දරුවන් යහමග යෑවීමේ යුතුකම
පැවරෙන්නේ ගුරුවරුන් වන ඔබටයි

සෞන්දර්ය උපාධිධාරීන්ට ගුරු පත්වීම් ප්‍රදානය
කිරීමේ උළෙලේදී ජනාධිපතිවරයා පවසයි

3174 දෙනකුට එකවර පත්වීම් ලබාදෙන
ඉතිහාසයේ ප්‍රථම අවස්‌ථාව මෙයයි
- ඇමැති බන්ධුල ගුණවර්ධන

ජාතිය ගොඩනැගීමේ වගකීම
හිමිවන්නේ අද පත්වීම් ලබන ඔබටයි
- ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග


අනුර බාලසූරිය - උදේනි චන්ද්‍රසිරි

දරුවන් යහමගට ගැනීමේ භාරදූර කාර්යභාරය පැවරෙන්නේ ගුරුවරුන් වන ඔබට බැවින් ඒ යුතුකම රටට, සමාජයට, ඉටුකරනු ඇතැයි දැඩිසේ විශ්වාස කරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

සෞන්දර්ය උපාධිධාරීන් තුන්දහස්‌ එකසිය හැත්තෑහතර දෙනකුට (3174) ගුරු පත්වීම් ප්‍රදානය කිරීම නිමිත්තෙන් ඊයේ (28 වැනිදා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

සෞන්දර්ය ගුරුවරුන් 3174 දෙනකුට එක්‌වර පත්වීම් ලබාදුන් ප්‍රථම අවස්‌ථාව මෙය වනු ඇත.

අද පත්වීම් ලබන ඔබ ඇතුළත් වන්නේ මේ රටේ තිබෙන ඉතාමත්ම පූජනීය වෘත්තියකට බව සඳහන් කළ ජනාධිපතිවරයා පත්වීම් ලබන සියලු දෙනාට සුබ පැතුම් එක්‌ කළේය.

ඔබ ගුරු වෘත්තියට ඇතුළත් වීමෙන් පසු දරුවන්ගෙන් වැදුම් පිදුම් ලබනවා. එසේම ඒ දරුවන් යහමගට ගැනීමේ භාරදූර කාර්යත් ඉටුකරනු ඇතැයි තමා දැඩි සේ විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා එය සංකේතවත් කරමින් පත්වීම්ලාභී ගුරුවරු කිහිප දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය කළේය.

අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා(

රටේ හතළිස්‌ ලක්‌ෂයක්‌ පමණ වන දරුවන්ගේ අනාගතය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ කාර්ය ජනාධිපතිවරයා පවරා තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයටයි.

නිදහසින් පසු නිදහස්‌ අධ්‍යාපනයෙන් උපන් දරුවන් 3174 දෙනකුට එක්‌වර ගුරු පත්වීම් ලබාදෙන ඉතිහාසයේ ප්‍රථම අවස්‌ථාව මෙයයි. නිදහස්‌ අධ්‍යාපනය තුළින් මේ රටේ දූ දරුවන්ට දෙපයින් නැගී සිටීමට තත්ත්වය ලබාදීම සඳහා සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා මේ රටේ ප්‍රථම වරට මධ්‍ය මහා විද්‍යාල 54 ක්‌ ආරම්භ කළා. එම විද්‍යාල තුළ දරුවන්ගේ ඉගෙනීමට අවශ්‍ය විද්‍යාගාර, ගෘහ විද්‍යාගාර, චිත්‍රාගාර, නර්තන ශාලා, ක්‍රීඩා පිටි, නේවාසිකාගාර ආදී පහසුකම් ලබා දුන්නා. මේ විද්‍යාලවලින් අග්‍රගන්‍ය කලාකරුවන් රටට දායාද කළා.

එදා අපේ සෞන්දර්ය ගුරුවරු විශාල කාර්යභාරයක්‌ ඉටුකළා. සෞන්දර්ය චාරිකාවේ නිම් වළලු පුළුල් කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සෞන්දර්ය තුළින් මනුෂ්‍යකම සංවේදී බව කියා දුන්නා. අපේ ගුරුවරු අපි හදන්න මහා කැපවීම් කළා.

1977 න් පසු මේ තත්ත්වය වෙනස්‌ වුණා. යකඩ ගැටෙන අමිහිරි හඬත් උණ්‌ඩයේ අහිමිරි සුවඳත් අපේ සංස්‌කෘතියේ අංග බවට පත්වුණා. එදා මධ්‍ය මහා විද්‍යාල පරම්පරාවේ දරුවකු ලෙස මට මතක්‌ වෙනවා අපගේ සංගීත ගුරුවරයා වූ ධනපාල මහතා. අපි පාසල් ගීය ගායනා කරන කණ්‌ඩායමේ හිටියා. එහි සංගීත, චිත්‍ර. නර්තන ගුරුවරුන් කියා දෙන දේ ජීවිත කාලය පුරාම බලපාන බව අපි දන්නවා.

ලුම්බිණි විද්‍යාලයේ මම අධ්‍යාපනය ලබන සමයේ ලුම්බිණි රඟහලේ රඟදැක්‌වුණු ඉහළම කලාකෘති නැරඹීමේ අවස්‌ථාව අපිට ලැබුණා. 1977 න් පසු පරිසරය මෙවන් මිනිසුන් නිර්මාණය කරන්නට උපකාර වුණේ නැහැ. අපේ කාලයේ ගුරුවරුන් දරුවන්ට දඬුවම් දී පාඩම් කෙරෙව්වා. 1977 න් පසු නිදහස්‌ අධ්‍යාපනයේ දරුවෝ තුවක්‌කු අතට ගෙන විදුහල්පතිතුමා දණගස්‌සලා තිබ්බා. විදුහල්පතිවරුන් 52 දෙනෙකු ළමයින්ට ඉගැන්වීමේ වරදට ඝාතනය වුණා. මනුෂ්‍යකම නාය ගියා.

උතුරේ පෑන, පැන්සල අතට දෙන්න ඕනේ දරුවන්ට තුවක්‌කුව අතට දුන්නා. මේ නිසා ගොරෝසු ජාතියක්‌ රට තුළ නිර්මාණය වුණා. මේ පත්වීම් ගන්න සෑම දරුවෙක්‌ම අද නැතත් හෙට අම්මා කෙනෙක්‌ තාත්තා කෙනෙක්‌ වෙනවා. මොන දැනුම දුන්නත් මනුස්‌සකම නැතිනම් සමාජය යහපත් කරන්න බැහැ. ඔබ මේ නිදහස්‌ අධ්‍යාපනයේ දරුවන්. ලොව කිසිම රටක නැති ආකාරයට නිදහස්‌ අධ්‍යාපනය ලබා දෙන ජාතියම ඔබට නිර්මාණය කරන්නට දායක වී තිබෙනවා.

පසුගිය කාලයන්වල සෞන්දර්ය, ඉතිහාසය ගැන සැලකිල්ලක්‌ නොදක්‌වා කප්පාදු කර තිබ්බා. ජනාධිපතිතුමා රට බාර ගන්නා අවස්‌ථාව වන විට ඔබ සෞන්දර්ය උපාධිධාරීන්ට රැකියා ඉල්ලා විවිධ උද්ඝෝෂණ කළා. මම අධ්‍යාපන ඇමැතිවරයාව සිටියදි 3174 දෙනෙකුට ගුරු පත්වීම් දෙන්න කැබිනට්‌ මණ්‌ඩල පත්‍රිකාවක්‌ දැම්මා. එයට අනුමැතිය ලැබුණා. ඒ සඳහා බඳවා ගැනීමේ රෙගුලාසිවලට අනුව ගුරු ව්‍යවස්‌ථාව අනුව විභාගයක්‌ පැවැත්විය යුතු වෙනවා. ඒ අනුව එම විභාගයකට පන්දහසක්‌ ඉදිරිපත් වුණා. නමුත් විභාගය සමත් වුණේ 704 යි. අපිට තිබුණා ඒ පිරිසට විතරක්‌ පත්වීම් දෙන්න. එහෙම කරන්න හේතුවකුත් තිබුණා. ඉක්‌මණින් රස්‌සා දියව් කියලා ඉසුරුපාය වටලලා අපේ ලේකම්තුමාවත් බිත්තියට හේතු කරන්න උත්සාහ කළ නිසා ව්‍යවස්‌ථාවට අනුව ඒ 704 පමණක්‌ පත්වීම් දෙන්න තිබුණා. නමුත් මම මේ 704 පමණක්‌ නොවෙයි ඉතුරු අයටත් ප්‍රාථමික ගුරුවරුන් ලෙස පත්වීම් දෙන්න තීරණය කළා.

නමුත් එයට විරෝධතාවක්‌ ආ නිසා ජනාධිපතිතුමාට මේ පිළිබඳ දැනුම් දුන්නා. එතුමා මට උපදෙස්‌ දුන්නා ලබාගත් ලකුණු අනුව පුරප්පාඩු පිරිවන තෙක්‌ ඒ පිරිසට පත්වීම් දෙන්න කැබිනට්‌ පත්‍රිකාවක්‌ දෙන්න කියලා. ගුරු ව්‍යවස්‌ථාව අනුව, අරගලවලට අනුව පත්වීම් දුන්නා නම් අද පත්වීම් ලැබෙන්නේ 704 දෙනාටයි. නමුත් එය නොසළකා මේ සියලුම දෙනාට පත්වීම් දීමේ ගෞරවය හිමිවන්නේ ජනාධිපතිතුමාටයි.

එදා අපේ සෞන්දර්ය ගුරුවරු විශිෂ්ට දක්‌ෂතා තිබෙන දරු කැළක්‌ නිර්මාණය කළා. ජීවිතේ විශිෂ්ට, සංවේදී රටට ජාතියට ආදරය කරන දූ දරු කැළක්‌ බිහිකරන්න ඔබටත් ශක්‌තිය ලැබේවා.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා( අපේ රට පංච මහා කේන්ද්‍රස්‌ථානයක්‌ කිරීමේදී දැනුම ප්‍රධාන වෙනවා. ඔබ ඒ දැනුම ලබාදෙන පිරිසක්‌ ලෙසට අද පත්වීම් ලබන්නේ. ඔබ ජාතිය හදන ගොඩනගන පිරිසක්‌. ජාතිය ගොඩනැගීමේදී ඔබට වඩා ඉහළ කෙනෙක්‌ තවත් නැති තරම්. ඔබට විශාල වැඩ කොටසක්‌ පැවරෙනවා.

මට මතකයි අපි කුඩා කාලයේදී ජාතික ගීය ගායනා කළා. හමුදා නිලධාරියෙක්‌ නිල ඇඳුම ඇඳලා ජාතික ගීය ගායනා කරනවිට ඊට උපරිම ගෞරවය දක්‌වනවා. ජනාධිපතිතුමාත් ජාතික ගීය ගායනා කරනවිට ජාතික ගීය ගායනා කරමින් ඊට උපරිම ගෞරවය දක්‌වනවා. ඒ වගේ ඔබත් විශේෂයෙන් සෞන්දර්ය ගුරුවරුන් හැටියට ජාතික ගීය ගායනා කිරීමේදී ඊට උපරිම ගෞරවය ලැබෙන පරිදි දරුවන් හැඩගැස්‌විය යුතුයි. ඒ පළමු කාර්ය ඔබ ඉටු කළ යුතුයි. දෙවැනි වගකීම පාසල් ගීතය හරි හැටි ගායනා කිරීමයි. අපි කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු නොකළහොත් බලාපොරොත්තු වන ඉලක්‌කය කරා යන්න බැහැ. මම දකින විදිහට ඔබට පැවරෙන කාර්ය ගණිතය, ඉංග්‍රීසි ගුරුවරයකුට වඩා වැදගත්.

පුද්ගලයාගේ සුන්දර මටසිලිටු බව පරිසරයට ආදරය කරන්න මේ සියල්ල ලැබෙන්නේ සෞන්දර්ය උගන්වන්න ගුරුවරයාගෙන්. ඔබට පුළුවන් ජාතියේ මටසිලිටු බව ඇතිකරන්න.

ඔබ අද පත්වීම් ලිපිය ලබන්නේ රාජ්‍ය නායකයාගෙන්. එහෙම කරන්නේ ඔබේ තිබෙන වැදගත්කම් අපට තේරෙන නිසයි. ඔබට පැවරෙන කාර්යභාරය සුවිශේෂයි. ඔබ ගමට ගොස්‌ ගමේ දරුවන් ඔප මට්‌ටම් කර සෞන්දර්ය ශිල්පය දී ඔවුන්ගේ ජීවිතය අර්ථවත් කිරීමයි.

සෞන්දර්යාත්මක බුද්ධියේ ඔබ ඉහළම ඉන්නේ. මේ විෂය කලුලෑල්ලෙන් උගන්වන විෂයක්‌ නොවෙයි. ඔබෙන් ලබන ශිල්පය තමයි ප්‍රසාංගික වේදිකාවල දක්‌ෂකම් පෙන්වන්නේ. ඒ පසු පස ඉන්නේ ගුරුවරයකේ. ඔබ එක දිනක්‌ පාසලට නොගියොත් එදින ලැබිය යුතු දේ දරුවාට ලැබෙන්නේ නෑ. සෞන්දර්ය උගන්වන කෙනා එසේ මෙසේ කෙනෙක්‌ නොවෙයි. ඔබ නියම ගුරුවරයෙකු වී ජාතියේ බුහුමන් ලබන ගුරුවරයකු වන්න ඔබට පුළුවන්.

උතුරුමැද ආණ්‌ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා

අද ඔබට දෙන්නේ හුදෙක්‌ ලියවිල්ලක්‌ පමණක්‌ නොවෙයි. ජාතියේ දරුවන් ඔබට භාරදීමක්‌ කෙරෙන්නේ. දැයේ දරුවන් ඥාණවන්ත දරුවන් බවට පත්කිරීමට අවශ්‍ය නිසයි මෙතරම් ප්‍රමාණයකට පත්වීම් ලබා දෙන්නේ.

උතුරු මැද ප්‍රධාන ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා

ඔබ පත්වීම් ලබන්නේ දුෂ්කර ප්‍රදේශවලට. ඔබ ඒ ප්‍රදේශවලට ගිය විට අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ මොනව වුණත් මේ දුෂ්කර ක්‍රියාව කළ යුතුයි. සෞන්දර්ය ගුරුවරුන්ගේ අඩුවක්‌ තිබුණු හැම පාසලකටම යොමුකරලා තියෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. ගුණසේකර මහතාද, කතා කළ අතර මෙම අවස්‌ථාවට අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති විජිත් විජිතමුණිද සොයිසා මහතා හා පළාත් අධ්‍යාපන ඇමැතිවරු, ආණ්‌ඩුකාරවරු ඇතුළු විශාල පිsරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.