මෝඩයන්ගෙන් අප කරන ඉල්ලීම

දමන පොලිස්‌ බල ප්‍රදේශයේ එරගම පොලිසියට ගම්වැසියන් විසින් පහර දෙනු ලැබ ඇත. මේ දවස්‌වල රට පුරා ගම්මානවල සැරිසැරූ ග්‍රීස්‌ යකකු බවට සැක කළ තරුණයකු එරගම පොලිස්‌ මුරපළ විසින් අල්ලා ගන්නා ලදී. ඒ ගමේ බහුල වශයෙන් මුස්‌ලිම් ජනයා වෙසෙති. "ග්‍රීස්‌ යකා" වහා පෙනී සිට අතුරුදන් වේ යෑයි රට පුරා පැමිණිලි ඇති බැවින් ඌ "නින්ජාවෙකි"යි එරගම ගම්වැසියෝ සැක කළහ. ජපන් නින්ජා සටන්කාමීන්ට වහා අතුරුදන්වීමේ හැකියාවක්‌ තිබේ. එය ඇඟේ ග්‍රීස්‌ ගාගෙන කරන්නක්‌ නොව දිගුකාලීන ශාරීරික අභ්‍යාස, සටන් කලාවේ පරිචය සහ මානසික ඒකාග්‍රතාව ඔස්‌සේ ලබාගත් හැකියාවකි. එහෙත් සිවිල් වැසියන් අතර මෝඩයන් සිටින විට බොරු ආරංචිවලට අත්තටු ලැබේ. කෙසේ වුවද එරගම පොලිස්‌ මුරපළ මගින් ග්‍රීස්‌ යකා අල්ලා ගත්තේය යන ආරංචිය පැතිර ගිය විට මිනිස්‌සු ඌ බැලීම සඳහා පොලිසිය වටකර, දෙවනුව අපිම මේකාට දඬුවම් කරමුයි කියමින් තරුණයා ඉල්ලා සිටියහ. එහෙත් පොලිසියට ගෙන එන සැකකාරයකු දඬුවම් කිරීම සඳහා ගමේ ජනයාට භාරදෙනු නොලැබේ. නිල නොවන දඬුවම් පොලිසියේදී කෙරෙන අතර නිල දඬුවම් කරන්නේ උසාවිය හරහාය. තරුණයා භාරදීම ප්‍රතික්‍ෂේප කරන ලද හෙයින් ගමේ මිනිසුන් පොලිසියට පහර දුන් බවත් "රාළහාමිලා" පස්‌දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් ඊයේ (05 දා) "දිවයිනේ" මුල් පිටුවේ සඳහන් විය.

පළමුකොට අපට පුදුමයෘ පුදුමෙනුත් පුදුමයෘෘ හේතුව, සාමාන්‍යයෙන් සිදුවන්නේ ජනයා පොලිසියට පහරදීම නොව පොලිසිය ජනයාට පහර දීමය. දෙවනුව අපට දුකය. හේතුව මේ රටේ විශාලතම සිවිල් ආයතනය වන පොලිසිය මෙවැනි අසරණ තත්ත්වයකට පත්වීමය. ඉතා කනගාටුදායක ලෙසත් අසාධාරණ ලෙසත් පොලිසිය අසරණ වූ අවස්‌ථා අපගේ ඉතිහාසයේ තිබේ. එයින් වැදගත්ම අවස්‌ථාව වන්නේ 1990 දී නැගෙනහිර පළාතේ පොලිස්‌ ස්‌ථානවල නිලධාරීන් හා කොස්‌තාපල්වරුන් කොටින්ට භාර වූ අවස්‌ථාවය. එසේ භාර වන ලෙස උපදෙස්‌ දෙන ලද්දේ එවකට පැවැති ප්‍රේමදාස ආණ්‌ඩුවය. එසැනින් එම පළාතේ සියලු පොලිසිවල තිබූ ආයුධ තමන් භාරයට ගත් කොටි සංවිධානය ඒවායේ කොටි පොලිසි පිහිටුවා සිංහල පොලිස්‌ නිලධාරීන් හා කොස්‌තාපල්වරුන්ට වෙඩි තබා මරා දැමීය. මෙය මේ රටේ ඉතිහාසයේ කළු පැල්ලමකි. මෙයට අමතරව පොලිසියෙන් ගුටි කා මියගිය අයගේ මිනී පෙට්‌ටි, ඒ අයගේ ඥතීන් විසින් පොලිසි වෙත ගෙන ගිය අවස්‌ථා ද තිබූ අතර ඒ අවස්‌ථාවලදී ද පොලිසිය අසරණ විය. සමස්‌තයක්‌ වශයෙන් ගත්කල පොලිසිය ඉදිරිපිට සහ පොලිසිය තුළ මහජනතාව අසරණ වන අවස්‌ථා බහුල වන අතර මහජනතාව ඉදිරිපිට පොලිසිය අසරණ වන අවස්‌ථා ඉතා අල්ප ය. කෙසේ වුවද පොලිසිය කොතරම් නරක වුවත්, කොතරම් දූෂිත වුවත් නීතිය තිබිය යුත්තේ පොලිසිය අත මිස මහජනයා අත නොවන බව අපි තරයේ විශ්වාස කරමු. ශ්‍රී ලංකාව යනු තවදුරටත් ත්‍රස්‌තවාදී රාජ්‍යයක්‌ නොවේ. මෙය ජාත්‍යන්තර වශයෙන් චෞර රාජ්‍යයක්‌ (Rogue State) ලෙස පිළිගත් රටක්‌ ද නොවේ. මෙය සංවිධානාත්මක නීති පද්ධතියක්‌, සංවිධානාත්මක අධිකරණ පද්ධතියක්‌ හා ක්‍රමානුකූල හා නීත්‍යනුකූල දණ්‌ඩන පද්ධතියක්‌ ඇති රටකි. ඒ නිසා වැරදිකරුවන්ට දඬුවම් දීමේ කාර්යය මහජනයා භාරගත යුතු නැත. එසේ භාරගැනීමට කැමැති මහජනයා වෙනුවෙන් වැලිකඩ හා රට පුරා ප්‍රදේශ ගණනාවක සිරගෙවල් සාදා ඇති බව මහත් ප්‍රීතියෙන් දන්වමු. පෙර මෙන් නොව දැන් ඉතා ඉක්‌මනින් අපරාධ නඩු අසනු ලැබේ. නීතිය අතට ගෙන වරක්‌ හිරේ ගොස්‌ බලන්නෘ කල්දේරම් බත ඉතා රසවත් ය.

මේ රටේ මිනිස්‌සු තමන්ම මැදිහත් වී නීතිය ක්‍රියාත්මක කිරීමට ඉතා කැමැති ය. බසයක මිනිසකු ගැටුණ විට බසයට ගිනි තැබීම රිය අනතුරු නඩු මහජනයා විසින් මහ පාරේදීම විසඳන එක්‌ අවස්‌ථාවකි. ඒ අතර රියෑදුරා පොලිසියට දිවගොස්‌ භාර වෙයි. බසයක්‌ ගිනි තැබීමේ ආදීනව අපේ හරක්‌ නොදනිති. බසයක්‌ ගිනි තැබූ විට එහි අලාභය රක්‍ෂණ ආයතනයකින් අයකරගන්නා බස්‌ මුදලාලි අලුත්ම බසයක්‌ පාරට දමයි. ඒ මගින් විනාශ වන්නේ ජාතික ධනයයි. මේ ගැන දැනුවත් වන ලෙස අපේ රටේ සිටින සමහර මෝඩයන්ගෙන් ඉල්ලමු.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.