සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීම අනුව
නායකත්වය ගන්න කරු එකඟ වෙයි

"පක්‍ෂයේ අනුමැතියත් ඕනෑ - රනිල්ටත් වැදගත් තනතුරක්‌ දෙන්න"

අකිත පෙරේරා

එක්‌සත් ජාතික පක්‍ෂයේ පවතින වත්මන් කඩාවැටීම වළක්‌වා ගැනීම සඳහා පක්‍ෂයේ නායකත්වය භාර ගැනීමට තම ඉල්ලීම මත නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ඊට එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ කොල්ලුපිටිය රේණුකා හෝටලයේදී ඊයේ (28 වැනිදා) සවස පැවැති මාධ්‍ය හමුවකදීය.

මේ මොහොතේ පක්‍ෂ නායකත්වය අතට අරගෙන එ.ජා.ප. ය සවිමත් කරන්නැයි තමා විසින් කරන ලද ආරාධනාවට කරු ජයසූරිය මහතා ධනාත්මක පිළිතුරක්‌ ලබාදුන් බවද පක්‍ෂයට නායකත්වය දෙන්න ඒ මහතා සූදානම් බවද හෙතෙම කීවේය. සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්‌ ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වී සිටියහ.

මේ සම්බන්ධයෙන් "දිවයින" කළ විමසුමකදී කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ පක්‍ෂයේ අනුමැතියත් සහිතව තමාට නායකත්වය භාරදෙන්නේ නම් එහි වගකීම තමා භාර ගැනීමට සූදානම් බවයි.

පක්‍ෂයේ පවතින නායකත්ව අර්බුදයට දීර්ඝ කාලයක්‌ තිස්‌සේ විසඳුමක්‌ නොලැබීම පක්‍ෂයේ ස්‌ථාවරත්වයට නුසුදුසු බවත් එම ප්‍රශ්නයට විසඳුම් ලැබිය යුතු කාලය එළඹ ඇතැයි ද කරු ජයසූරිය මහතා පැවසීය.

තමා එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට පත්වන්නේ නම් වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාට පක්‍ෂයේ වගකිවයුතු තනතුරක්‌ හිමිවිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් කණ්‌ඩායමක්‌ ඊයේ (28 වැනිදා) කොළඹ පිහිටි කරු ජයසූරිය මහතාගේ නිවසේදී ඒ මහතා හමුවී එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වය භාරගන්නා ලෙස ආරාධනා කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතා සමගින් තලතා අතුකෝරාල, රෝසි සේනානායක, මෛත්‍රි ගුණරත්න, සුජීව සේනසිංහ සහ රංජිත් මද්දුම බණ්‌ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා මුණගැසීමට ගොස්‌ තිබේ.

පසුගියදා පළාත් පාලන ආයතන 65 ක්‌ වෙනුවෙන් පැවැති ඡන්දයේදී එක්‌සත් ජාතික පක්‍ෂයට එකම ආයතනයකවත් බලය ලබාගැනීමට නොහැකිවීමේ වගකීම එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා භාරගත යුතු යෑයි එ.ජා.ප. මන්ත්‍රී රෝසි සේනානායක මහත්මිය ඡන්දයෙන් පසුව දැඩිව ප්‍රකාශ කර තිබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.