ලක්‌සල සේවකයෝ 10 ක්‌ ස්‌වෙච්ඡාවෙන් විශ්‍රාම යති

ශ්‍යාම් නුවන් ගනේවත්ත

රුපියල් කෝටියකට ආසන්න වන්දි මුදල් ලබා ගනිමින් ලක්‌සල ආයතනයේ සේවකයෝ දස දෙනෙක්‌ (10) ඊයේ (25 දා) ස්‌වෙච්ඡාවෙන් විශ්‍රාම ගත්හ. මෙසේ විශ්‍රාම ගත්තේ ලක්‌සල ප්‍රවාහන අංශයෙහි රියෑදුරන් දහ දෙනෙකි.

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යqහගත කිරීමේ වැඩසටහන යටතේ ලක්‌සල ආයතනයේ අත්‍යවශ්‍ය නොවන අංශවල සේවකයන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය ආරම්භ කළ බව ද එම සේවකයන් විශ්‍රාම ගැන්වීම සිදු කළේ ඒ අනුව බව ද රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය කියයි.

මෙම සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්‌තිකයන්ගේ භාර අරමුදල්වලට අමතරව වන්දි මුදල් සහ ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්‌ඩල තීරණය අනුව ප්‍රසාද දීමනාවක්‌ද ලබා දුන් බව අමාත්‍යාංශය කියයි.

ලක්‌සල ආයතනයේදී මෙම සේවකයන් විශ්‍රාම ගත් අවස්‌ථාවට රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශ්‍රිත තිසේරා මහතා සහ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය විලී ගමගේ මහතා ඇතුළු අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරීහුද සහභාගි වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.