හිස්‌තැනක්‌.... ටයිප් කරලා අහවල් නොම්මරේට ඕනෑ තරම් එස්‌එම්එස්‌ එවන්න කියලා තමයි තරගකරුවන් කියන්නේ. ඇත්තටම මේක හිස්‌තැනක්‌... ඒ හිස්‌තැන පුරවන්න පුළුවන්ද... කියලා තමයි අපි විමසන්නේ. ඒත් ඒ ගැන අපි තීරණයක්‌ දෙන්න යන්නේ නැහැ.

ඔබ මෙමගින් රියෑලිටි වැඩසටහන්, නැතිනම් අනුන්ගේ ගී ගයා තරු බවට පත්වන්න දඟලන අය ඉහළට ඔසවා තැබීමක්‌ද කරන්නේ...?

නෑ... නෑ... නෑ... අපි හුඟාක්‌ මෙහිදී මූලික කර ගන්නේ රුක්‌මණී දේවියව. ඇය ගැයූ රසවත් ගීත, ඒ වගේම එච්. ආර්. ජෝතිපාලයන්... මිල්ටන් මල්ලවආරච්චි, ලතා වල්පොල, මොහිදින් බෙග් වැනි ප්‍රවීනයන් ගැයූ ජනප්‍රිය ගීත හතළිහක්‌ විතර අඩංගු වෙනවා. මේ නිර්මාණ කළ අය කොහොමද තරු වුණේ. අද ඉන්න අයට හඹාගියත් ඒ ප්‍රවීණයන්ගේ තත්ත්වයට එන්න පුළුවන් වේවිද... එදා අපේ ප්‍රවීණයන් තරු වූයේ විෂය හරහා. ඒත් අද අයට බන්දේසියක තබලා බෙද බෙදා දෙද්දී මේ ක්‌ෂේත්‍රයට මොනවා වේවිද... එකක්‌ කිව යුතුයි. අපේ මේ තරුණ පරපුරට ගීත ගැයීමේ හැකියාව තියෙනවා. ඒත් ඔවුන් විෂය හා බද්ධ වුණා නම් බොහෝ දේ ගොඩනඟා ගන්න තිබුණා. ඒත් මේ සමහරුන් වෙනුවෙන් රියෑලිටි වැඩසටහන්වලට අයෑදුම් කරලා තියෙන්නේ එක්‌කෝ ඔහුගේ නැන්දා. නැත්නම් යාළුවෙක්‌. ඒ අයගේ වුවමනාව මත මිස ගායකයෙක්‌ වෙන්නේ තමන්ගේ අවශ්‍යතාව නිසා නොවේ. ඒත් මම නම් නළුවෙක්‌ වුණේ කුඩා කල සිටම ඒ සඳහා උවමනාවක්‌ තිබුණ නිසා. ඒ සඳහා මම වැඩ කළා. මා වෙනුවෙන් මගේ කවුරුත් රඟපෑමට අවස්‌ථාවන් ඉල්ලා ගියේ නැහැ. සමහර තරු මේ වැඩසටහන්වලදී කියන්නේ මට ඕනේ ජනප්‍රියත්වය හදාගන්න විතරයි. එතැනින් එහාට යන හැටි මම දන්නවා කියලයි.

ටෙලි නාට්‍යවලින් ප්‍රේක්‍ෂකයා ඈත් වන තත්ත්වයක්‌ මතුව ඇති බව සමහරු කියනවා එය ඇත්තක්‌ නම් ඔබේ නිර්මාණයටත් බලපෑමක්‌ සිදුවෙනවා නේද?

ඇත්තටම ඒක ජයගන්න එක පහසු නැහැ. ලස්‌සන ටෙලි කර්මාන්තයක්‌ අපිට තිබුණා. අද ඒක විනාශ වෙලා. විනාශ වෙමින් පවතිනවා. කසිකබල් ටෙලි නාට්‍යයත් එක්‌ක හොඳ ටෙලි නාට්‍ය හදන්න අමාරුයි. ඒ අතර අමරපුරය වගේ හොඳ ටෙලි නාට්‍යයත් කෙරෙනවා. මම මේ ටෙලි නාට්‍යය කළා කියලා මේ තත්ත්වය ජයගන්න බැහැ. මීට මිඩංගු කළ හැකි කාලය සීමිතයි. අලුත් දැක්‌මක්‌ හදාගන්නම ඕනෑ. ඒක එක්‌ නිර්මාණයකින් බැරිවේවි. අලුත් දෙයක්‌ ප්‍රේක්‍ෂකයාට දෙන්න ඕනෑ. එකම බීමක්‌ දුන්නොත් හැමදාම එකම රසය. දැන් තියෙන්නේ එකම රසය. ඉතිහාසයේ අපිට ඉතා හොඳ ටෙලි නාට්‍ය කලාවක්‌ තිබුණා. රස වින්දනය හොඳින් ගොඩනැඟීගෙන ආවා. ඒත් අද ඒ රසවින්දනය නැහැ. අද වැරැදි දේ හරි විදිහට ප්‍රමිතිගත වෙලා.


ගාමිණී සොමී සමග සක්‌විති සුවය -
මහේන්ද්‍රගේ මුල්ම සිනමා රංගනය

ඔබව පළමුවරට අධ්‍යක්‍ෂණය කළේ සිනමා සක්‌විති ගාමිණී ෆොන්සේකා. එතැන් පටන් මේ දක්‌වා අවුරුදු තිහක්‌ විවිධ අය යටතේ අධ්‍යක්‍ෂණය වූ ඔබ අධ්‍යක්‍ෂවරයෙක්‌ වෙන්න මෙතරම් කල්ගත කළේ ඇයි?

එකක්‌ තමයි රඟපෑම නිසා මම කාර්යබහුල වුණා. එකදිගටම ෂූටිං. නොම්මර එක වුණේ රඟපෑම. පින්ලන්ත, ජර්මන්, බෙල්ජියම්, ප්‍රංශ නාට්‍ය ශිල්පීන් වගේම සලමන් ෆොන්සේකා වැනි ප්‍රවීණයන් සමග වැඩ කරමින් මම රඟපෑම ගැන සෙව්වා. වැඩමුළු කළා. අලුත් පිරිසක්‌ හදන්න හිතුවා. ඒත් පස්‌සේ පස්‌සේ හිතට ආවා පොඩි එකක්‌ ඩිරෙක්‌ට්‌ කරන්න ආසාවක්‌. සමහර අධ්‍යක්‌ෂවරු එක්‌ක වැඩ කරද්දී ඇක්‌ටිං හදාගත්තේ අපිමයි. මම යොදා ගත්තේ වැඩිපුරම අලුත් අය. කොතරම් සාර්ථකද දන්නේ නැහැ. මට ඕනෑ වුණා අලුත් දෙයක්‌ කරන්න. ඒ නිසා තමයි මම මගේ ටෙලියේ රඟපෑවේ නැත්තේ. අනෙක්‌ අයගේ රඟපෑම් දිහා බලන්නයි මට වුවමනා වුණේ.

හොඳයි... ඔබේ පළමු අධ්‍යක්‍ෂවරයා ගාමිණී ෆොන්සේකා ගැන මොනවද අද හිතෙන්නේ...?

මගේ ජීවිත කාලය තුළ මාව ඉතාම ඉක්‌මනින් හඳුනාගත් සිනමාවේ පතාක යෝධයා. ඔහුගේ "සක්‌විති සුවය" තමයි මගේ පළමු රංගනය. රඟපාලා ඉවර වූ පසු "තමුන්ගේ රඟපෑම් හොඳයි අඩුපාඩු හදාගන්න..." කීවා. ඉන්පසු ඔහු ඒ සඳහා මට ආධාර කළා. මගේ රඟපෑම් දිහා දිගටම බලාගෙන ඉන්නවා කියලා එතුමා කිව්වා. "පුළුවන් තරම් ආධුනිකකමින් මිදියං" කියලා අවවාද කළා. එතුමා මියයන්න මාස දෙක තුනකට කලින් ඔබේ පත්තරේට ඔබ සමගම කළ සාකච්ඡාවකදී එතුමා ප්‍රකාශ කර තිබුණා "මහේන්ද්‍ර පෙරේරා අනාගතයේ දක්‌ෂ නළුවෙක්‌ වේවි" කියලා. ගාමිණී ෆොන්සේකා මහත්මයා නිසා මට විශාල පිරිසක්‌ ඇසුරු කරන්න ලැබුණා. මට පළමු "ඇක්‌ෂන් කට්‌" එක දුන්නේ සිනමා සක්‌විති ගාමිණී ෆොන්සේකා මහතායි.

නැවත ස්‌ටාර් ශ්‍රී ලංකා හිස්‌තැනක්‌ ගැන කතා කරමු.... මෙය අධ්‍යක්‍ෂණය කිරීම ඔබට පහසු වුණාද?

සියල්ලම කළේ රන්මිණිතැන්නේ... රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ දී සම්පූර්ණයෙන්ම රූ ගැන්වූ පළමු ටෙලි නාට්‍යය තමයි මේ. සෑහෙන්න මහන්සි වුණා. අවුරුදු තිහක්‌ මේ ක්‌ෂේත්‍රයේ ලද පළපුරුද්ද උපයෝගී වුණා. මම කලා අධ්‍යක්‍ෂවරයෙක්‌ විදිහටත් වැඩ කරලා තිබුණානේ. එරල් කෙලී මහතාත් මට උදව් කළා. නිෂ්පාදක ජයලත් පීරිස්‌ මහත්තයා කිසිම බලපෑමක්‌ කළේ නැහැ. නිදහසේ නිර්මාණ කටයුතු කරන්න ඉඩ දුන්නා.

අජිත් අලහකෝන්


 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.