නිත්‍යානුකුල විවාහයේ සම්මත වයස වෙනස්‌ කළ යුතුද?

නීත්‍යානුකූලව විවාහවිම සඳහා වයස අවුරුදු 18 පිරෙන තෙක්‌ බලා සිටීමට තරුණ තරුණියන්ට සිදුවී ඇතත්, එම වයස්‌ සීමාව අඩු කිරීම කෙරෙහි සලකා බලන බව පසුගියදා රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා රත්නපුරයේදී ප්‍රකාශ කර තිබිණි.

වයස අවුරුදු 18 ට සම්පූර්ණ වීමට පෙර විවාහ වීම වසර 7 ක සිරදඬුවමකට යටත්වීමට තරම් වරදක්‌ වන අතර එම වයස සම්පූර්ණ වනතුරු ලිංගික සබඳතා පැවැත්වීම ද නීතියෙන් තහනම් කර තිබේ.

එහෙත් මෑත කාලීනව අඩුවයස්‌ (වයස අවුරුදු 18 ට අඩු) විවාහ මෙන්ම අඩු වයස්‌ ගැබිනියන්ගේ සංඛ්‍යාව ද ඉහළ යමින් පැවතිණි. බාල වයස්‌කාර ගැහැනු දරුවන් වැඩි සංඛ්‍යාවක්‌ තම දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වීමේදී ඔවුන්ගේ සැබෑ වයස තහවුරු වූ අවස්‌ථා පසුගිය දිනවල වාර්තා විය. එහිදී එම ගැබිනියගේ සහකරු නීතියේ රැහැනට හසුවන අතර ඔහුට සිරගත වීමට එය හේතුවකි. තම දරුවා දැක බලා ගැනීමටවත් එම පියවරුන්ට අවස්‌ථාවක්‌ නොලැබීම අවාසනාවන්ත තත්ත්වයකි. එවැනි අඩු වයස්‌ කාන්තාවන් විවාහකර ගැනීම අපරාධයක්‌ ලෙස නීතියේ සැලකේ. එසේ විවාහ වූ බිරිඳට ඉතාමත්ම ආදරයෙන්, කරුණාවෙන් සැලකුව ද නීතිය එය පිළිගැනීමට සූදානම් නැත. විවාහ වී සතුටින් ජීවත් වූ කුරුලු ජෝඩුව පළමු දරු උපතේදී නීතියේ රැහැනට හසුවන අතර එයින් ඔවුන්ගේ විවාහ දිවිය දෙදරා යනු ඇත. වසර 7 ක්‌ සැමියා සිරගතව සිටින කාලයේ ඇතැම් ලාබාල තරුණ බිරින්දෑවරු අනියම් සබඳතාවල පටලැවීම විශ්මයට කාරණාවක්‌ ද නොවේ. මන්ද ඔවුන් හැඟීම් යටපත් කරන ලද බුද්ධියෙන් පරිණත පිරිසක්‌ නොවීමයි. බුද්ධිමත් යෑයි සමාජයීය පිළිගැනීමක්‌ ඇති විද්වතුන්ද සාපරාධී අපරාධ නීතියේ රැeහැනට හසු නොවන සේ එළිපිට ම සිදු කරද්දී අහිංසක නූගත් ගැමි ජනතාවට වරදකරුවන් ලෙස ඇඟිල්ල දිගු කළ නොහැක. බොහෝ අඩු වයස්‌ විවාහ සිදුවන්නේ නීත්‍යානුකූලව නොවේ. ඔවුන් අඹු සැමියන් ලෙස වසර කිහිපයක්‌ එකට ජීවත්වීමෙන් පසුව වයස සම්පූර්ණ වූවිට සිය විවාහය ලියාපදිංචි කරනු ඇත. එම කාලයේදී තරුණිය ගැබ් ගැනීමේ අවදානමකට හේතුවකි. එවැනි අවස්‌ථාවල සිදුවන්නේ රහසිගතව ගබ්සා කිරීමට යොමු වීමයි. නිසි සෞඛ්‍යාරක්‌ෂිත ක්‍රමවේදයකින් තොරව ගබ්සාවක්‌ සිදු කිරීමට යැමේදී අනතුරට පත්වූ කාන්තාවන් පිළිබඳ තොරතුරු ඕනෑ තරම් ඇත. එපමණක්‌ නොව එවැනි ගබ්සා කිරීම්වලදී කාන්තාවන් මියගිය අවස්‌ථා ද ඇත. ඇතැම් කාන්තාවන් අධික රුධිර වහනයට ගොදුරුවීමෙන් අතුරු ආබාධවලටත්, ඇතැම් විට මරණයටත් පත් වනු ඇත. එපමණක්‌ නොව දරු ගැබක්‌ පණපිටින් විනාශ කර දැමීම පරපණ නැසීමකි. එය මිනිස්‌ ඝාතනයකි. ඊට නීතියෙන් සමාවක්‌ නැති අතර ආධ්‍යාත්මිකව ද නිදහසක්‌ නැත. තමා ගේ කුසේ පිළිසිඳගෙන සිටින සුරතල් දරු පැටවකු තමා විසින්ම මරා දැමීමට කටයුතු යෙදීම ඔවුන්ගේ සිතට කෙතරම් ෙ€දනීය අත්දැකීමක්‌ වන්නේද? එම දරුවා උපදින්නේ නම් සුරතල් බලමින් සතුටු වීමට හැකි දැයි මේ බාල වයස්‌කාර අසරණ මව් පියවරු සිතින් දුක්‌වින්ද වාර ගණන අනන්ත විය හැක. එහෙත් අඩු වයසින් දරුවකු උත්පාදනය කිරීමට ගොස්‌ නීතියේ රැහැනට හසුවන්නේ වැරදි දෙක තුනකට බව දැනගත් වහාම දරු ගැබ නසනවා හැරෙන්නට ඔවුන්ට වෙන විකල්පයක්‌ නැත. නීතියෙන් විවාහවීමට වයස අවුරුදු 18 සපුරාලිය යුතු අතර දරු උපතක්‌ සඳහාද එතෙක්‌ බලා සිටීම නීතියෙන් අනිවාර්ය කර ඇත.

අපේ රටේ වතු හිමියන් තම දේපළ පිටස්‌තරයන්ට අයිති වේ යෑයි බියෙන් තම දරුවන් අඩු වයසින් සරණ පාවා දෙන අවස්‌ථා ග්‍රාමීයව පමණක්‌ නොව අර්ධ නාගරීකවද පවතී. වැඩිහිටි පාර්ශ්වවල අකමැත්ත හා ආශිර්වාදය ඇති නමුත්, තරුණ යුවළද කැමැති නමුත් වයස සම්පූර්ණ නැත්නම් විවාහවීම තහනම්ය. ඇතැම් විට වයස සම්පූර්ණවෙද්දී එම තරුණ තරුණියන්ගේ කැමැත්ත හා තීරණ වෙනස්‌ වීමට බොහෝ ඉඩකඩ ඇත. යම් හේතුවකින් එවැනි කාලයක තමා අතීතයේ ගන්නට යෙදුණු තීරණය එලෙස ක්‍රියාත්මක කළේ නම් යහපතක්‌ නොවේ යෑයි පසු කාලයකදී ජීවිතය දෙස ආපසු හැරීමෙන් තහවුරු වේ නම් වයස අවුරුදු 18 තෙක්‌ තීරණ ගැනීමට තරුණ තරුණියන්ට නීතියෙන් ඉඩ නොදීම සාධාරණ වේ. අඩු වයසේදී විවාහ වී දරුවන් හදා වඩාගෙන ජීවිතයේ යම් අවදියකට පැමිණි පසු ඔවුන් කළ කී දෑ පිළිබඳ පසු තැවෙනු ඇත. මීට වඩා ඉගෙන ගන්න තිබුණා. විශ්වවිද්‍යාලයට යන්න තිබුණා හොඳ රැකියාවක්‌ කරන්න තිබුණා වැනි දෑ ඔවුන්ට සිතෙන්නට පුළුවන.

මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ වයස අවුරුදු 15 යනු තනිව තීරණ ගත හැකි වයසක්‌ නොවන බවයි. ඔවුන් ළමයින් ලෙස සැලකෙන්නේ එබැවිනි. එම වයස්‌වල තරුණ තරුණියන්ගේ ශරීරය පවා දරු ප්‍රසූතියක්‌ සඳහා පූර්ණ තත්ත්වයට පත්ව නැති බව වෛද්‍යවරුන්ගේ ද අදහසයි. පවුල් ප්‍රශ්නයකදී බුද්ධිමත්ව සිතා කටයුතු කිරීමට තරම් වයස අවුරුදු 15 ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙන මනෝ වෛද්‍යවරු අඩු වයස්‌ විවාහ අර්බුදකාරී තත්ත්වයන් පසුකාලීනව පවුල් ඒකකවල ඇතිකරවීමට හේතුවන බව ද පෙන්වා දෙයි. එහෙත් එවැනි අය අතර බුද්ධිමත් හා සාර්ථක පවුල් ජීවිත ගත කරන අය සිටින බව ද ඔවුහු උදාහරණ සහිතව පෙන්වා දෙති.

ශ්‍රී ලාංකික ගැමි සමාජයේ අතීත විවාහයන් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ ඔවුන් බහුතරයක්‌ නීතියෙන් විවාහ වූ අය නොවන බවයි. එසේම අඩු වයසින් විවාහ වී දරුවන් දහයක්‌, දොළහක්‌ හදාවඩාගෙන ඔවුහු සතුටින් ජීවත්වූහ. කෘෂිකාර්මික ආර්ථිකයකින් සංවර්ධනය වී තිබූ ශ්‍රී ලංකාව අතීත පවුල් ක්‍රමයෙන් වඩ වඩාත් ශක්‌තිමත් විය. ගමේ කුඹුර අස්‌වද්දන්නට පවුල් දෙක තුනක්‌ එක්‌වුවත් ප්‍රමාණවත් විය. ඔවුන්ට කුසගින්දර තිබුණේ නැත. මුළු රටටම පමණක්‌ නොව විදේශීය රටවලටද සහල් යවන්නට තරම් අපේ ගැමි ගොවි පවුල ශක්‌ති සම්පන්න විය. එහෙත් එම පවුල් ක්‍රමය ක්‍රම ක්‍රමයෙන් බටහිර සමාජීය බලපෑම් හේතුවෙන් විනාශ වන්නට වූයෙන් එක පවුලක දරුවන් ගණන දෙදෙනකුට සීමා විය. පවුල් සැලසුම් ක්‍රම හඳුන්වා දීමෙන් පසු එසේ දරුවන් සීමාවූ අතර ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකය බිඳ වැටෙන්නට පටන් ගැණිනි. ගැමි ගැහැනිය රැකියාවක්‌ සොයා නගරයට සංක්‍රමණය වීමෙන් සිංහල ගැමි සංස්‌කෘතික පවුල් සංස්‌ථාව බිඳ වැටිණි. එදා එක පවුලක දරුවන් දහ දොළහක්‌ සිටියත් ඔවුන් රැකබලා ගැනීමට මෙහෙකරුවන් සෙවීමට අවශ්‍ය වූයේ නැත. ඥාති පවුල් අසල්වැසියන් වූ අතර එක පවුලේ වැඩිහිටි මව් පිය ඥාතීන් ඔවුනොවුන්ගේ දරුවන් රැක බලා ගැනීමේ කාර්යය නිරුත්සාහිකව සිදු කළහ. එක්‌ පිරිසක්‌ කුඹුරට යන්නේ නම් තවත් වැඩිහිටි කිහිප දෙනෙක්‌ දරුවන් බලාගෙන නිවසේ සිටි අතර වැඩිහිටි දරුවන් ද තම බාල වයසේ සහෝදර සහෝදරියන් රැක බලා ගන්නට උත්සුක විය. ස්‌වයංපෝෂිත රටවැසියා බහුජාතික සමාගම්වල අතකොලුවක්‌ බවට පත්වෙමින් මාස්‌ පඩියට යෑපෙන පිරිසක්‌ බවට පත්වීමත් සමඟ ඒ සියල්ල නැවතිණි. අතීතයේ දහයක්‌, දොළහක්‌ සාමාජිකයන් සතුටින්, සමාදානයෙන් තුන්වේල කුස පුරවා ගත්තද සාමාජිකයින් දෙතුන් දෙනකුට යන්තම් කුස පුරවා ගැනීමට තරම්වත් වර්තමානයේ ඇතැම් සේවක සේවිකාවන්ගේ වැටුප ප්‍රමාණවත් නැත. වංචා, සොරකම් රට පුරා පැතිර යන්නේ මේ නිසාය.

අතීත වහල් සමාජය මේ රටෙන් තුරන් කර දැමූවද අදටත් සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් බහු ජාතික සමාගම්වල වහලුන් ලෙස ජීවත්වන බව සිහි ගැන්විය යුතුය. මේ රට ගොඩනගන්නට නම් අපේ යමක්‌ නිෂ්පාදනය විය යුතුමය. කිසිවෙකුටත් යටත් නොවී ජීවත්වීමට නම් කෘෂිකාර්මික ජීවන රටාව යළි මේ රටේ ගොඩනැංවිය යුතුය. පුරන් කුඹුරු අස්‌වද්දන්නට ශ්‍රී ලාංකික පවුල් ඒකක යළිත් පරිවර්තනය විය යුතුය. එහිදී වයස අවුරුදු 18 සීමාවත්, පවුල් සැලසුම් ක්‍රමත් පිළිබඳව අලුතෙන් නීති රීති සම්පාදනය විය යුතු අතර තිබෙන නීති සංශෝධනය විය යුතුය.

ගැමි සමාජයේ නූගත්කම ද අඩු වයස්‌ විවාහ, ගැබ් ගැනීම්, ගබ්සා කිරීම් ආදියට හේතුවකි. වයස අවුරුදු 15 යනු පාසල් අධ්‍යාපනය ලැබිය යුතු වයසකි. එනම් සාමාන්‍ය පෙළ විභාග අවදියයි. ග්‍රාමීය ජනතාවට නිසි අධ්‍යාපනයක්‌ ලබාදීම, ග්‍රාමීය පාසල්වල පහසුකම් නංවාලීම අත්‍යවශ්‍ය කාරණාවකි. නගරයේ පාසලවලට පැමිණීමට තරම් එම දරුවන්ට පහසුකම් නැත. එබැවින් ඉතා අඩු වයසින් විවාහ ජීවිතයට ඇතුළත් වීමට ඔවුන්ට සිදුවේ. දෙමව්පියන්ට ද එම දරුවන්ගේ වියදම් දිගින් දිගටම දැරීමට තරම් මේ රටේ ගැමි ආර්ථිකය අද වනවිට ශක්‌තිමත් නැත. ගොවි ජනතාවගේ අසාධාරණ කම් දිනෙන් දින ඉහළ යමින් පැවතීම ඊට හේතුවකි. එබැවින් ගැමි ආර්ථිකය ශක්‌තිමත් කිරීම, ගැමි තරුණ තරුණියන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම, ග්‍රාමීය ජනතාව දැනුවත් කිරීමේ උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කාරණා වේ. එවිට වයස අවුරුදු 18 නොව එම දරුවන් තම තමන්ගේ ආර්ථික, සමාජීය, අධ්‍යාපනික පසුබිම තමා විසින්ම ගොඩනංවා ගැනීමෙන් පසු තමාට සුදුසු විවාහයන් බුද්ධිමය අවබෝධයකින් යුතුව සිදුකරගනු ඇත. විය යුතු වන්නේ එය මිස නීති රීති පනවමින් ඔවුන්ගේ ජීවිත අනතුරේ දැමීම හෝ නොමඟ යෑවීම හෝ නොවේ. නීතියට කළ නොහැකි බොහෝ දේ බුද්ධිමත් සමාජයත්, බුද්ධිමත් ජන පිරිසත් බිහි කිරීමෙන් සිදු කළ හැකිය. නගරයට සීමාවී ඇති අධ්‍යාපන හා අධ්‍යාපනික පහසුකම් මෙන්ම සමාජයීය ආර්ථික සංවර්ධනය ගමටද ව්‍යාප්ත කිරීමෙන් අර්බුද රැසකට විසඳුම් ඒ හරහා ගොඩනැංවෙනු ඇත.

තුෂාරී කළුබෝවිල

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.