එජාපයට එරෙහි මුස්‌ලිම් කොංග්‍රස්‌ වාරණය
අගෝස්‌තු 25 දා දක්‌වා දික්‌වේ


ඒ. ඡේ. ඒ. අබේනායක

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායක අධිකරණ ඇමැති රවුµa හකීම් මහතා ඇතුළු මුස්‌ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් හත්දෙනකු 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පක්‍ෂව ඡන්දය දීම සහ ආණ්‌ඩුවට එක්‌වීම සම්බන්ධයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය මගින් පරීක්‍ෂණයක්‌ පැවැත්වීම වළකාලමින් නිකුත් කොට තිබූ වාරණ නියෝගය අගෝස්‌තු 25 වැනිදා දක්‌වා දීර්ඝ කිරීමට කොළඹ දිසා විනිසුරු රංජිත් ආර්. වතුපොළ මහතා ඊයේ (28දා) නියෝග කළේය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ජී. ජී. අරුල්ප්‍රගාසම් මහතා මාර්ගයෙන් අධිකරණ ඇමැති රවුµa හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හසන් අලි, බසිර් සේගු ඩාවුඩ්, එම්. එච්. තව්දික්‌, එම්. එස්‌. එම්. අස්‌ලම්, එන්. කාසිම් සහ එච්. එම්. එම්. පායිස්‌ යන මහත්වරුන් වෙන් වෙන්ව ගොනුකර තිබූ එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා නම් කොට තිබිණි.

2010.03.16 වැනිදා ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය සහ එක්‌සත් ජාතික පක්‍ෂය අතර අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කළ බවත් ඒ අනුව 2010 මහ මැතිවරණයේදී මැතිවරණ කාර්යයන්හිදී ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය විසින් නම් කරන ලද එක්‌සත් ජාතික පක්‍ෂය පිළිගත් සියලුම අපේක්‍ෂකයන් එක්‌සත් ජාතික පක්‍ෂය විසින් දිස්‌ත්‍රික්‌ ලැයිස්‌තුවට ඇතුළත් කළ බවත් එම පැමිණිලි මගින් පෙන්වාදී තිබිණි. ඒ අනුව පැමිණිලිකරුවෝ එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ බවත් පසුගිය වසරේ එනම් 2010 අගෝස්‌තු 9 වැනිදා පාර්ලිමේන්තුවේදී 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට ඡන්දය විමසන අවස්‌ථාවේදී එයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කොට රජයට එක්‌ වූ බවත් එම පැමිණිලි මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

එම මන්ත්‍රීවරුන් ඉන් අනතුරුව තමන්ට එරෙහිව පරීක්‍ෂණ පැවැත්වීමට එක්‌සත් ජාතික පක්‍ෂය සූදානම් වන බවත් එමගින් වැඩිදුරටත් පෙන්වාදී එම පරීක්‍ෂණ කටයුතු වළක්‌වන අතුරු තහනම් නියෝගයක්‌ ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබිණි. ජී. ජී. අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස්‌ පරිදි පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ පෙනී සිටි අතර වගඋත්තර කරුවන් වෙනුවෙන් පෝල් රත්නායක නීතිඥ සමාගමේ උපදෙස්‌ පරිදි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ, රසික දිසානායක යන මහත්වරු සහ නීතිඥ නිලන්ති පීරිස්‌ මහත්මිය පෙනී සිටියහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.