වසර කීපයක්‌ සැඟවී සිටි කුලියාපිටියේ
"සක්‌විති" කොට්‌ටාවේදී අත්අඩංගුවට

හේමන්ත රන්දුණු

කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ ගණනාවක විවිධ පුද්ගලයන් රවටා ඉහළ පොලියක්‌ ලබා දෙන බව කියමින් රුපියල් කෝටි 2 කට අධික මුදල් වංචනික ලෙස ලබා ගත් පුද්ගලයකු කොට්‌ටාව ප්‍රදේශයේ සැඟවී සිටියදී මිරිහාන පොලිසියේ බුද්ධි අංශය මගින් ඊයේ (28 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. කුලියාපිටිය නගරයේ "සරු" ටේ්‍රඩර්ස්‌ නමින් ව්‍යාපාරික ස්‌ථානයක්‌ පවත්වාගෙන යමින් සැකකරු දීර්ඝකාලයක සිට මෙම වංචාව සිදු කර ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

සැකකරුගේ බිරිඳ මෙම වංචාව සම්බන්ධයෙන් මීට ඉහත දී කුලියාපිටිය වංචා විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උපපොලිස්‌ පරීක්‍ෂක ආර්. පී. එස්‌. ජයවික්‍රම මහතා ඇතුළු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඇය බන්ධනාගාර ගත කෙරිණි.

මොහුගේ වංචාවට හසු වූ පුද්ගලයන් 37 දෙනකු පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබූ අතර තවත් පැමිණිලි ලැබෙමින් තිබෙන බව පොලිසිය පවසයි.

මෙම වංචාකරු අත්අඩංගුවට ගැනීම සඳහා කුලියාපිටිය වංචා විමර්ශන අංශය පරීක්‍ෂණ ආරම්භ කිරීමෙන් පසු මොහු වසර කීපයක්‌ තිස්‌සේ පොලිස්‌ ඇසට වැලිගසමින් සැඟවී සිටියේය.

නුගේගොඩ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු තොරතුරක්‌ මත බුද්ධි අංශයේ ස්‌ථානාධිපති සුරාඡ් අබේවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ කළ වැටලීමකදී කොට්‌ටාව වීරමාවතේ නිවසක සැඟවී සිටියදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

මහනුවර, ගම්පහ, කොළඹ, කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ ගණනාවක පුද්ගලයන් මෙම සැකකරුගේ වංචාවට හසු වී ඇත. මොහු කාලයක්‌ තිස්‌සේ කුලියාපිටිය නගරයේ ව්‍යාපාරික ස්‌ථානයක්‌ පවත්වා ගෙන ගොස්‌ ඇති අතර හොඳම ව්‍යාපාරිකයන්ට පිදෙන සම්මානවලින් පවා පිදුම් ලබා ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

සැකකරු වැඩිදුර පරීක්‍ෂණ සඳහා කුලියාපිටිය වංචා විමර්ශන අංශය වෙත භාරදීමට නියමිතය.

නුගේගොඩ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් බුද්ධි අංශයේ ස්‌ථානාධිපති සුරාඡ් අබේවර්ධන මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.