වසරයි මාස පහකට පෙර මරා වළ දැමූ
එන්ජීඕ නියෝජිතගේ සිරුර ගොඩ ගනී
දෙමළ චිත්‍රපට අධ්‍යක්‍ෂ - ව්‍යාපාරික දෙදෙනා දැලේ


හේමන්ත රන්දුණු



රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක්‌ ලබා ගැනීම සඳහා පුත්තලම ප්‍රජා භාරකාර අරමුදලේ කළමනාකරු පැහැරගෙන ගොස්‌ වාලච්ෙච්න ප්‍රදේශයේදී අබිරහස්‌ අන්දමින් ඝාතනය කර වළදැමීමේ සිද්ධිය පිළිබඳ සුළමුල හෙළිකර ගත් කොළඹ අපරාධ කොට්‌ඨාසය ඊට සම්බන්ධ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු සහ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම අබිරහස්‌ ඝාතනය සිදුවී ඇත්තේ ඉකුත් වසරේ පෙබරවාරි මස 11 වැනිදාය. ඝාතනයට ලක්‌වූ ප්‍රජා භාරකාර අරමුදලේ කළමනාකරු 54 හැවිරිදි පට්‌ටානි රාසික්‌ මහතාගේ සිරුර පොලිසිය විසින් ඊයේ (28 වැනිදා) දහවල් වාලච්ෙච්න ප්‍රදේශයේ නිවසක වළ දමා තිබියදී ගොඩගනු ලැබීය.

මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු දෙමළ චිත්‍රපට සහ කෙටි චිත්‍රපට කීපයක්‌ම අධ්‍යක්‍ෂණය කළ පුද්ගලයකු බව පොලිසිය පවසයි. අනෙක්‌ සැකකරු ධනවත් ව්‍යාපාරිකයකු වන අතර දේශපාලනඥයන් කීප දෙනකු සමීපව ඇසුරු කරන අයෙකි.

ඝාතනයට ලක්‌වූ පට්‌ටානි රාසික්‌ මහතා සිව් දරු පියෙකි. විශ්‍රාමක හමුදා නිලධාරියකු වන මොහු පුත්තලම ප්‍රජා භාරකාර අරමුදෙල් කළමනාකරු ලෙස කාලයක්‌ සේවය කර ඇත.

විදේශ රටවලින් මෙම අරමුදලට රුපියල් කෝටි ගණනින් මුදල් ලැබී ඇති අතර මොහු එම මුදල් පුත්තලම ප්‍රදේශයේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් වියදම් කර තිබේ.

සංවිධානාත්මක කණ්‌ඩායම් කීපයක්‌ම මොහුගෙන් මුදල් ඉල්ලා ඇතත් ඔහු ඔවුන්ට මුදල් ලබා දී නැත. ඉකුත් 2010 වර්ෂයේ පෙබරවාරි 11 වැනිදා පට්‌ටානි රාසික්‌ මහතා පුත්තලමේ සිට පොළොන්නරුවට ගොස්‌ ඇත්තේ කිසියම් අවශ්‍යතාවකටය.

කදුරුවෙල මුස්‌ලිම් පල්ලිය අසලදී සැකකාර චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා සහ ව්‍යාපාරිකයා මොහු රැගෙන ගොස්‌ රුපියල් කෝටි දෙකක මුදලක්‌ ලබාදෙන ලෙස කියමින් තර්ජනය කර තිබේ. එහෙත් මොහු මුදල් ලබාදීම ප්‍රතික්‌ෂේප කර ඇත.

පසුව රාසික්‌ මහතා වාලච්ෙච්න කාඩත්තමුණේ පනිච්ෙච්න පාරේ පිහිටි අලුතින් ඉදිකරන නිවසකට රැගෙන ගොස්‌ ඇති සැකකරුවන් ඔහුගේ ගෙල සිරකර මරා දමා සිරුර නිවසේ අත්තිවාරමේ අඩි 6 ක්‌ ගැඹුරු වළක්‌ හාරා එහි වළ දමා තිබේ.

පසුව රාසික්‌ මහතාට අයත් ලැප්ටොප් පරිගණක යන්ත්‍රය, හැඳුනුම්පත සහ තවත් උපකරණ කීපයක්‌ ලබා ගත් සැකකරුවන් කොළඹට පැමිණ ඇත.

ඒ මහතාගේ හැඳුනුම්පත යොදාගෙන ජංගම දුරකථන සිම් කාඩ්පතක්‌ ලබාගත් සැකකරුවන් එය යොදාගෙන ඔහුගේ බිරිඳට ඇමතුමක්‌ ලබාදී තිබේ.

සැකකරුවන් රාසික්‌ගේ බිරිඳට කතාකර රුපියල් කෝටි දෙකක මුදලක්‌ ලබාදෙන ලෙස කියමින් තර්ජනය කර ඇති අතර එසේ නොකළොත් සැමියා මරා දමන බව ද පවසා ඇත.

එහෙත් මුදල ලබා දීමට බිරිඳ ඉදිරිපත්වී නැත. අවසානයේදී ඒ මහතාට අයත් භාණ්‌ඩ කීපයක්‌ කොළඹ නගරයේ එක්‌තරා ස්‌ථානයක තිබෙන බවට සැකකරුවන් ඔහුගේ බිරිඳට දැනුම් දී තිබේ.

එම භාණ්‌ඩ භාරගත් බිරිඳ සිය සැමියාගේ අතුරුදන්වීම පිළිබඳව පුත්තලම පොලිසියට පැමිණිලිකර තිබිණි. එහෙත් මෙම අතුරුදන්වීම පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට පොලිසියට නොහැකි විය. තම සැමියා සුදුපැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බවට බිරිඳ පොලිසියට පැමිණිලි කර තිබිණි.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත භාර දීමෙන් පසු විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ පුත්තලමට ගොස්‌ පරීක්‍ෂණ පැවැත්වූහ. කප්පම්කරුවන් භාවිත කළ ජංගම දුරකථනයක්‌ ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීහු ඝාතනයට සම්බන්ධ එක්‌ සැකකරුවකු කිලිනොච්චිය ප්‍රදේශයේදීත්, චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා කොළඹ කොළොන්නාව ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගත්හ.

සැකකරුවන්ගෙන් ලද තොරතුරු ඔස්‌සේ වළ දමා තිබූ පට්‌ටානි රාසික්‌ මහතාගේ සිරුර ගොඩගත් අතර ඔහු අවසන් වරට ඇඳ සිටි ඇඳුම්වලින් සිරුර හඳුනා ගැනීමට ඔහුගේ පුත්‍රයාට හැකිවිය.

සැකකරුවන් පට්‌ටානි රාසික්‌ මරා දමා ඔහුගේ සිරුර සඟවා ඇත්තේ අලුතින් ඉදිකරමින් තිබූ වාලච්ෙච්න ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් නිවසේ අත්තිවාරම යටය.

සිය නිවස යට මළ සිරුරක්‌ තිබෙන බව නොදැන සිටි එහි හිමිකරු අලුතින් නිවස ඉදිකර එහි පදිංචි වී සිට ඇති බව පොලිසිය පවසයි.

කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් මෙම මළසිරුර ගොඩ ගෙන ඇත්තේ අලුතින් ඉදිකර තිබූ එම නිවෙස්‌ අත්තිවාරම යට වළ දමා තිබියදීය.

මෙම සැකකරුවන් තවත් අබිරහ ස්‌ ඝාතන කීපයක්‌ කර ඇති බවට ලැබුණු තොරතුරු ඔස්‌සේ ඒ පිළිබඳව පොලිසිය පරීක්‍ෂණ කරගෙන යයි.

කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ ආර්. එල්. රණවීර යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත එහි ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක හේමන්ත දික්‌ඕවිට මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ පරීක්‍ෂක ඒ. එදිරිසූරිය මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.