හෙජින් ඇපෑල විභාග කිරීමට පෙර
තැන්පතු මුදලක්‌ බැඳීමට සිදු වේ!


ශ්‍යාම් නුවන් ගනේවත්ත

තෙල් සංස්‌ථාවට අවාසිදායක ලෙස ලැබුණු හෙජින් බේරුම්කරණ නඩු තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර ඇති අභියාචනය විභාග කිරීමේදී බොහෝ දුරට අදාළ වන්දි මුදල හෝ ඉන් කොටසක්‌ එම අධිකරණයේ තැන්පත් කිරීමට සිදුවනු ඇතැයි රජයේ නීති අංශ ආරංචි මාර්ග වලින් "දිවයින"ට වාර්තා වේ.

කවරක්‌ නමුත් මෙසේ යම් මුදලක්‌ එම අධිකරණයේ තැන්පත් කිරීමට අවශ්‍ය ද යන්න තීරණය කරනු ලබන්නේ එම අධිකරණය විසිනි.

යම් හෙයකින් තැන්පතු මුදලක්‌ අධිකරණයට බැඳිය යුතු බවට තීන්දු වුවහොත් අදාළ අභියාචන විභාගය සඳහා තෙල් සංස්‌ථාව විසින් එම මුදල අදාළ අධිකරණයේ තැන්පත් කළ යුතු වේ.

හෙජින් ගිවිසුම් වෙනුවෙන් තෙල් සංස්‌ථාව විසින් ස්‌ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවට ඇමෙරිකානු ඩොලර් මිලියන 162 ක්‌ (රු. කෝටි 1782 ක්‌ පමණ) ගෙවිය යුතු බවට ලන්ඩන් වාණිජ අධිකරණයක්‌ විසින් පසුගියදා තීන්දු කර තිබිණි. මෙම බේරුම්කරණ නඩුව එම බැංකුව විසින් තෙල් සංස්‌ථාවට එරෙහිව පවරනු ලැබ තිබිණි.

අදාළ විදේශීය බැංකු විසින් මෙම බේරුම්කරණ නඩු පැවරීමට පෙර මේ ප්‍රශ්නය ගොඩින් බේරා ගැනීමට රජයේ නිලධාරීන් සමග සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ. එහිදී හෙජින් ගිවිසුම් අනුව බැංකුවට ලැබිය යුතු මුදලට වඩා බොහෝ අඩු මුදලක්‌ ලබාගෙන ප්‍රශ්නය සමථයකට පත්කර ගැනීමට එම බැංකු කැමැත්ත පළ කර තිබුණද එම යෝජනාව ශ්‍රී ලංකා රජය පැත්තෙන් ප්‍රතික්‍ෂේප වී ඇත. එම විදේශීය බැංකු තෙල් සංස්‌ථාවට එරෙහිව බේරුම්කරණ නඩු පවරන ලද්දේ ඉන් පසුවය.
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.