සමන්ත ඝාතනයේ විත්තිකරුවන්ට
ඇපකරුවන් සමඟ උසාවි එන්නැයි නියෝග


ඒ. ඡේ. ඒ. අබේනායක

අතින් පයින් හා පොලුවලින් පහරදී ඕවිටිගල විතානගේ සමන්ත නමැති විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ඝාතන නඩුවේ සාක්‍ෂි විභාගය සඳහා සිය ඇපකරුවන්ද සමඟ අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස විත්තිකාර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විසි දෙදෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය (18 දා) නියෝග කළාය.

නීති විරෝධී ජන රාශියක නිරතවෙමින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුට පහරදී මරණයට පත්කිරීම හා තවත් ශිෂ්‍යයන් පිරිසකට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර ඇති නඩුව කැඳවූ අවස්‌ථාවේදී සාක්‍ෂි විභාගය 2012 ජනවාරි 9 වැනිදා සිට පැවැත්වීමට දින නියම කරමින් විනිසුරුවරිය ඉහත නියෝගය නිකුත් කළාය. 2002 නොවැම්බර් 7 වැනි දින ගංගොඩවිල ප්‍රදේශයේදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසක්‌ අතර පැවැති අභ්‍යන්තර ගැටුමකදී සිදුවූ පහරදීමකින් එම සමන්ත ශිෂ්‍යයා මියගොස්‌ තිබුණි. එවකට එම විශ්වවිද්‍යාලයේම ශිෂ්‍යයන් වූ නිශ්ශංක ජයසිංහ, දිල්රුක්‍ෂ රූපසිංහ, නාලක ලියනගම, ඉන්දික රොෂාන් ජයසිංහ, චන්ද්‍රසෝම දේශප්‍රිය, ඒ. ඒ. සමන්, වසන්ත චන්ද්‍රකුමාර, ශාන්ත ප්‍රසාද්, ඉන්දික කුමාර, චමින්ද කුලසේකර, ඒ. අලුත්ගේ, සුසන්ත ධර්මප්‍රිය. ප්‍රියදර්ශන ගම්මන්පිල, ලසන්ත දේශප්‍රිය, බණ්‌ඩාර සෙනවිරත්න, විජිත කුමාර, රසික නිලංග, චන්දික ප්‍රසාද් ලියනආරච්චි, ධර්මප්‍රිය අමරසිංහ, නලින් දිල්රුක්‍ෂ, මිහිර බණ්‌ඩාර විඡේසිංහ සහ ගාමිණී සෙනවිරත්න නමැත්තන්ට එරෙහිව එම නඩුව ගොනුකර තිබුණි. නඩුවේ සාක්‍ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහාධිකරණ විනිසුරුවරිය එහිදී වැඩිදුරටත් නියෝග කළාය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.