කවදත් උණුසුම් සිංහ කැන්ගරු සටන!

ටෙස්‌ට්‌ තරගාවලියේ අවසන් තීරණය මත ටෙස්‌ට්‌ ලෝක කුසලාන සිව්වැන්නා තීරණය වේ

සිංහ-කැන්ගරු සටන කවදත් උණුසුම්ය. සත් වසරකට පසු ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන සිංහ-කැන්ගරු සටන මෙවර තවත් උණුසුම් වනු ඇත. දින 53 ක්‌ තුළ පැවැත්වෙන 20-20 තරග දෙක, එක්‌දින තරග පහ සහ ත්‍රිත්ව ටෙස්‌ට්‌ තරග මාලාව දෙරට අතර එක්‌ සංචාරයකදී පැවැත්වෙන වැඩිම තරග සංඛ්‍යාව ලෙස මෙවර ඉතිහාසගතවීම තරගාවලියේ තියුණු බව තව දුරටත් තිව්‍ර කරයි.

කුමාර සංගක්‌කාර සහ රිකී පොන්ටින් නායකත්වයට සමුදීමෙන් පසු කෝඩුකාර නායකයන් දෙපළක්‌ යටතේ ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර පැවැත්වෙන මෙවර තරගාවලිය දෙපිලටම තීරණාත්මක තරගාවලියක්‌ ලෙස හැඳින්විය හැකිය. එහිදී එක්‌දින තරගාවලියට වඩා ටෙස්‌ට්‌ තරගාවලියේ ජයග්‍රහණය දෙපිලටම තීරණාත්මක සාධකයක්‌ බවට පත්ව තිබේ. ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන්ට නායකත්වයේ ඔටුන්න රැක ගැනීමත් ඔස්‌ටේ්‍රලියානු නායක මයිකල් ක්‌ලාක්‌ සම්පූර්ණ තරගාවලියකදී ඔස්‌ටේ්‍රලියාව මෙහෙයවන අයුරුත් මෙවර තරගාවලියේ විශේෂ අවධානයට ලක්‌වනු ඇත.

වසර කිහිපයක්‌ ටෙස්‌ට්‌ සහ එක්‌දින ක්‍රිකට්‌ වර්ගීකරණයේ අංක එක දිනා සිටි ඔස්‌ටේ්‍රලියාව ඉකුත් වසර 1 1/2 ක පමණ සිට දැක්‌වූ දුර්වල ක්‍රීඩා විලාශය හමුවේ ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්වල පස්‌වැනි ස්‌ථානය දක්‌වා පල්ලම් බැස තිබේ. එහෙත් ඔවුන් එක්‌දින ශ්‍රේණිගත කිරීම්වල අංක එක රැක ගැනීමට සමත්ව ඇත. ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්‌ථානයේත් එක්‌දින වර්ගීකරණයේ පස්‌වැනි ස්‌ථානයේ සිට මෙවර ඔස්‌ටේ්‍රලියාව සමග ගැටෙයි. ශ්‍රී ලංකාව එක්‌ දින තරගාවලිය ජයගතහොත් ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි හෝ දෙවැනි ස්‌ථානයට පත්වීමේ හැකියාව ඇතත් ටෙස්‌ට්‌ තරගාවලියේ පරාජිත කණ්‌ඩායමට පළමු ටෙස්‌ට්‌ ලෝක කුසලානට සහභාගි වීමේ අවස්‌ථාව අහිමිවීමේ අවධානමක්‌ පැවතීම තරගාවලියේ වැදගත්ම සාධකයක්‌ වී තිබේ.

2013 වසරේ එංගලන්තයේදී පැවැත්වෙන ටෙස්‌ට්‌ ලෝක කුසලාන තරගාවලියට සහභාගි විය හැක්‌කේ මෙම දෙසැම්බර් 31 වැනිදාට පෙර ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින කණ්‌ඩායම් 4 ට පමණක්‌ වන අතර ශ්‍රී ලංකාව මෙවර ඔස්‌ටේ්‍රලියාව හමුවේ පරාජය වුවහොත් ශ්‍රේණිගත කිරීම්වල පස්‌වැනි ස්‌ථානය දක්‌වා පල්ලම් බැසීමේ අවධානමකට ලක්‌වේ. ඔස්‌ටේ්‍රලියාව පරාජය වුවහොත් ඔවුන්ට බොහෝ දුරට ටෙස්‌ට්‌ ලෝක කුසලානට සහභාගි වීමේ අවස්‌ථාව අහිමි වනු ඇත.

වත්මන් ටෙස්‌ට්‌ ශේ්‍රණිගත කිරීම්වල ලකුණු 125 ක්‌ ලබා ඉන්දියාව පෙරමුණේ සිටින අතර, දෙවැනි ස්‌ථානය දකුණු අප්‍රිකාවටත් (118), තෙවැනි ස්‌ථානය එංගලන්තයටත් (117) සිව්වැනි ස්‌ථානය (108) ශ්‍රී ලංකාවටත් හිමිව ඇත. පස්‌වැනි ස්‌ථානයේ සිටින ඔස්‌ටේ්‍රලියාව ප්‍රසාද ලකුණු 100 ක්‌ ලබා තිබේ. වත්මන් තත්ත්වය අනුව ටෙස්‌ට්‌ තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් එහි වැඩි වාසිය ශ්‍රී ලංකාව සතුව ඇත. ඒ අනුව ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්‌ථාන තුනේ සිටින ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තයට වත්මන් තත්ත්වය අනුව පහසුවෙන් ටෙස්‌ට්‌ ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලැබීමේ අවස්‌ථාවක්‌ ඇතත් එහි සිව්වැනි ස්‌ථානයට පත්වීමේ සටන ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර නිර්මාණය වී තිබීම මත ශ්‍රී ලංකා ඔස්‌ටේ්‍රලියා ටෙස්‌ට්‌ තරගාවලිය මහා තරගාවලියක්‌ බවට පත්ව ඇත.

හෙට ශ්‍රී ලංකාවට පැමිණෙන ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම නවක සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් සමන්විත සමබර කණ්‌ඩායමක්‌ ලෙස හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවද නවක සහ ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමන්විත බැවින් කණ්‌ඩායම් දෙකම සමබර කණ්‌ඩායමක්‌ ලෙස හැදින්විය හැකිය. ශ්‍රී ලංකාවේ දඟ පන්දු යෑවීම ඔස්‌ටේ්‍රලියාවට ඇති ප්‍රබල අභියෝග වන අතර ඒ පිළිබඳව හිටපු ශ්‍රී ලංකා පුහුණුකරු ට්‍රෙවර් බේලීස්‌ ඔස්‌ටේ්‍රලියානු මාධ්‍යට පවසා සිටියේ අජන්ත මෙන්ඩිස්‌, රංගන හේරත් සහ සුරාඡ් රන්දිව් ගේ පන්දුවලින් බේරීමට ඔස්‌ටේ්‍රලියා පිතිකරුවන් සැලසුම් සකස්‌ කළ යුතු බවයි. ශ්‍රී ලංකාවේ ප්‍රබල පිතිකරුවන් වන සංගක්‌කාර සහ මහේල මෙල්ල කිරීමට නම් හොඳින් පන්දුව දෝලනය කිරීම සහ බවුන්සර් පන්දු යෑවීම වැදගත් බවත් මහේල සහ සංගක්‌කාර ඉක්‌මණින් දවා ගැනීමෙන් සමස්‌ත කණ්‌ඩායම අමාරුවේ දැමිය හැකි බවත් බේලිස්‌ වැඩිදුරටත් පවසා තිබේ.

ශ්‍රී ලංකාව ජයග්‍රාහී රිද්මයක්‌ පවත්වා ගැනීමට නම් මහේල සහ සංගක්‌කාර මත යෑපිය නොහැකි බව වටහා ගනිමින් ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය ප්‍රබල සාධකයක්‌ වනු ඇත. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව සහ පුහුණුකරුවාද අවධානයෙන් සිය සැලසුම් සකස්‌ කිරීම වැදගත් සාධකයක්‌ වේ.

ඔස්‌ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර ඉතිහාසයේ පවත්වා ඇති එක්‌දින තරග 73 ක්‌ අතරින් ඔස්‌ටේ්‍රලියාව ජයග්‍රහණය 47 ක්‌ ලබා ඇති අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණ 23 ක්‌ ලබා තිබේ. තරග දෙකක්‌ තීරණය රහිතව අවසන් වී ඇත. එහිදී ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ එක්‌දින තරග 12 කදී ජයග්‍රහණ 6 ක්‌ සහ පරාද පහක්‌ ලබා ඇත. ඔස්‌ටේ්‍රලියාව අවසන් වරට සහභාගි වූ එක්‌දින තරග 17 කදී ජයග්‍රහණ 13 ක්‌ සහ පරාජයන් 3 ක්‌ ලබා ඇත.

ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර මෙවර පැවැත්වෙන ටෙස්‌ට්‌ තරගාවලිය දෙරට අතර පැවැත්වෙන 10 වැනි ටෙස්‌ට්‌ තරගාවලිය වන අතර මීට පෙර පැවැති තරගාවලි 9 ක්‌ අතරින් ඔස්‌ටේ්‍රලියාව තරගාවලි 8 ක්‌ ජය ගෙන ඇත. ශ්‍රී ලංකාව ඔස්‌ටේ්‍රලියාව හමුවේ ජයගෙන ඇත්තේ එක්‌ ටෙස්‌ට්‌ තරගාවලියක්‌ පමණක්‌ වන අතර එය 1999 වසරේ අර්ජුන රණතුංග ගේ නායකත්වය යටතේ ලබා තිබේ. දෙරට අතර පැවැති සමස්‌ත ටෙස්‌ට්‌ තරග 20 අතුරින් ඔස්‌ටේ්‍රලියාව ජයග්‍රහණ 13 ක්‌ සහ ශ්‍රී ලංකාව එක්‌ ටෙස්‌ට්‌ තරග ජයකට හිමිකම් කියයි.

මෙවර කණ්‌ඩායම් දෙක අතරින් රිකී පොන්ටින් ටෙස්‌ට්‌ තරග 12 කදී එක්‌ ශතකයක්‌ සහ අර්ධ ශතක 7 ක්‌ සමග ලකුණු 851 ක්‌ ලබා දෙරට අතර පිතිකරුවන් අතර ඉදිරියෙන් සිටී. මහේල ජයවර්ධන ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ටෙස්‌ට්‌ තරග 10 කදී එක්‌ ශතකයක්‌ සහ එක්‌ අර්ධ ශතකයක්‌ සමග ලකුණු 581 ක්‌ ලබා ඇත. කුමාර සංගක්‌කාර ටෙස්‌ට්‌ තරග 6 කදී එක්‌ ශතකයක්‌ සහ අර්ධ ශතක තුනක්‌ ලබා ඇත.

ඔස්‌ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අවසන් වරට 2007 වසරේ සහභාගි වූ ටෙස්‌ට්‌ තරගාවලිය 2-0 ක්‌ ලෙස ජය ගැනීමට ඔස්‌ටේ්‍රලියාව සමත් විය. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නව පුහුණුකරු වන රොමේෂ් රත්නායක මහතාද ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ අභියෝගය සුළු පටු නොවන බව සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව පැවසීය. ආසියානු තණතීරුවල ඔස්‌ටේ්‍රලියානුවන්ගේ දස්‌කම් තියුණු මට්‌ටමක නොමැති වීමේ වාසිය ශ්‍රී ලංකාව සතුවන අතර ඔස්‌ටේ්‍රලියාව ටෙස්‌ට්‌ තරගාවලියේ ජය අපේක්‍ෂාවෙන්ම තරග වැදීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ඉහළ නැගීමේ සාධකයක්‌ වී තිබේ.

2013 ටෙස්‌ට්‌ ලෝක කුසලාන තරගාවලියෙන් ඔස්‌ටේ්‍රලියාව ඉවත් කිරීමේ වගකීම ශ්‍රී ලංකාව ඉදිරියේ තිබීම එම ලෝක කුසලාන ජය ගැනීමට ශ්‍රී ලංකාවට අමතරව වාසියක්‌ බව වටහා ගනිමින් කෙසේ හෝ තරගාවලිය ජය ගැනීමේ සටනට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවතීර්ණ විය යුතුය. ඔස්‌ටේ්‍රලියාව එම තරගාවලියෙන් ඉවත් වුවහොත් ආසියානු කණ්‌ඩායමක්‌ දෙකක්‌ වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාවත් එංගලන්තය සමගින් දකුණු අප්‍රිකාවත් අදාළ සටනට අවතීර්ණ වනු ඇත. ටෙස්‌ට්‌ තරගාවලිය ජය ගැනීමට පෙර ශ්‍රී ලංකාව පියවරෙන් පියවර ඔස්‌ටේ්‍රලියාව පරාජය කළ යුතුය. එහිදී පළමුව 20-20 තරග දෙකත් අනතුරුව එක්‌දින තරගාවලියත් ජය ගැනීම ශ්‍රී ලංකාවට ටෙස්‌ට්‌ තරගාවලිය ජය ගැනීමට මහත් රුකුලක්‌ වනු ඇත.

තරග කාල සටහන

අගෝස්‌තු 6 දා - පළමු 20-20 තරගය පල්ලකැලේදී

අගෝස්‌තු 8 දා - දෙවැනි 20-20 තරගය පල්ලකැලේදී

අගෝස්‌තු 10 දා - පළමු එක්‌දින තරගය පල්ලකැලේදී

අගෝස්‌තු 14 - දෙවැනි එක්‌දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේදී

අගෝස්‌තු 16 - තෙවැනි එක්‌දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේදී

අගෝස්‌තු 20 - සිව්වැනි එක්‌දින තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

අගෝස්‌තු 22 - පස්‌වැනි එක්‌දින තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

අගෝස්‌තු 31 සිට සැප්තැම්බර් 4 දක්‌වා - පළමු ටෙස්‌ට්‌ තරගය ගාල්ලේදී

සැප්තැම්බර් 8-12 - දෙවැනි ටෙස්‌ට්‌ තරගය පල්ලකැලේදී

සැප්තැම්බර් 16-20 - තෙවැනි ටෙස්‌ට්‌ තරගය එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණයේදී


අසේල විතාන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.