ජාතික උරුමයන් මෙහෙමද සුරකින්නේ

පුලතිසි බිමේ දෑ උරුමය වැනසීම යනු අමිහිරි ආරංචි නමුදු එය කිසිසේත්ම අරුම නොවෙත්. හෝරා කිහිපයකට මත්තෙන් සිදුකළ ආසන්නතම විනාශය මහා පැරකුම්බාවන්ගේ වසන්ත මාලිගය ලෙසින් සැළකෙන සීත මාලිගය ගිනි ලෑමය.

පොලොන්නරුවේ රජකම් කළ ශ්‍රේෂ්ඨ නරපතියෙකු වූ මහා පරාක්‍රම බාහු රජතුමාගේ අලංකෘත රාජ මාලිගයන් අතුරින් මෙම සීත මාලිගයටද හිමිවන්නේ අද්විතීය ස්‌ථානයෙකි.

වත්මනෙහි අගනා පුරාවිද්‍යා ස්‌මාරකයක්‌ මත එය පිහිටා තිබෙන්නේ පොලොන්නරුවේ පුරාවිද්‍යා කාර්යාලය අබිමුවෙහිය.

පරාක්‍රම සමුද්‍රයේ මධ්‍යයෙහි දූපතක තැනූ රාජ මාලිගයෙහි අවශේෂයන් සහිත පරිසරයට ගිනිලා තිබෙන්නේ මහ දවල්ය. දෙනෝදාහක්‌ ජනී ජනයාගේ ඇස ගැටෙන මායිමේ පිහිටි උත්තුංග පුරාවිදු ස්‌මාරක, ප්‍රෙෘඪ ඉතිහාසයෙක ජීවමාන සාක්‍ෂි, සාධක මෙසේ නරුම ලෙසින් වැනසෙන්නේ ජාතියේ අවාසනාවකටය.

පොලොන්නරු රාජධානියේ රජකම් කළ මහා නර විරුවන් විසින් කැරවූ ඉපැරණි දාගැබ්, වෙහෙර විහාර, පිළිම ගෙවල්, මලසුන් වැනසූ නරුමයින් ලෙස ඉතිහාසයෙහි සඳහන් වනුයේ කාලිංග, මාඝ ආදීහුය. ඉන් පසුව බටහිර ජාතීන්ය. දැනුදු උන්ගේ පරපුරේ වැනියවුන් මෙහි රජකම් කරති. කිසිදු හිරිකිතයක්‌, බයක්‌ සැකක්‌ නැතිව බෞද්ධ උරුමයන් මෙන්ම පුරා විදු උරුමයන්ද තරගයට වනසති. රටේ අන් පෙදෙස්‌ හා සසඳන කල්හී පොලොන්නරුව ඉදිරියෙනි.

ලක්‌දිව දීර්ඝ රාජාවලියේ ශ්‍රේෂ්ඨතම රජු වශයෙන් සැළකෙනුයේ මහා පරාක්‍රමබාහු රජතුමන්ය. එම මහා නරපතියා විසින් මෙරටෙහි ආගමික, සමාජයීය, ආර්ථික දියුණුව උදෙසා ඉටුකළ උදාර සේවාව අන් කිසිදු රජ කෙනෙකුට දෙවෙනි නොවේ. ශ්‍රී සම්බුද්ධ ශාසනයෙහි අභිවෘද්ධිය මෙන්ම රටේ ආර්ථික දියුණුවද මහත් ඉහළින්ම පැවැති බවට ජීවමාන බඳුවූ සාක්‍ෂි අදටද අපමණය. එවන් ශ්‍රේෂ්ඨ පාලකයෙකු දිනූ බිමෙහි අපද ජනිතවීම අපට සෑම අතින්ම අභිමානයක්‌ යෑයි සලකන්නට පුරුදු නොවීම අවාසනාවෙකි. ප්‍රෙෘඪ ඉතිහාසයෙකට අපට උරුමකම් කියන්නට මං පෙත් තැනූ මහා නර විරුවන්ගේ විස්‌මිත නිමැවුම්හි අවසෙස්‌ මෙලෙස නූතන පරපුරේ උන්ගේ දැතින් නරුම ලෙස වැනසෙන්නේ එම අවාසනාවේ ප්‍රතිඵලයක්‌ ලෙසින් මිස අන් කරුණක්‌ නිසා නොවේ.

පොලොන්නරු රාජධානියේ ප්‍රෙෘඪත්වය, අලංකාරය, අභිවෘද්ධිය මේ ආදී සියල්ලට මුල් වූයේ මහා විජයබා, පැරකුම්බා, නිශ්ශංක මල්ල වැනි රජ දරුවන් ඒ වෙනුවෙන් දක්‌වන ලද මාහැඟි උනන්දුව, රාජ අනුග්‍රහය නිසාම රහසක්‌ නොවේ.

බෞද්ධ ආගමික ගොඩනැඟිලි මෙන්ම රජුගේ රාජ මාලිගා ඇතුළු ලෞකික ගොඩනැඟිලි, උයන්වතු ආදියද මනපිනවන අලංකෘත අයුරින් නිර්මාණය කෙරුණේ එහෙයිනි. මහා පැරකුම්බාවන්ගේ රාජ්‍ය පාලන යුගය පිළිබඳව හැදැරීමේදී මතුයෙහි සඳහන් විෂයෙහිද එතුමන් අංක එකේ ශ්‍රේෂ්ඨත්වයට පත්වූ බව සැබෑවකි. ඉතිහාසය දෙස එබී බලන්නෙකුට ඉමහත් ආඩම්බරයක්‌, අභිමානයක්‌ නිතැතින්ම සිතට නැගෙනුයේ එහෙයිනි.

එහෙත් පුලතිසි බිමේ අද වනවිට මේ ප්‍රෙෘඪත්වයේ ජීවමාන සාක්‌කිකරුවන් ළතෝනි දෙමින් හිඳිනුයේ අප්‍රමාණ විනාශයන් හමුවේය. අප ඉහතින්ද සඳහන් කළ ලෙසින් මහා පරාක්‍රමබාහු මහ රජතුමන්ගේ වසන්ත මාලිගය ලෙසින් හඳුන්වන සීත මාලිගයට ගිනිලෑම ආසන්නයේම සිදු කෙරුණු විනාශයයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ කෙරුමන් උදේ හවා ගැවසෙන එහි තිබෙන ප්‍රධානතම කාර්යාලයට නුදුරේ මෙම උරුම විනාශය සිදුව තිබේ. එහෙත් එය එතරම් මනස්‌තාපයට හේතුනොවන්නේ මීට පෙර බොහෝ අවස්‌ථාවල මෙම පුරාවිදු කන්තෝරුව ඉදිරිපිට පුරා වස්‌තු ස්‌මාරක විනාශයන් සිදුවීමයි.

එහෙත් විමතියට කාරණය වනුයේ එකී කිසිදු සාපරාධී ක්‍රියාවෙක වග උත්තරකරුවකු මේ වනතෙක්‌ නීතිය හමුවට නොපැමිණවීමය.

පොලොන්නරුවේ බෞද්ධ ස්‌මාරක, පුරා විදු උරුමයන් නරුම ලෙසින් වනසනුයේ වාර්තාගත ලෙසින් බැව් අප බොහෝ අවස්‌ථාවන්හිදී සඳහන් කොට ඇත්තෙමු.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් කිසිදු බලධරයකු මේ විනාශයන් පිළිබඳ සැබෑ අවධානයක්‌ යොමුකළ බවක්‌ මෙතෙක්‌ පෙනෙන්නට නැති බව මෙහිදී කණගාටුවෙන් වුවද කිව යුතුය.

පසුගිය දිනෙක ගිනි තබා වැනසූ මහා පැරකුම්බාවන්ගේ සීත මාලිගය තරමටම අපට උරුම පුරා වස්‌තුවෙකි මහා පැරකුම් රජ දවස කැරවූ ඉපැරණි නගර බැම්ම හෙවත් නගර ප්‍රාකාරය. එය හිත් පිත් නැති නරුමයින් පිරිසක්‌ මහ දවල් බැකෝ යන්ත්‍ර දමා සුණු විසුණු කර දැමුණේ මීට දෙවසරකට පමණ පෙරය. අප පිටුපුරා ලිපිද, කතුවැකිද වරින් වර ලියා ඇත්තෙමු. විනාශයේ තරම මෙන්ම උරුමයේ අගයද කෙතෙකුත් පෙන්වා දුන්නද එම හානිය ඉදිරියේ පුරාවිදු අණපනත් නීති රීති ක්‍රියාත්මක වූයේ නැත. අඩුම තරමින් බැකෝ යන්ත්‍රයෙන් කැට කැබිලිතිවී ගිය මහ පැරකුම්බාවන්ගේ නගර ප්‍රාකාරයේ සංරක්‍ෂණ කටයුත්තක්‌ සඳහාවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානයක්‌ මෙතෙක්‌ යොමුවී නැත. පොලොන්නරුවේ පුරාවිද්‍යා උරුමයන් හිත් පිත් නැති ලෙසින් වනසනු ලබන්නේ පාතාලයින්, බේබද්දන්, සල්ලාලයින් පමණක්‌ නොවේ. රාජ්‍ය අනුග්‍රහය සමඟින්ද එය සිදුවන බව මෙහිදී පෙන්වාදිය යුතුය. පොලොන්නරු පුදබිමේ මේ වනවිට සංරක්‍ෂණය මුවාවෙන් සිදු කෙරෙන නවීකරණ කටයුතුද එක්‌තරා අන්දමක පුරාවස්‌තු විනාශයකි. ඓතිහාසික කිරි වෙහෙරේ සංරක්‍ෂණ කටයුතු පුරාවිදු නියමයන් අනුව කළයුතු බව අප නොයෙක්‌ විට පෙන්වාදී ඇත්තෙමු. එහෙත් දැන් එහි සිදු කෙරෙනුයේ නවීකරණයෙකි. නුදුරු අනාගතයේදී අපට ඉපැරණි කිරි වෙහෙරක්‌ තබා එහි බදාම පතුරක්‌ වත් දකින්නට නොලැබෙනු ඇත. සංස්‌කෘතික ත්‍රිකෝණ බලධරයින්ගේ මග පෙන්වීම්, උපදෙස්‌ මත පමණක්‌ කිරි වෙහෙරේ නවීකරණ කටයුතු සිදුවෙද්දී පුරාවිද්‍යා බළධරයින් නිකං බලා සිටින බව කණගාටුවෙන් වුවද කිව යුතුය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිය වගකීමෙන් කරඇර අයාලේ යන්නට ඉඩ හැර තිබෙන පුරාවිද්‍යා ස්‌මාරක, මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් තැන්ද පොලොන්නරුවේ එමට තිබේ.

කඳුරුවෙල, මානික්‌කම්පට්‌ටයේ තිබෙන මැණික්‌ වෙහෙර ඉන් එකකි. එම ඉපැරණි දාගැබ කඩා විනාශ කරමින් එහි අවට පදිංචිකරුවෝ තරගයට එහි නිවාස තනන බව නොරහසකි. පොලොන්නරුවේ 28 කණුවේ පොදු සුසාන භූමිය ඉදිරිපිට සහ ඒ අවට පුරාවස්‌තු වලටද සිදුවන්නේ එම සන්තෑසියම බව අප කොතෙකුත් පෙන්වාදී ඇත්තෙමු. මහා පරාක්‍රමබාහු රජතුමන්ගේ රාජධානියෙහි විශිෂ්ට නිර්මාණයක්‌වූ පොකුණු සහ උයන් අතුරින් ඉහළින් ලා ගැණෙන දීප උයනටද අද අත්ව ඇත්තේ හෙනහුරු දසාවකි. ඊනියා සංවර්ධනයේ "කොන්තරාත්" නිම්වළලු පුළුල්වී විශිෂ්ට පුරා විදු ස්‌මාරක මත සුද්දන්ට වැසිකිලි පද්ධති තනන තැනට අපේ උරුමය පාගා දමා තිබේ. මෙම සියලු දුක්‌මුසු තත්ත්වයන්ට මුල මෙරට කීර්තිමත් ඉතිහාසයක්‌ තිබෙන ඉතා බලසම්පන්න රාජ්‍ය ආයතනයක්‌වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නූතනයේ නීති - රීති - අණ පනත් ක්‍රියාත්මක කිරීමේදී දක්‌වන උදාසීනත්වය බව පැහැදිළිය. පොලොන්නරුවේ තිබෙන අමිල පුරාවිදු ස්‌මාරක, ඓතිහාසික උරුමයන් මහ දවල් වනසන්නට බොහෝ විනාශකාරී අමනයින්ට යටිතල පහසුකම් සැලසී තිබෙනුයේ මේ නිසාමය.


කරුණාරත්න ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.