"රාම-රාවණා" යුගයට අයත්, දෙවිනුවර
ශ්‍රී විෂ්ණු දේවාලයේ 754 වැනි ඇසළ මහා මංගල්‍යය


උඩරට, පහතරට, සබරගමු සම්ප්‍රදායන්ට අයත් මාත්‍රා, වන්නම්, ශාන්තිකර්ම, ගැමි නැටුම් ආදී සියයකට ආසන්න නැටුම් ප්‍රමාණයකින් හා අලි ඇතුන්ගෙන් සමන්විත වූ දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාල පෙරහැර දිවයිනේ පැරැණිතම පෙරහැර ලෙස සැලකේ. දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ශ්‍රී ලාංකේය ඉතිහාසයට එකතු වන්නේද දිවයිනේ පැරැණිතම දේවාලය ලෙසිනි.

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ ඉතිහාසය සිංහලයේ ආරම්භක රජු විජය කුමරුගේ 7 වැනි මුණුපුරා ලෙස සැලකෙන රාවණා කුමරු, ඉන්දියාවේ රාම කුමරු සමග කරන ලද සුප්‍රසිද්ධ රාම රාවණා යුද සමය තෙක්‌ දිවයයි. මෙම රාම, රාවණා යුද්ධය දෙවුන්දර ප්‍රදේශය මුල්කරගෙන පැවැති බව පැරැණි පුරාවිද්‍යාත්මක තොරතුරු සාක්‍ෂි දරයි. මෙහිදී රාමගේ වඳුරු හමුදාව කඳවුරු බැඳි, වඳුරුදෙනිය සහ රාවණාගේ හමුදාවන් කඳවුරු බැඳි රාස්‌සන්දෙණිය, දෙවුන්දරට නුදුරු ගම්මාන දෙකක්‌ ලෙස අදත් පවතී.

මෙම යුද්ධයේදී රාම කුමරු රාවණා කුමරුට හිස ගැලවී යන ලෙස දුන්නෙන් විදින ලද්දේ දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ සිට බව, දේවාලයේ පැරණි ගල්කණුවක කොටා ඇති දුනුවායාගේ රුවට අදාළ ඓතිහාසික තොරතුරු සාක්‍ෂි දරයි. මෙම පාපයෙන් මිදීම සඳහා රාම කුමරු විසින් දෙවිනුවර ඓතිහාසික ගල්ගෙය කරවූ බවද කියවේ.

රාම රාවණා යුගයට නෑකම් කියන දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ පෙරහැර ඉතිහාසයේ දෙවිනුවර රජ කළ, දාපුලසෙන් රජ සමය තෙක්‌ දිවයයි. කෙසේ වෙතත් දඹදෙණි යුගයේ, පණ්‌ඩිත පරාක්‍රමබාහු රජතුමා විසින් දෙවිනුවර ශ්‍රී විෂ්ණු දෙවියන්ට වූ බාරයන් ඔප්පු කිරීම වෙනුවෙන් පෙරහැර ආරම්භ කර වාර්ෂිකව පවත්වාගෙන යැම සඳහා අණ ලබාදුන් බව කියවේ. එදා සිට මේ දක්‌වා ගණන් බැලූ කල මෙවර පැවැත්වෙන්නේ 754 වැනි පෙරහැරයි.

මුල් යුගයේදී පේලි පෙරහැර දෙකක්‌ සහ රන්දොaලි පෙරහැර පවත්වා තිබෙන අතර පසුව පේලි 4 ක්‌ හා රන්දොaලි පෙරහැර වශයෙන් පවත්වා තිබේ. අද වන විට පේලි පෙරහැර 6 ක්‌ සහ රන්දොaලි වශයෙන් පෙරහැර 7 ක්‌ පවත්වනු ලබයි.

පෙරහැර ඇරඹෙන්නේ සුබ මොහොතින් කප් සිටුවීමෙනි. දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ කප්සිටුවීම ඉකුත් 30 දා පැවැත්විණි. කප යන්නේ තේරුම කණුවයි. රුක්‌අත්තන, කොස්‌ ආදී කිරිගහක කඳක්‌ කපා කප සාදා ගනී. මේ සඳහා කිරි ගසක්‌ යොදා ගන්නේ පාරිශුද්ධත්වය හා සශ්‍රීකත්වය සංකේතවත් කිරීමටය. මෙය නිවසක කණුවකට වඩා කුඩා විය යුතුය. බෞද්ධ ආගමික හා හෙළ සිරිතට අනුව සුබ මොහොතින් කප් සිටුවීමෙන් ස්‌ථිරත්වය හා චිරාත් කාලයක්‌ පැවැත්ම අපේක්‍ෂා කෙරේ. පෙරහැරේ ගමන් කරන බස්‌නායක නිලමේවරයා සංකේතවත් කරන්නේ පණ්‌ඩිත පරාක්‍රමබාහු රජතුමාය. පරාක්‍රමබාහු රජතුමා පෙරහැරේ ගමන් කරන විට ඊට පිටුපසින් ගමන් කළේ එතුමාගේ බිසව සහ ඇයගේ ඥතීන්ය.

එම බිසවගෙන් පැවත එන ඥතීන් පෙරමුණේ රාළලා ලෙස අදත් අභිමානවත් ලෙස පෙරහැරේ ගමන් කරයි. වර්තමානයේ ඔවුන් පරම්පරා දෙකකට අයත්ය. නිලවීර හා මුහන්දිරම් පරම්පරාවට අයත් මොවුන් අදත් ඇවරිය පන්දම බාරව පෙරහැරේ ගමන් කරයි.

පෙරමුණේ රාළලා බස්‌නායක නිලමේ වරයාට පෙරහැර ආරම්භ කරන ලෙස යෂ්ඨිය පිරිනැමීමෙන් ආරාධනා කරයි. එයින් පසුව පෙරමුණේ රාළ සහ ආරච්චිල 4 දෙනා සමග බස්‌නායක නිලමේ දෙවිනුවර රජමහා විහාරයට ගොස්‌ ආගමික වතාවත් සිදු කර ශ්‍රී විෂ්ණු දේවාලයට ගොස්‌ දේව පූජාව පවත්වනු ලබයි. මෙම දේව පූජාවට සහභාගි විය හැක්‌කේ බස්‌නායක නිලමේ ප්‍රධාන කපු මහතා, පෙරමුණේ රාළලා සහ ආරච්චිල හතර දෙනාට පමණි. මේ අතර අමාත්‍ය, ඩලස්‌ අලහප්පෙරුම මහතා සධාතුක කරඬුව අලුත්ගම කන්දේවිහාරයේ මංගල හස්‌තිරාජයා මත තැන්පත් කළ අතර සෙසු ආරාධිතයන් සධාතුක කරඬුවට මල් මාලා පූජා කළෝය.

දෙවිනුවර පෙරහැර හා දේවාලය සම්බන්ධව දෙවිනුවර ධීවර ජනතාවගේ ඇත්තේද සහසම්බන්ධයකි. පෙරහැර කාලය තුළ දෙවිනුවර ධීවර ජනතාව රස්‌සාවේ යැම සම්පූර්ණයෙන්ම නවතා දමයි. ඔවුන් මහත් භක්‌තියෙන් යුතුව කාවඩි නැටුම් නටමින් පෙරහැරේ ගමන් කිරීම, දෙවිනුවර පෙරහැරටම ආවේණික වු අංගයකි. මුහුදේදී සිය ජීවිත වලට පූර්ණ ආරක්‍ෂාව රැකවරණය ලබාදෙන්නේ ශ්‍රී විෂ්ණු දෙවියන් බව ඔවුන් දැඩි සේ විශ්වාස කරයි.

මෙවර පෙරහැරේ ගෙනියන ලද කාවඩියක්‌ ඊළඟ පෙරහැර එනතෙක්‌ සිය බෝට්‌ටුවේ රැගෙන යැමත්, රස්‌සාවේ යැමට ආහාර, ජලය, අයිස්‌ ආදී සියලු සකලමනා බෝට්‌ටුවේ අඩුක්‌කු කර දේවාලයට පැමිණ පුද පූජා පවත්වා දේව රැකවරණය අයෑද සිටීමත්, මීට හොඳම නිදසුන්ය. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට වඩා දෙවිනුවර ජනතාවට ඇසළ මංගල්‍යය භක්‌තිමත් සැණකෙලි සිරියක්‌ ගෙන දෙන්නේද ඒ නිසාය.

කප් සිටුවීමේ මහෝත්සවයෙන් ඉකුත් 07 දා ඇරඹි, පේලි පෙරහැර 06 ක්‌ අවසානයේ දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවන්නා විෂ්ණු මහා දේවාලයේ 754 වැනි රන්දොaලි මහා පෙරහැර 13 දා සන්ධ්‍යාවේ වීථි සංචාරය කළේය. 13 දින සිට 20 දින දක්‌වා පෙරහැර කඩයත්, 20 දා රාත්‍රි කෝල්මුර යාගය හෙවත් දේව තොවිලය හා 21 අලුයම මහා ගිනි පෑගීමේ මංගල්‍යත් එදිනම උදැසන දේව දානයත් පැවැත්වීමෙන් මෙවර ඇසළ මහා මංගල්‍යය නිමාවට පත්වේ

.ජයකාන්ත ලියනගේ
|

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.