වැලිකඩ විශේෂිත ආර්ථික මධ්‍යස්‌ථානය!

බන්ධනාගාරගතව සිටින පාතාලකාරයන් පිටත සිටින ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ඉල්ලීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස්‌ ඇති බව ඊයේ (28 දා) දිවයිනේ තුන්වැනි පිටුවේ සඳහන් විය. ශ්‍රී ලංකාවේ හිරගෙවල් බොහොමයක්‌ තිබේ. මේවා අතුරින් වැලිකඩ හිරගෙදර සහ වැලිකඩ රිමාන්ඩ් හිරගෙදර යනාදිය වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්‌ථානය, දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්‌ථානය වැනි විශාල වෙළෙඳ පොළවල් හා සමාන තත්ත්වයකට පත්ව තිබේ. ඒවායේ ද ව්‍යාපාරිකයෝ හා කප්පම්කරුවෝ සිටිති. බෝම්බකරුවෝ සහ කුඩුකාරයෝ සිටිති. ඒ අතර සද්භාවයෙන් වෙළෙ¹මෙහි යෙදෙන සහ අනුන්ගෙන් සතපහක අල්ලසක්‌ හෝ තේ එකක්‌, බීඩියක්‌ නොගෙන රාජකාරියෙහි යෙදෙන පොලිස්‌ නිලධාරීහු ද සිටිති. වැලිකඩ හිරගෙදර විදුලි ගාස්‌තු සහ ජල ගාස්‌තු ගෙවන්නේ ආණ්‌ඩුවෙනි. ආර්ථික මධ්‍යස්‌ථානවල ඒ ගාස්‌තු බෙදාහදාගෙන ගෙවන්නේ වෙළෙඳුන් විසිනි. වැලිකඩ හිරගෙදර තුළ තීරණාත්මක පාරිභෝගික භාණ්‌ඩ අලෙවි නොකෙරේ. ආර්ථික මධ්‍යස්‌ථානවල සහල්, අල, ලූනු, ටින් මාළු, කරවල වැනි තීරණාත්මක පාරිභෝගික ද්‍රව්‍ය අලෙවි කෙරේ. එහෙත් දෙකේම කප්පම් කෙළිය එකය. ගංජා, බීඩි, බුලත්විට, කසිප්පු, කුඩු යනාදිය හිරගෙවල්වල ප්‍රධාන පාරිභෝගික භාණ්‌ඩ ය. සමහර සිරකරුවන්ට මේ භාණ්‌ඩ මිලට ගැනීමට මුදල් අවශ්‍යය. තවත් සිරකරුවන් පිරිසකට මේ භාණ්‌ඩ මිලට ගැනීමට මෙන්ම හිරෙන් පිටත ඇති සිය ව්‍යාපාර නඩත්තු කිරීමට මුදල් අවශ්‍යය. හිරගෙදර සිට මුදල් ඉපයිය හැකි පහසුම මාර්ගය කප්පම් ගැනීමයි. එය ක්‍රම දෙකකට කළ හැකිය. පළමු ක්‍රමය සඳහා හවුල්කරුවන් වන්නේ බන්ධනාගාරයේ සිටින ඇතැම් නියාමකවරුන්ය. මෙහිදී ඇතැම් යන්න නැවතත් අවධාරණය කරනු ලැබේ. හිරගෙදර සිටින කප්පම්කාරයෙක්‌ අසවල් ව්‍යාපාරිකයා හමුවී තම නම කියා රුපියල් ලක්‍ෂයක්‌ හෝ ලක්‍ෂ දහයක්‌ ඉල්ලාගෙන එන ලෙස බන්ධනාගාර නියාමකට කියයි. ඒ සමගම එම ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයට හෝ ස්‌ථාවර දුරකථනයට සිරකරුගේ ජංගම දුරකථනයෙන් පණිවුඩයක්‌ ද යෑවේ. අසුවල් නියාමක මහතා එන බවත් ඔහුට අදාළ මුදල දෙන ලෙසත් එම පණිවුඩයේ සඳහන්ය. හිරගෙදර තුළ ජංගම දුරකථන ඇමතුම් විකුණනු ලැබේ. විනාඩියක මිල රුපියල් 100 කි. කප්පම්කාරයාට දුරකථන ඇමතුම ලබා ගැනීමට මුදල් නැත්නම් 50% පොලියට හිරගෙදර ඇතුළෙන්ම මුදල් ලබාගත හැකිය. ව්‍යාපාරිකයා බන්ධනාගාර නියාමකට කප්පම දුන්නොත් එයින් 30% ක්‌ පමණ නියාමකගේ සාක්‌කුවට යයි. සෙස්‌ස එක්‌කෝ සිරගෙදර ඇතුළට එයි. නැතහොත් කප්පම්කරුගේම කණ්‌ඩායම අතට ලැබෙයි. ව්‍යාපාරිකයා යම් හෙයකින් කප්පම් ගෙවීම ප්‍රතික්‌ෂේප කළොත් ඔහුට කප්පම්කරුගේ මැර පාතාලයෙන් ගුටි කෑමට හෝ මැරුම් කෑමට සිදුවෙයි. සිරගෙදර ඇති මේ ආර්ථික ක්‍රමය තුළ හිරකාරයාත් ගොඩයá ඡේලරුත් ගොඩයá කප්පම ගෙවන ව්‍යාපාරිකයාත් ගොඩය. ව්‍යාපාරිකයා ගොඩ යන්නේ කප්පම ගෙවූ පසු කප්පම්කරුගේ දාමරික ජාලයෙන් ඔහුට ආරක්‍ෂාව සැපයෙන බැවිනි.

හිරගෙදර තුළ සිට කප්පම් එකතු කරන තවත් ක්‍රමයක්‌ තිබේ. කප්පම්කරු තම හිතවත් ව්‍යාපාරිකයකුට (හෝ අහිතවත් ව්‍යාපාරිකයකුට) දුරකථනයෙන් කතා කර රුපියල් ලක්‍ෂයක්‌ හෝ ඊට අඩු ගණනක්‌ වටිනා දුරකථන කාඩ්පත් ලබාගෙන ඒවායේ රහස්‍ය අංක එස්‌.එම්.එස්‌. මගින් තමාට එවන ලෙස දන්වයි. එසේ එව් රහස්‌ අංක හිරගෙදර තුළදීම අධික මිල ගණන්වලට විකිණිය හැකිය. හිරගෙදර බඩු නිතරම දෙගුණයක්‌ මිලය.

මේ අතර පිටස්‌තරයන්ට බැංකු ගිණුම්වල අංක පවසා මුදල් තැන්පත් කරන ලෙසද දැන්වීම කප්පම්කාර සිරකරුවන්ගේ සිරිතකි. මේ සියල්ලෙන්ම පෙනී යන්නේ සිරගෙදර තුළ සුවිශේෂ ආර්ථිකයක්‌ ක්‍රියාත්මක වන බවකි. ආදායම් බදු නැති, වැට්‌ නැති එම ආර්ථිකය මගින් සිරකරුවන් මෙන්ම හිරෙන් පිටත සිටින ඔවුන්ගේ පවුල්වල අය ද නඩත්තුවේ. මේ තත්ත්වය වැළැක්‌වීම සඳහා කුමක්‌ කළ යුතුද යනාදී වශයෙන් වූ නිර්දේශ අප සතුව නැත. අපගේ යුතුකම සියලුම බලධාරීන් ද දන්නා මේ තත්ත්වය මේ රටේ ජනතාවට දැන්වීම පමණි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.