රජයේ දේපළ උලා කෑම

බීමත් වූ දුම්රිය සේවක පිරිසක්‌ කොළඹ මරදානේ දුම්රිය පළේ ජනෙල් වීදුරු කඩා දමන ලදැයි කියන පුවතක්‌ ඊයේ (19 දා) දිවයිනේ සිව් දෙස අතිරේකයේ පළවී තිබේ. පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මේ නාස්‌තිකාරයන් පිළිබඳ තීන්දුව අධිකරණය විසින් ගනු ලබනවා ඇත. ඔවුන් ඇත්තටම මේ වරද කළේ නම් ඔවුන් දඟ ගෙට යනු දැක්‌ම අපගේ ප්‍රාර්ථනයයි.

රජයේ දේපළ යනු කාටවත් අයිති නැති දේපළ බවට පොදු මතයක්‌ මේ රටේ තිබේ. රජයේ ලයිට්‌ එක, රජයේ වතුර පයිප්පය යනාදිය කිසිදු සීමාවකින් තොරව ප්‍රයෝජනයට ගැනීමත් එය ප්‍රයෝජනයට ගැනීමෙන් පසු නාස්‌ති කිරීමටත්, අත්හැර දැමීමටත් ජනයා පුරුදු වී සිටිති. රජයේ කන්තෝරුවේ විදුලි පංකාව පැය 24 පුරාම කැරකුනත් කාටවත් වගේ වගක්‌ නැත. එය කන්තෝරුව විවෘත කර තබන කාලය පුරාත් කැරකෙයි. කන්තෝරුව වසා තබන රාත්‍රි කාලය පුරාත් කැරකෙයි. එමතුදු නොව අක්‍රිය කිරීමට අමතක වීම නිසා සෙනසුරාදා, ඉරිදා මෙන්ම ඇතැම් විට පෝයදා ද රජයේ ඇතැම් කන්තෝරුවල ෆෑන් කැරකෙයි. ලයිට්‌ පත්තු වෙයි. කරාමය කැඩුණු විට ආපසු හැදීමක්‌ නැති බැවින් දිය ඇල්ලක්‌ ගලන්නාක්‌ මෙන් විසිහතර පැය පුරාම වතුර ගලා යයි.

ලංගම බසයක ගමනක්‌ යන නාස්‌තිකාර තරුණයකු හෝ හොඳ හැදියාවකට හුරු නොකෙරුණ පාසල් ශිෂ්‍යයකු ඉදිරි ආසනයේ පසු පස කටුවකින් කුණුහරුපයක්‌ ලියයි. කුරුටු ගායි. නැතහොත් ගැහැනියකගේ හා පිරිමියකුගේ නම කොටා මැදින් එකතු කිරීමේ ලකුණක්‌ යොදයි. වල් රූපයක්‌ අඳී. එතැනින් නොනැවතෙන හේ ආසනයෙහි ඇති ස්‌පොන්ඡ් කැබැල්ලක්‌ කඩාගෙන මග යනෙන අයට ඉන් පහර දෙයි. දුම්රියේ තත්ත්වය මෙයට භයානකය. දුම්රිය මැදිරිවල විදුලි පංකා හා විදුලි පහන් තිබේ. එහෙත් අලුත් දුම්රිය පෙට්‌ටියක්‌ පීලි ගත කොට දෙසතියක්‌ යැමට මත්තෙන් ඒවා අතුරුදන් වෙයි. සමහරුන් කියන්නේ මේවා මගීන් ගලවාගෙන යන බවයි. තවත් සමහරුන් කියන්නේ දුම්රිය අංගනවල සිටින ඇතැම් චෞර සේවකයන් මේවා ගලවන බවයි. මෙය අභියෝග කළ නොහැකි චෝදනාවයි. මේ රටේ (ඇතැම්) මගීන් කෙරෙහි විශ්වාසයක්‌ තැබිය නොහැකිය. එසේම (ඇතැම්) රජයේ සේවකයන් කෙරෙහිද විශ්වාසයක්‌ තැබිය නොහැකිය. ශ්‍රී ලංකාව යනු සුළු පටු මිනිසුන් සිටින රටක්‌ නොවේ. සොරකම රැකියාව වූ, බොරු කීම විනෝදාංශය වූ ජනයා අප අතර එමට සිටිති. එවැනි රටක රජයේ දේපළ කඩා වඩා ගැනීම නැවැත්වීම ඉතා අසීරුය. අපි මෙබඳු කතාවක්‌ ඇසීමු. පිටරටවල ඇවිදිමින් ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටින ලාංකික මහතෙක්‌ පසුගිය ශත වර්ෂයේ විසීය. මේ මහතා වරක්‌ ප්‍රංශයේ අයිෆල් කුලුණ පරණ යකඩ වෙළෙන්දකුට විකිණීමට සැලසුමක්‌ කළේය. අයිෆල් කුලුණ ජාතික වස්‌තුවක්‌ නිසා එය විකුණන බව ආරංචි වූ විට ප්‍රංශයේ ජනයා කුපිත විය හැකි හෙයින් ව්‍යාපාරය රහසිගතව කරමුයි කිවූ හේ යකඩ මුදලාලිගෙන් අත්තිකාරමක්‌ ගෙන අතුරුදන් වීලු·

මරදානේ දුම්රිය අංගනයේ ජනෙල් බිඳ දැමූ සේවක කැළ අධික ලෙස මත්පැන් පානය කර සිටි බව අපි මුලදී ද සඳහන් කළෙමු. සේවා කාලය තුළ බීමත් වීම සහ බීමත්ව සේවාස්‌ථානයට පැමිණීම රජයේ ඇතැම් සේවකයන්ගේ කැත පුරුද්දකි. මෙබඳු පුද්ගලයන් අල්ලා ගැනීම සඳහා හදිසි වැටලීම් කරන ඒකකයක්‌ සෑදිය යුතුය. ඇතැම් රජයේ ආයතන හවස තුනෙන් පසු කසිප්පු ගඳින් පිරී යයි. එවැනි කසිප්පුකාරයන්ගෙන් රජයේ දේපළ කුඩුපට්‌ටම් කිරීමට වැඩි යමක්‌ අපේක්‍ෂා කළ නොහැකිය. සමහර විට පොලිසියේ ඇතැම් නිලධාරීහු පවා බීමතින් රාජකාරි කරති. රාත්‍රි දහයෙන් පසු පොලිසිවලට යන හදිසි කණ්‌ඩායමක්‌ තැනුවහොත් මේ බේබද්දන් අතටම අල්ලා ගත හැකිය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.