ද්‍රවිඩ සන්ධානයේ අරමුණ හඳුනා ගැනීම!

ද්‍රවිඩ ජනතාවගේ ඉල්ලීම නම් ඔවුන්ගේ නිජබිම
සඳහා සියලු බලතල සහිතව ස්‌වයං පාලනය ලබාදිය යුතු බවයි.
- සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

Tamil Peoples Demand is
that they exercise full powers of
self rule within their homeland
- Suresh Premachandran

උතුර - නැගෙනහිර පළාත් සභා ඡන්දයෙන් උද්දාමයට පත් වූ ද්‍රවිඩ සන්ධානය දැන් ෂයිලොක්‌ නම් වූ යුදෙව්වා මෙන් මස්‌ රාත්තලම ඉල්ලයි. මේ ඡන්දයෙන් පසු සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් නමැති ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරයා ප්‍රකාශයක්‌ කළේය. උතුර - නැඟෙනහිර ඒකාබද්ධ කරනු, යුද අපරාධ ගැන සෙවීමට ජාත්‍යන්තර කොමිසමකට මෙරටට ඒමට ඉඩ දෙනු, පූර්ණ බලතල සහිතව ස්‌වයංපාලනය දෙනු යෑයි ප්‍රේමචන්ද්‍රන් තම නිවේදනයෙන් කියා සිටී.

ද්‍රවිඩ ජනතාව තමන්ට ඡන්දය දුන්නේ මේ ඉල්ලීම මත යෑයි ද හෙතෙම තවදුරටත් දන්වා ඇත. ප්‍රේමචන්ද්‍රන්ගේ මේ ඉල්ලීම අනුව රජය බන්දේසියේ තබා කඩිනමින් මෙම ඉල්ලීම් දිය යුතුයි. මේ මැතිවරණය ගැන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ මනෝ ගනේෂන් ද ප්‍රකාශයක්‌ කරමින් උතුරේ ජනතාව රජයට නිසි ප්‍රතිචාරය දක්‌වා ඇතැයි පවසා තිබේ.

එසේම ද්‍රවිඩ සංධානයේ නවක මන්ත්‍රීවරයකු කළ ප්‍රකාශයක්‌ කොටි වෙබ් අඩවියක සඳහන් විය.

යුද අපරාධ සැකකරු ජනාධිපති රාජපක්‍ෂ ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්නුම් කිරීමට උත්සාහ කළේ ද්‍රවිඩ ජනතාව තමන් සමඟ සිටින බවයි. නමුත් අපේ ජනතාව හොඳ උත්තරයක්‌ දී ඇත.

War Crimc Alligator President
Rajapakha Tried to show the
international community that all
the Tamil People are with him.
Our People gave a good Answer.

මේ ප්‍රකාශය තුළින් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු හැසිරෙන ආකාරය රජයට පැහැදිලි විය යුතුය.

උතුරේදී ද්‍රවිඩ සන්ධානයට ජය ගත හැකි වූයේ 6000 ක්‌ සෙබළු දිවි පිදීම නිසාය. තවත් විශාල පිරිසක්‌ ආබාධිත තත්ත්වයට පත්විණි.

ද්‍රවිඩ සන්ධානය ක්‍රියා කළේ කොටි රූකඩයක්‌ ලෙසිනි. ප්‍රභාකරන් නම් කරන කොටි ත්‍රස්‌තයන්ව මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීමට ද්‍රවිඩ සන්ධානයට නියෝග ලැබුණ අතර ආර්¾ සම්බන්දන් ඊට එකඟ විය.

ද්‍රවිඩ සන්ධානය කිළිනොච්චියේදී රැස්‌වූයේ තමිල් සෙල්වන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙම පසුබිම යටතේ ද්‍රවිඩ සන්ධානය අද උතුරේ ඡන්දය ජයග්‍රහණය කිරීම නිසා රට දෙකඩ කිරීමට උත්සාහ කරයි. මේ තත්ත්වය මැද අත්අඩංගුවේ සිටින ද්‍රවිඩ රැඳවියන්ව නිදහස්‌ කරන්නැයි ද්‍රවිඩ සංධාන මන්ත්‍රී ශිවශක්‌ති ආනන්දන් කියා සිටියි.

එසේම සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යළිත් පොලිස්‌ බලතල හා ඉඩම් බලතල ලබා දියයුතු බව කියා සිටියි. ඒ කුමකටද?

පොලිස්‌ බලතල හා ඉඩම් බලතල දීම යනු කොටින්ගේ අන්තර්වාර පාලන යෝජනා දෙකකි. මේ බලතල ලබා දුන්නොත් උතුරේ ජාතික ආරක්‍ෂාවට බරපතළ ප්‍රශ්න ඇති වේ. හමුදා කඳවුරු පවත්වා ගෙන යැම සහ පොලිස්‌ ස්‌ථානවල කටයුතු මෙහෙයවීම අඩපණ වේ.

එවිට ද්‍රවිඩ සංධාන දේශපාලකයන්ගේ නියෝග පිළිපැදීමට උතුරේ ආරක්‍ෂක බලධාරීන්ට සිදුවේ. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ලා මෙවන් බලතල ඉල්ලන පසුබිම තේරුම්ගත යුතුය. දැනටමත් කොටි වෙබ් අඩවි පවසන්නේ උතුරේ ජනතාව සහජීවනය ප්‍රතික්‍ෂේප කර ඇති බවයි.

මේ ප්‍රකාශයේ අර්ථය නම් සහජීවනයක්‌ අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය ස්‌වයං පාලනය යන්නයි.

එහෙත් ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්පන්දන් පවසන්නේ එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ යටතේ දේශපාලන විසඳුමක්‌ අපේක්‍ෂා කරන බවයි. සම්පන්දන්ගේ මේ ප්‍රකාශය සම්බන්ධව කොටි නිල වෙබ් අඩවිය විසින් සම්බන්ධන්ට දොස්‌ නඟා ඇත.

එසේම උතුරේ පළාත් සභා මැතිවරණයට පෙර ද්‍රවිඩ සන්ධානය සාවද්‍ය ප්‍රකාශ දියත් කෙරුණි. මේ ඊට නිදසුන්ය.

1. සිංහල නිලධාරීන් උතුරට පැමිණියේ මැතිවරණ දූෂණවල යෙදීමටය.

2. සංකිලි රජුගේ ප්‍රතිමාව කඩා භික්‍ෂුවකගේ ප්‍රතිමාවක්‌ ඉදිකිරීමට සැලසුම්කර ඇත.

3. සිංහලකරණය කිරීම සිදුවේ.

4. යාපනය පුස්‌තකාලය ගිනි තැබීම වැනි සිද්ධීන් සැලසුම් කර ඇත.

මෙලෙස ජාතිවාදය යළි ඇති කිරීමට ද්‍රවිඩ සන්ධානය ක්‍රියා කළ බව පැහැදිලිය.

මේ හැර පළාත් සභා මැතිවරණය පැවැති දිනයේ යාපනයේ ද්‍රවිඩ පුවත්පතක්‌ 1983 ජුලි කලබලයට අදාළ ඡායාරූප පළකරනු ලැබිණි. මේ ද්‍රවිඩ පුවත්පත මාධ්‍ය සදාචාරය ගැන පසුගිය කාලයේ හඬ නගා ඇත. දැන් ඔවුන්ගේ මාධ්‍ය සදාචාරයේ නිරුවත සනාථ වී තිබේ.

මේ පසුබිම මත ද්‍රවිඩ සන්ධානය දැන් රඟ දක්‌වන්නේ ද්විත්ව රංගනයකි. මේ රංගනය රජය තේරුම්ගත යුතුය. උතුර නැගෙනහිර විනාශ කළේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයයි. ඒත් එකී ප්‍රදේශ ගොඩනැඟීමට දැන් වැයවී ඇත්තේ බහුතරයේ බදු මුදල් ය.

උතුර - නැගෙනහිර ජනතාව කොටි ත්‍රස්‌තවාදයට මුවා වී බදු ගෙව්වේ නැත. රජයෙන් වැටුප් පවා ලබා ගත්හ. විදුලියට පවා සතයක්‌වත් මුදල් ගෙවීමට ක්‍රියා කළේ නැත.

මේ තත්ත්වය යටතේ ද්‍රවිඩ සන්ධානය උතුර නඟාසිටුවීමට වඩා පොලිස්‌ බලතල හා ඉඩම් බලතල ඉල්ලන්නේ සිය බෙදුම්වාදී අරමුණ සාර්ථක කර ගැනීම සඳහායි.

මේ සැබෑ යථාර්ථය රජය තේරුම් ගත යුතුව ඇත. ද්‍රවිඩ සන්ධානය ජය ලැබීමෙන් පසු විදේශ රටවල සිටින ද්‍රවිඩ ඩයස්‌පෝරාව වෙත ප්‍රණාමය පුදකර තිබේ.

ද්‍රවිඩ ඩයස්‌පෝරාවද ඉල්ලන්නේ ස්‌වයං පාලනයයි. ස්‌වයං පාලනයේ මෙරට ඒජන්තවරු ද්‍රවිඩ සන්ධානයයි.

මේ අතර මඩකලපුවේ රාජ්‍ය නොවන සංවිධානයක කාර්යාලයක්‌ වෙත ගියපු කොටි ත්‍රස්‌තයන් නවදෙනකු ගෙන්වා රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා තිබේ. මෙම සාකච්ඡාවට නෙදර්ලන්ත ගුවන් විදුලියේ මාධ්‍යවේදීන් දෙදෙනකු ද සම්බන්ධ වී ඇත. මොවුන් මඩකලපුවට පැමිණියේ සංචාරකයන් වේශයෙනි. මෙකී සාකච්ඡාවට පැමිණ සිටි ත්‍රස්‌තයන් නවදෙනාගෙන් තිදෙනකු කාන්තාවන්ය. මෙහිදී 'මධු' නමින් හඳුන්වන කොටි කාන්තාව පවසා ඇත්තේ අපේ ජීවන තත්ත්වය නගා සිටුවීමට ක්‍රියා නොකළහොත් යළි සටන් කරන බවය.

මේ ප්‍රකාශයෙන් සනාථ වන්නේ මඩකලපුවේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානය යළි ගිනි ඇවිලීමට ක්‍රියාකරන බව නොවේද?

රාජ්‍ය හා ආරක්‍ෂක බලධාරීහු මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ගැන විමර්ශනය නොකරන්නේ මන්ද?

කීර්ති වර්ණකුලසූරිය
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.