කුමක්‌ද හරි?

රජය හා දෙමළ ජාතික සන්ධානය විසින්, දෙමළ ජනතාව මුහුණදී සිsටින ප්‍රශ්නවලට විසඳුමක්‌ ලබාගැනීම සඳහා ආරම්භ කරන ලද සාකච්ඡා බිඳවැටීම පිළිබඳව ඉකුත් සතියේදීත් අපි සඳහන් කළෙමු. අදත් අපට ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට සිදුවී තිබේ. විශේෂයෙන් පසුගිය දිනවල මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රකාශ වූ අදහස්‌ මෙන්ම තමිල්නාඩුවේ උද්ගත වූ යම් යම් අවාසනාවන්ත සිදුවීම් ද එයට හේතු වී තිබේ.

ඇත්තවශයෙන්ම මෙම ගැටලුව සම්බන්ධයෙන් විසඳුමක්‌ සොයාගැනීමේ ප්‍රමුඛ පාර්ශ්ව වන්නේ ද රජය හා දෙමළ ජාතික සන්ධානය බව අපිදු බොහෝ විට මෙම තීරුවෙහි සඳහන් කර ඇත්තෙමු. එසේම මේ සඳහා එ.ජා.ප.ය ප්‍රමුඛ සියලුම දේශපාලන සංවිධානවල සහයෝගය ද අනිවාර්ය බව අපගේ ස්‌ථාවරයයි. වෙනත් ස්‌වෙච්ඡා සංවිධානවලට ද මෙහිදී දායකත්වයක්‌ ලබා දීමේ වරදක්‌ නැත.

කෙසේ හෝ මේ ප්‍රශ්නයේ බරපතළ විපත ලෙස ව්‍යාප්තව තිබුණු එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජය කර දෙවසරකටත් වැඩි කලක්‌ ගතවුවද රජය මෙම ප්‍රශ්නයට විසඳුමක්‌ ලබාදීමට උනන්දු වී නැති බව දෙමළ සන්ධානයේ එක්‌ චෝදනාවකි. අද අප පත්‍රයෙහිම පළවන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ අදහස්‌ දැක්‌වීමක තවත් විවේචන ද ඉදිරිපත් කර තිබේ.

(එම ලිපිය විශේෂාංග කොටසේ පළකර ඇත.)

සම්බන්ධන් මහතාගේ ඇතැම් විවේචනවල සාධාරණ පදනමක්‌ ද පෙනේ. එහෙත් ඒවාට පිළිතුරු දිය යුත්තේ අප නොව රජයයි. ඇත්ත වශයෙන්ම ඔහුගේ මෙම විවේචන හා අදහස්‌ රජයට ද ප්‍රයෝජනවත් විය හැකි බව අපි හඟිමු. සිංහල අන්තවාදය මෙන්ම දෙමළ අන්තවාදය ද මේ රටට සිදුකළ හානිය හා විපත අපි කවුරුත් දනිමු. සම්බන්ධන් මහතා සඳහන් කරන පරිදිම ඒ අමිහිරි මතක ඇවිස්‌සීම නිෂ්ඵල දෙයකි. කවුරුත් බුද්ධිමත්ව හා වගකීමෙන් ක්‍රියා කළ යුතුය යන ඔහුගේ අදහස ද ඉතා නිවැරැදිය.

තිස්‌ වසරක ත්‍රස්‌තවාදයක්‌ පරාජය කිරීම දක්‌වා වූ බරපතළ කාර්යභාරයකදී සිදුවිය හැකි දේවල් පිළිබඳව ද අප බුද්ධිමත්ව හා උපේක්‍ෂාවෙන් බැලිය යුතුය. තවමත් දෙමළ ජන ජීවිතවලට සතුට හා සංහිඳියාව එළැඹ නැති බව අප පිළිගත යුතුය. එහෙත් දෙමළ ජනතාවගේ යහපත සඳහා රජය ක්‍රියා කළ බවත්, ක්‍රියා කරන බවත් අප පිළිගත යුතුය. ඇතැම් විට එහිදී දේශපාලන අරමුණු මෙන්ම දෙමළ ජනතා කැමැත්තට පටහැනි දේවල් ද සිදු වී තිබිය හැකිය. ඒවා නිවැරැදි කර ගත හැකිය.

උතුරේ ජනතාව දෙමළ සන්ධානය පිළිබඳව දරන ආකල්පය ඉතා ස්‌වාභාවිකය. එහෙත් දසක තුනකට අධිකව එකිනෙකා දෙස සැකමුසුව බැලූ ජන කොටස්‌ අතර තවමත් මිත්‍රශීලී හැඟීමක්‌ ඇති නොවූයේ ඇයි? යන ප්‍රශ්නයට රජය මෙන්ම දෙමළ සන්ධානය ද පිළිතුරු සොයාගත යුතුය. ජාතික ගැටලුවක්‌ බවට පත්ව තිබෙන ජාත්‍යන්තරයේ ද අවධානය යොමුව තිබෙන මෙම ප්‍රශ්නය සුහදව විස¹ ගැනීම සඳහා වුවමනා මූලික එක්‌ දෙයක්‌ නම් සිංහල දෙමළ අෙන්‍යාන්‍ය විශ්වාසය හා සුහදතාව බව අමුතුවෙන් කිව යුතු නැත.

දෙමළ සන්ධාන නායකයන් පවා තවමත් දුවන්නේ ඉන්දියාවටය. තමිල්නාඩුව තවමත් ලංකාව දෙස බලන්නේ සතුරු ආකල්පයකින්ය. නොබෝදා එහි ඇති වූ සිද්ධීන් පිළිබඳව වුවද දෙමළ සන්ධානය ප්‍රසිද්ධ ප්‍රකාශයක්‌ කළ යුතුව තිබිණි. එබඳු ක්‍රියා ශ්‍රී ලංකාවේ සිංහල - දෙමළ සමගිය බිඳවැටීමට හේතුවන බව ඔවුන්ගෙන් ප්‍රකාශ වූවා නම් කොපමණ අගේද?

මෙම අර්බුදය විස¹ ගැනීමේදී ඔවුන් කිසිසේත් ශ්‍රී ලංකාව බෙදා වෙන්කිරීමේ දුෂ්ට අරමුණු ඇතිව ක්‍රියා කරන කොටස්‌ සමඟ සම්බන්ධ විය යුතු නැත. ශ්‍රී ලංකාව දෙස උඩින් සිට බලන විදේශගතව සිටින දෙමළ ජන කොටස්‌ ද මේ ප්‍රශ්නයට විසඳුමක්‌ ලැබීම නොඉවසන්නෝය. මේ අය අතර යාපනයට කිසි දිනක පය තබාවත් නොමැති අය ද සිටිති.

දෙමළ සන්ධානය ඒ සියලු යථාර්ථයන් වටහාගත යුතු අතර ශ්‍රී ලංකාවේ තත්ත්වය ද පසුබිම ද හඳුනාගෙන මෙම ප්‍රශ්නය විස¹ ගැනීම වඩාත් උචිත හා නිවැරැදි දේ බව ද අපගේ අදහසයි. මේ සංවේදී ප්‍රශ්නයේදී සිංහල හා දෙමළ දෙපක්‍ෂයම දිනාගත යුතුමය.

බලය බෙදීම යනුවෙන් අප මත පටවා තිබෙන සංකල්පයට යටවීම වෙනුවට එහි අරමුණ, එයින් ලැබෙන ප්‍රතිලාභ, රටේ ස්‌ථාවරත්වය වැනි කරුණු ඉතා සියුම්ව ද පුළුල්ව ද විමසා බැලිය යුතුය.

මෙහිදී අප දකින දෙයක්‌ ද ඇත. ඒ කවුද හරි නොව කුමක්‌ද හරි යන්නයි. දෙමළ ජනතාවගේ හදවත තේරුම් ගැනීමත් ඔවුන්ගේ ජාතික මෙන්ම සංස්‌කෘතික අනන්‍යතාව සුරැකීමත් මේ විසඳුමේ කාර්ය බවට පත්විය යුතුය.

දෙපිරිසක්‌ හෝ ඊට වඩා පිරිස්‌ වුවද එකව සාකච්ඡා කළ යුත්තේ ඉතා විවෘත මනසකින්ය. විශ්වාසයකින් හා හෘදයාංගම භාවයකින් තොරව එකිනෙකා වෙතට චෝදනා එල්ල කරමින් මේ සාකච්ඡා ගෙන යා නොහැක. එනිසා මේ දෙපක්‍ෂයම තම උරමත තිබෙන ජාතික වගකීම හා ඒ අහිංසක ජනතාවගේ ඉරණම පිළිබඳව ද මීට වඩා අවධානයකින් ක්‍රියා කළ යුතුය.

මේ රටේ දේශපාලන බල අරගලයේදී මුදා හැරෙන වර්ගවාදයේ විසත් ඒ විස බීජත් දැන් විනාශ කළ යුතුය. අවාසනාවකට මෙන් තවමත් ඇතැම් සිංහල හා ඇතැම් දෙමළ නායකයෝ ද ඒ යථාර්ථය පසක්‌ කරගෙන නො සිටිති. එසේම දෙමළ ජනතාව පෙන්වා සිය ගුප්ත දේශපාලන අරමුණු දිනාගැනීමට ද සමහරු වෑයම් කරති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.