චැනල් 4 දෙවැනි වීඩියෝ පටය මුළුමනින්ම අසත්‍යයක්‌
- යුද හමුදා ප්‍රකාශක

කීර්ති වර්ණකුලසූරිය සහ ලසිත දුමින්ද

යුද හමුදා සෙබළකු බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව ඔස්‌සේ සම්මුඛ සාකච්ඡාවක්‌ ලබා දෙමින් යුද හමුදාව යුද අපරාධ කළ බව කියන ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටය මුළුමනින්ම අසත්‍යයක්‌ යෑයි යුද හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් උභය මැදවල "දිවයින" ට පැවැසීය.

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව පෙරේදා (27 වැනිදා) අලුතින් නිකුත් කළ එම වීඩියෝ දර්ශනයට අනුව ශ්‍රී ලංකා යුද හමුදා සෙබළකු සම්මුඛ සාකච්ඡාවකදී යුද හමුදාව යුද අපරාධ කළ බවට ප්‍රකාශ කර ඇත.

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව ශ්‍රී ලංකා යුද හමුදා සෙබළකු යොදාගෙන සකස්‌ කළ එම වීඩියෝ ව මුළුමනින්ම අසත්‍යයක්‌ බව ද ඒ සඳහා කිසිදු හමුදා සෙබළකු සහභාගි වී නැතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

චැනල් 4 නාලිකාව මීට පෙර නිකුත් කළ වීඩියෝ දර්ශන යළි සනාථ කිරීමට ගත් උත්සාහයක්‌ ලෙස මෙය හැඳින්විය හැකි බව ද හෙතෙම කීවේය.

එසේම එම වීඩියෝවට අනුව සම්මුඛ සාකච්ඡාව ලබා දෙන යුද හමුදා සෙබළා ශ්‍රී ලංකා යුද හමුදාවට කිසිදු සම්බන්ධයක්‌ නොමැති බව ද හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් උභය මැදවල වැඩිදුරටත් සඳහන් කළේය.

සිවිල් වැසියන් 50000 ක්‌ මරණ අයුරු සියෑසින් දුටු බව කියන "ප්‍රනාන්දු" නමින් හඳුන්වන බොරු සාක්‌ෂිකරුවකුගේ ප්‍රකාශනයන් රැගත් චැනල් 4, 2 වැනි වීඩියෝ පටය පෙරේදා (27) රාත්‍රි එම රූපවාහිනිය විසින් විකාශනය කර ඇත.

මේ ප්‍රනාන්දු නමැති සාක්‌කිකරු සමඟ කොළඹදී සාකච්ඡාවක්‌ පවත්වා ඇති චැනල් 4 නියෝජිතයා එය ලන්ඩනය වෙත යවා තිබේ.

මෙම බොරු සාක්‌කිකරු චැනල් 4 රූපවාහිනිය අමතමින් සිවිල් වැසියන් 1500 ක්‌ මරණ බව මුලින් පවසා පසුව පවසා ඇත්තේ 50000 ක්‌ මරණ බව දුටු බවය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.