නායකත්වය කරුට දීමේ අරමුණ
කඩා වැටෙන එජාපය යළි නංවාලීමටයි
එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස

අකිත පෙරේරා



එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා මේ මොහොතේ පක්‍ෂ නායකත්වයට ගෙන ඒමෙන් බලාපොරොත්තු වන මුඛ්‍ය අරමුණ වන්නේ කඩා වැටෙමින් පවතින පක්‍ෂය නංවාලීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී, එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ රේණුකා හෝටලයේදී ඊයේ (28 වැනිදා) සවස පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ප්‍රේමදාස මහතා මෙසේ ද කීය.

ගතවෙමින් පවතින මේ කාලය මාතෘ භූමියටත්, රටේ ජනතාවටත් ඓතිහාසික කාලපරිච්ඡේදයක්‌, සංධිස්‌ථානයක්‌, මේ වැනි කාල වකවානුවක්‌ ක්‍රියාත්මක වෙද්දී මේ ආණ්‌ඩුව පාලනය දිහා බැලුවහම අපට පෙනෙන්නේ ඉතාම දුර්දාන්ත, අධම පාලනයක්‌ ක්‍රියාත්මක වන බවයි.

අපේ ජාතික සම්පත් මංකොල්ලකමින්, ජාතික ධනය සූරාකමින් තමන්ගේ සුඛවිහරණය සඳහා පමණක්‌ කටයුතු කරන පාලන තන්ත්‍රයක්‌ තුළ ඉන් රට ගලවා ගැනීමේ භාරදූර කටයුත්ත එක්‌සත් ජාතික පක්‍ෂයට භාරවී තිබෙනවා.

විශේෂයෙන්ම හෙජින් සූදුව හරහා විශාල ධනයක්‌ අපට අහිමිවෙනවා. ඒවා ශ්‍රී ලංකාවාසීන් සතු අරමුදල්. ඒ වගේම අපේ ජාතික වස්‌තූන් කොල්ලකමින් රට ජාතික පරිහානියකට පත්වෙමින් තිබෙනවා.

සංවර්ධනය නමැති මායාව පෙන්නුම් කරලා රටේ ධනය කොල්ලකන තත්ත්වයක්‌ රට තුළ තිබෙද්දී අදටත් රැකියා විරහිතව උපාධිධාරීන් 80000 ක්‌ පමණ පාරවල්වලට වැටිලා. නිවාස නැතිව පවුල් ලක්‍ෂ 15 ක්‌ පමණ ඉන්නවා. නැති බැරි - ඇති හැකි පරතරය එන්න එන්නම වර්ධනය වෙනවා.

එදිනෙදා වේල පිරිමහගන්න බැරි ජනතාව ඉතාමත් අන්ත අසරණව ගෙවෙන කාලයක්‌ තුළ විපක්‍ෂයක්‌ විදිහට අපට වගකීමක්‌ තිබෙනවා මේ නින්දිත පාලනයෙන් රට බේරා ගන්න. ඒ සඳහා විපක්‍ෂය තම කාර්යභාරය නිසි පරිදි සිදු කළ යුතුයි. ඒත් එය නියමාකාරයෙන් සිදුවනවාද කියන ගැටලුවක්‌ තිබෙනවා.

විපක්‍ෂයේ නියම කාර්යභාරය ඉටුකරමින් ජනතාව පිළිගන්නා ආකර්ශනීය චින්තනයක්‌ ඔස්‌සේ එය ඉටු කළ යුතුයි. ඒ සඳහා ප්‍රජාතාන්ත්‍රික ලෙස බලය ලබාගෙන ඒ සඳහා කටයුතු කළ යුතුයි.

එසේ තිබියදී අපේ පක්‍ෂය බෙදීමකින් තොරව කාවවත් කොන් කරන්නේ නැතිව එජාපය දිනන මාර්ගයකට ගේන්න ඉමහත් වෙහෙසක්‌ අප විසින් දැරුවා. එහෙත් පක්‍ෂයේ සමගිය වෙනුවෙන් සිටි අය සමූල වශයෙන් පළිගැනීමකට ලක්‌ වුණා. ඔවුන්ව කොන්කෙරුනා.

බෙදීමකින් තොරව සංහිඳියාවෙන් යන්න තිබුණු ගමන වෙනුවට සිදුවූ කොන්කිරීම නිසා පක්‍ෂය දිනන මාර්ගයකට ගේන්න නොහැකි වුණේ අත්තනෝමතිකව සිදු කළ කටයුතුවල ප්‍රතිපල නිසයි.

පසුගිය පළාත් පාලන මැතිවරණය ගත්තොත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට වඩා සන්සන්දනාත්මක පහත වැටීමක්‌. අපේ පක්‍ෂය තුළ දකින්න ලැබෙනවා අපේ පක්‍ෂය තවදුරටත් ගරා වැටෙන තත්ත්වයකට සහාය දෙනවාද, අපි යම්කිසි පියවරක්‌ ඉදිරියට තබා ධනාත්මක ලෙස කටයුතු කරනවාද කියන ගැටලුව අප හමුවේ තිබෙනවා.

අන්න ඒ නිසා අද කරු ජයසූරිය නියෝජ්‍ය නායකතුමා සමඟ මම සහ මහජන නියෝජිතයන්, හිටපු නියෝජිතයන් පිරිසක්‌ සාකච්ඡාවක්‌ පැවැත්වුවේ. එහිදී මම ඉල්ලීමක්‌ කරා අපේ පක්‍ෂය වැටී තිබෙන මහා කඩාවැටීම වළක්‌වාගෙන ඉන් ගොඩ ආ යුතුයි කියලා.

විශේෂයෙන් මම එතුමාගෙන් ඉල්ලීමක්‌ කළා මේකට මැදිහත්වෙලා පක්‍ෂ නායකත්වය අතට අරගෙන මේ පක්‍ෂය සවිමත් කරන්න කියලා. එහිදී කරු ජයසූරිය මැතිතුමා ඊට ධනාත්මක පිළිතුරක්‌ දුන්නා. පක්‍ෂයට නායකත්වය දෙන්න ලැහැස්‌තියි කියලා එතුමා ප්‍රකාශ කළා.

අප මේ පියවර ගත්තේ එජාපය දිනන පක්‍ෂයක්‌ බවට පත්කිරීමටයි. ගරා වැටෙන දේශය ගොඩනගන්න අප පක්‍ෂයක්‌ විදියට අලුත් ඉදිරි පියවරක්‌ තබා තිබෙනවා. මේ ආණ්‌ඩුවට එරෙහි නායකත්වය දෙන්න අපි ලෑස්‌තියි.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ සජිත් ප්‍රේමදාස මහතා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - පසුගිය මැතිවරණවලදී ලද පරාජයන් සඳහා වගකිව යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක්‌මද? මේ රටේ පැවැති මැතිවරණවලට ඔබතුමාලා සහභාගි වුණේ නැද්ද? විශේෂයෙන්ම ඔබතුමා සසුනට අරුණ ගෙන ගිය ප්‍රදේශත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පරාජය ලැබුවා.

පිළිතුර - පසුගිය මැතිවරණයට දායකත්වයක්‌ දැක්‌වූවේ කවුද? ඊට දායකත්වයක්‌ නොදැක්‌වුවේ කවුද කියලා ඔබ තමුන්නාන්සේලා දන්නවා. 44% ක්‌ ව තිබුණු අපේ පක්‍ෂයේ ඡන්ද ප්‍රතිශතය 22% දක්‌වා පහත වැටුනේ අපේ පක්‍ෂයේ තිබිය යුතු එක්‌සත්භාවය පලුදුවන ආකාර යේ ක්‍රියාදාමයන් සිදුවූ නිසායි. පක්‍ෂ ප්‍රතිසංවිධාන අවශ්‍යයි කියපු අයගෙන් පළිගැනීමයි සිදුවුණේ. මේ තත්ත්වයෙන් ගොඩ ඒමට මහා පරිමාණයෙන් විපර්යාසයක්‌ පක්‍ෂය තුළ කළ යුතුයි. මම අර තනතුර මේ තනතුර ඉල්ලන්න යන්නේ නැහැ. ඒත් මට හිමි කිසිම වගකීමක්‌ ක්‍රියාත්මක කරන්න දෙන්නෙත් නැහැ. කකුලෙන් ඇදීම්, බාධා පැමිණවීම් සිදුකරනවා. මම පක්‍ෂයේ නියෝජ්‍ය නායකත්වය ගත්තේ කාටවත් පක්‍ෂය තුළ ආඥාදායකත්වයක්‌ ගෙනියන්න නොවෙයි. අපේ මුඛ්‍ය අරමුණ වන්නේ පක්‍ෂය නංවාලීමයි. ඒ සඳහා මේ ගත්තු තීරණයට, මේක ක්‍රියාවලියක්‌, ඒ ක්‍රියාවලියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකුගේ සහාය පළ කරලා තිබෙනවා. එය ගුණාත්මක ඉලක්‌කයක්‌.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්‌ඩාර. තලතා අතුකෝරල, රෝසි සේනානායක, සුජීව සේනසිංහ, දුනේෂ් ගන්කන්ද, අශෝක්‌ අබේසිංහ ඇතුළු පළාත් සභා මන්ත්‍රී පිරිසක්‌ ද සහභාගි වූහ.

ඡායාරූප - ධර්මසේන වැලිපිටිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.