දේශපාලනඥයන්ට සුබ අනාගතයක්‌!

රටක නිවැරදි රාජ්‍ය පරිපාලන ක්‍රියාදාමයක්‌ ඇති කරවීමට පළමුවෙන්ම බුද්ධිමත් නායකයකුගේ මග පෙන්වීම අත්‍යවශ්‍යය. රටේ නායකත්වය බුද්ධිමත් ලෙස විවිධ ක්‍ෂේත්‍රවල ඉහළ තනතුරු සුදුස්‌සන්ට පිරිනැමිය යුතුය. රටක ඵලදායී පරිපාලනයකට බුද්ධියෙන්, දැනුමෙන් හා හැකියාවෙන් පරිනත විද්‍යා අංශවල උපාධිධාරී සුදුස්‌සන් රටේ රාජ්‍ය පරිපාලනයට සෘජුවම සම්බන්ධ කර ගැනීම අනිවාර්යය. ප්‍රවාහනය, මහාමාර්ග, කෘෂිකර්මය හා සත්ත්ව පාලනය පිළිබඳ ලේකම් තනතුරු පරිපාලන නිලධාරීන්ට පිරිනැමීමෙන් සිදුවන්නේ එම නිලධාරීන්ට අදාළ ක්‍ෂේත්‍රය පිළිබඳ හෝඩියේ පංතියේ සිටම ඉගෙන ගනිමින් ක්‍රියා කිරීමට සිදුවීමයි. ඒ මගින් එම අමාත්‍යාංශ පිළිබඳ ඔවුන් ඉගෙන ගන්නා තෙක්‌ම එම අමාත්‍යාංශ වළපල්ලටම ගමන් කරයි. එසේ නොකොට ප්‍රවාහනය, මහාමාර්ග සඳහා ඉංජිනේරුවරුනුත් කෘෂිකර්මය සඳහා කෘෂිකර්ම පිළිබඳ උපාධිධාරියෙකුත් පත්කිරීම මගින් විශාල යහපතක්‌ ඒ ඒ ක්‍ෂේත්‍රයන්ට සිදුවේ. අප රටේ සිදුවන අවාසනාවන්තම හා අනුවණම ක්‍රියාව වන්නේ විද්‍යාව හා වාණිජයට නුසුදුසු සාපේක්‍ෂව බුද්ධියෙන් හීන කොටස පොතේ පතේ ඇති දෑ ඒ අයුරින්ම කට පාඩම් කර කලා අංශයෙන් උපාධිය හදාරා පරිපාලන සේවා විභාගය සමත් වූ පසු සියලුම විද්‍යාව හා වාණිජ්‍යය හැදෑරූ උපාධිධාරීන් නොසලකා රට පාලනය කරන අය වලුන් බවට පත්වන අතර පොතපතින් ඔබ්බට ප්‍රායෝගිකව යමක්‌ කර නොහැකි මොහුන් මුළු රාජ්‍ය පරිපාලනයම අරක්‌ගෙන සිටීමයි.

අපේ පාසල් අවධියේ 8 වන ශේ්‍රaණියේදී බුද්ධි මට්‌ටම අනුව වඩා බුද්ධියෙන් පිරිපුන් සිසුන් විද්‍යා අංශයටත් ඊළඟ කොටස වාණිජ අංශයටත් තෙවන කොටස කලා අංශයටත් තෝරනු ලැබීය. මෑත කාලයේ මෙලෙස තෝරණු ලබන්නේ අ.පො.ස. සා/පෙ. විභාගයේ ප්‍රතිඵල අනුවය. ප්‍රාථමික සිසුන්ගේ බුද්ධි මට්‌ටම පරීක්‍ෂා කරන 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වන දිවයිනේ වැඩිම ලකුණු ලබාගන්නා අනාගතේ නොබියව රට භාර දිය හැකි යෑයි අනුමාන කළ හැකි සිසුන්ද අ.පො.ස. සා/පෙ. විභාගයෙන් පසුව බොහෝ විට තේරෙන්නේ විද්‍යා අංශයටය. මොහුන් අතරින් විද්‍යා විෂය ධාරාව හැදෑරූ නමුත් විශ්වවිද්‍යාලයට නොතේරෙන එහෙත් දැනුමෙන් හා ප්‍රායෝගික හැකියාවන් ගෙන් යුතු පිරිසද අති මහත්ය. හොඳින් විමසා බැලුවහොත් අවම වශයෙන් බුද්ධිමතුන් තේරීමේ කඩඉම වන 5 වන වසරේදී පවත්වන ශිෂ්‍යත්ව විභාගයවත් සමත් වූ ඉතා උසස්‌ තනතුරු දරන ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන් සුළු තරමක්‌ හෝ සිටි දැයි සැක සහිතය.

ඉහත දැක්‌වූ ආකාරයට අද වන විට අමාත්‍යාංශ ලේකම්, පළාත් සභා ලේකම් හා ප්‍රාදේශීය ලේකම් යන සියලුම පරිපාලන අංශයේ උසස්‌ තනතුරු දරන්නේ එදා 8 වන පංතියේදී හා 10 වන පන්තියේදී අඩු ලකුණු ගත් මේ අයයි. කනගාටුවට කරුණ නම් ඉතා අපහසුවෙන් ලබාගත් ඉංජිනේරු හා අනෙකුත් විද්‍යා උපාධිධාරීන් දැන් දැන් පරිපාලන සේවා විභාගය කර පරිපාලන සේවයට අනුයුක්‌ත වී ඉංජිනේරු ශිල්පය අත්හැර දමයි. මෙම අභාග්‍යයට හේතුව අතිදක්‍ෂ ඉංජිනේරුවන්ට වත් ළඟාවිය නොහැකි තනතුරු වෙත ළඟාවීම පරිපාලන නිලධාරීන්ට ඉතා පහසු කටයුත්තක්‌ වීමයි. අට පංතියේදී පහළට යන අය හිටි ගමන් ඉහළට යන මේ ක්‍රමය ඉතා කනගාටුදායක වන අතර අප රටේ සුභ අනාගතයකට ගැටලුවක්‌ ඇති කරවන ප්‍රධාන සාධකයද මෙය වෙයි. විද්‍යා අංශයෙන් ඉතා උසස්‌ සමාර්ථ ලැබූ සියලු අය අද මෙරට රැඳෙන්නේ නැත. හේතුව ඔවුන්ට කැප තනතුරුවලට වෙනත් අය අරක්‌ගෙන සිටීමයි. බොහෝ දුක්‌ මහන්සි වී ලබාගත් උපාධියෙන් මෙරට තුළ ප්‍රයෝජනයක්‌ ගත නොහැකි තත්ත්වයෙන් සිදුවන මෙම බුද්ධි ගලනය සුභ අනාගතයකට රට යන ගමනක්‌ දැයි අපට නම් විමතියකි. පසුගිය දිනක එක්‌තරා පරිපාලන ලේකම්වරයෙක්‌ යම් විද්‍යා ක්‍ෂේත්‍ර නිලධාරීන් පිරිසකට පරිගණක හා අන්තර්ජාල දැනුම අවශ්‍ය වන්නේ කුමකට දැයි විමසා තිබූ බව අපට දැන ගන්නට ලැබිණි. එමගින් ඔහුගේ බුද්ධි මට්‌ටමේ තරම ගැන අපට සිතාගත හැකි විය.

එසේම අනිවාර්යයෙන්ම රටක්‌ දියුණුව හා සෞභාග්‍යය කරා යැමට ර¹ පවතින්නේ විද්‍යාව හා තාක්‍ෂණයේ දියුණුව මතය. නවීන ලෝකයේ සංවර්ධිත රටවල් වල දියුණුවේ රහස මේ විද්‍යාව හා තාක්‍ෂණය වන අතර සංවර්ධනය කරා යැමේ අරමුණ එම රටවල් සාක්‍ෂාත් කරගැනීමට ඉවහල් වූ කරුණ වන්නේ එම රටවල පරිපාලනයද බුද්ධිමතුන් ඉටුකර ලීමයි. එම රටවල සිසුන් විද්‍යා අංශය, වාණිජ්‍ය අංශය, කලා අංශය කියා අංශ තෝරා ගැනීමේදී සියල්ලන්ම නිදහස්‌ව එම විෂයන් තෝරා ගැනීම නිසා සෑම අංශයකම දක්‍ෂ මෙන්ම දුර්වල සිසුන් ද ඇතුළත් වෙයි. එබැවින් රටේ පරිපාලනය ද එම රටවල කළමනාකරණ විෂය ක්‍ෂේත්‍රයෙන් සමත් දක්‍ෂ බුද්ධිමත් පිරිසක්‌ අතට පත්වේ.

මෙරටදී සියලුම සිසුන් විද්‍යා අංශයටම තරග කරන බැවින් අවසානයේ දක්‍ෂ සිසුන් පමණක්‌ විද්‍යා අංශයට තෝරා ගනු ලබයි. අවසානයේ රටේ බුද්ධිමත් කොටස විද්‍යා අංශයට තේරෙන බව පැහැදිලිය. එසේ හෙයින් විද්‍යා අංශයෙන් රාජ්‍ය සේවයට අනුයුක්‌ත වන නිලධාරීන්ට උසස්‌ තනතුරු පිරිනොනැමීමෙන් සිදුවන්නේ රටේ බුද්ධිමත් කොටස රට හැර යැමයි. එතෙරදීත් ඔවුන්ට නිසි ස්‌ථානයක්‌ ලැබුණද දැනට පරිපාලනයේ ඉහළ තනතුරු දරන්නන්ට පවා එතෙරදී ලබාගත හැකි වන්නේ කම්කරු තනතුරකි.

විවිධ කාර්යයන්ට අදාළව පළපුරුදු, දක්‍ෂතා සහිත විද්‍යා හා තාක්‍ෂණය ක්‍ෂේත්‍රවලට සම්බන්ධ නිලධාරීන්ට අවම වශයෙන් අදාළ අමාත්‍යාංශවල ලේකම් තනතුරු නොපිරිනැමීම ඉතාමත් අනුවණ ක්‍රියාවකි. විෂය පථය ගැන කිසිවක්‌ නොදන්නා පරිපාලන නිලධාරීන් ලේකම්වරුන් ලෙස උසස්‌ කිරීමෙන් හා සුදුස්‌සන් අතහැරීමෙන් එම මුළු විෂය ක්‍ෂේත්‍රයම අවුල් වී යන අතර නිවැරදි දිශාවට රටේ ගමන ද වැලකෙයි. බුද්ධිමත් බව හා පරිපාලනමය දක්‍ෂකමත් ක්‍ෂේත්‍රය හැසිරවීම පිළිබඳ දැනුම එකිනෙකට යාව පවතියි. අමාත්‍යාංශවලට පරිපාලන නිලධාරීන් අවශ්‍ය වෙයි. නමුත් ප්‍රධාන තනතුරු අදාළ විෂය ක්‍ෂේත්‍රයේ පළපුරුදු, දක්‍ෂතාවය සපිරි අයකුට දිය යුතුය. එසේ වුවත් 1960 ගණන්වල කලා උපාධිධාරීන් මෙම ගණයට නොවැටෙන්නේ එම කාලයේදී ගම්බද පාසල්වලින් අධ්‍යාපනය ලැබීමේ හැකියාව තිබුණේ කලා අංශයෙන් පමණක්‌ වීමයි. එම පාසල් වලින් සමාර්ථ වී පැමිණි බුද්ධිමත් කලා උපාධිධාරීන් පිරිසක්‌ සිටියහ. මෙම අයවලුන් 1980 ගණන් වන තෙක්‌ රාජ්‍ය පරිපාලනයේ නිරත වූ බව කවුරුත් දන්නා කරුණකි. එසේ වුවත් එවැනි තත්ත්වයක්‌ අද දින සිදු නොවේ. එවැනි කලා උපාධිධාරීන් අද දින බිහිවන්නේ ඉතා විරල වශයෙනි. බුද්ධිමත් කලා උපාධිධාරීන් සිටීනම් ඔවුන් රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ කර ගත යුතුය. එසේ වුවත් ඔවුන්ගේ විෂය ක්‍ෂේත්‍රයට අදාළ නොවන ක්‍ෂේත්‍ර අරක්‌ගෙන සිටීමට ඔහුන්ට ඉඩදීම නුවණැති ක්‍රියාවක්‌ නොවේ. එසේම තමන්ට වඩා දක්‍ෂයන් පාලනය කිරීමට දත කෑමම කෙතරම් යහපත් දැයි නුසුදුස්‌සන් තේරුම් ගත යුතුය.

ක්‍ෂේත්‍රයේ දක්‍ෂයන්ට උසස්‌ තනතුරු පිරිනැමීමෙන් රටට යහපතක්‌ වන බවට හොඳම උදාහරණය වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාය. එතුමා ආරක්‍ෂක ක්‍ෂේත්‍රයේ උසස්‌ තනතුරු දැරූ දක්‍ෂ ආරක්‍ෂක නිලධාරියෙක්‌ වූ බැවින් යුද්ධය දිනවීමට එතුමාගේ දායකත්වය ඉතා පැහැදිලිය. එසේම එතුමා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වීමට ප්‍රථම එම ස්‌ථානයේ සේවය කළේ ඉතා පළපුරුදු පරිපාලන සේවා නිලධාරියෙකි. එසේම එම වකවානුව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ දූරදර්ශීතම කාලවකවානුව වූ බව කාගේත් පිළිගැනීමයි.

දේශපාලනඥයන් මහජන ඡන්දයෙන් පත්වන බැවින් ඔවුන්ගේ බුද්ධි මට්‌ටම හෝ අධ්‍යාපනය ගැන බලාපොරොත්තු තැබිය නොහැක. එසේ වුවත් නිවැරදිව බුද්ධිමත්ව තම විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ මනා දැනුමක්‌ ඇති අවංක නිලධාරීන් පත් කර නොගැනීම පිළිබඳව නම් මෙතෙක්‌ රට පාලනය කළ සියලු නායකයන් වගකිව යුතු වේ.

අදූරදර්ශී දේශපාලනඥයන්ට හා ඔවුන්ගේ හෙන්චයියන්ට යන්නට වෙන තැනක්‌ නැති පරිපාලන නිලධාරීන් හොඳ බව ඇත්තය. ඒ ඔවුන්ගෙ කාබාසිනියා තීරණවලට එහෙයි කීමට පරිපාලන නිලධාරීන්ම සුදුසු බැවිනි. එසේ වුවත් රටේ දියුණුවට හා යහපතට එය බලපාන්නේ යහපත් ආකාරයට නම් නොවේ. බුද්ධිමතුන් යනු රටකට ඇති වටිනාම සම්පතයි. මේ සම්පත රැක ගැනීම සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්‌ කරා ගමනට අත්‍යවශ්‍යම කාරණාව බව තේරුම් ගත හැකි බුද්ධිමත් දේශපාලනඥයන් රටේ සිටිනවා දැයි සිතා බැලිය යුතු කරුණක්‌ ලෙසට අද පත්ව තිබේ.

ඉහත කරුණු මගහැර ඉදිරියේදී හෝ සුභ අනාගතයකට රට ගමන් නොකළ හොත් කිව යුතු එකම දෙය වන්නේ දේශපාලනඥයන්ට පමණක්‌ සුභ අනාගතයක්‌ යනුවෙන් ප්‍රාර්ථනා කරගත යුතු බවය.

වෛද්‍ය වෝල්ටර් සමරසිංහ
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.