ගුරු හා විදුහල්පති ගැටලු
නොවිසඳුවොත් වෘත්තීය ක්‍රියා
අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ වෘත්තීය ලේකම් වසන්ත ධර්මසිරි

"කඳ විතරක්‌ ඇති අධ්‍යාපන අමාත්‍යාංශයට
හිසක්‌ දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලනවා"

නිලන්ත මදුරාවල

ගුරු හා විදුහල්පතිවරුන්ගේ ගැටලු විසඳීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ වෘත්තීය ලේකම් වසන්ත ධර්මසිරි මහතා පැවසීය.

ගුරු හා විදුහල්පතිවරුන්ගේ උසස්‌ වීම්, වැටුප් විෂමතා පිළිබඳ ගැටලු ගැන අවධානය යොමු නොකරන අමාත්‍යාංශය අධ්‍යාපන සංවර්ධනය ගැන බොරු මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

ලේකම්වරයා මේ බව කියා සිටියේ විදුහල්පති සේවයේ ගැටලු පිළිබඳ කරුණු දැක්‌වීම සඳහා නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (28 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය.

සංවර්ධනය කෙරෙන පාසල් දහස සඳහා විදුහල්පතිවරුන් පන්සියයක්‌ පමණ විභාගයක්‌ පවත්වා අලුතින් බඳවා ගැනීමට අමාත්‍යාංශය සූදානම් වන බව පැවසූ ධර්මසිරි මහතා මේ වන විට විදුහල්පති සේවයේ සිටින විදුහල්පතිවරුන් ඒ සඳහා බඳවා නොගන්නේ ඇයි දැයි ප්‍රශ්න කර සිටියේය. මෙවැනි ක්‍රියාමාර්ගවලින් විදුහල්පතිවරුන් අවමානයට ලක්‌ නොකරන්නැයි ඉල්ලා සිටින බවද ඒ මහතා කීවේය.

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ හිඟ වැටුප් ලබාදීමට අමාත්‍යාංශයට මුදල් නොමැති වුවද අනවශ්‍ය විසිතුරු කිරීමට අමාත්‍යාංශයට මුදල් ඇතැයිද පැවසූ ධර්මසිරි මහතා හිසක්‌ නොමැති "කඳක්‌ පමණක්‌ ඇති අධ්‍යාපන අමාත්‍යාංශයට හිසක්‌" ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුවට සංගමයේ ලේකම් ඥනරත්න වීරකෝන්, උප සභාපති එම්. ඩබ්ලිව්. ජයරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.