කොටි භාවිත කළ අත්බෝම්බයක්‌
පාර්ලිමේන්තුව අසල ළඳු කැලෑවකින් හමුවේ


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

පාර්ලිමේන්තුව ආසන්නයේ ඇති ජපන් මිත්‍රත්ව පාරේ ළඳු කැලෑවක තිබී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිත කරන ලද එම්.පී. 8 වර්ගයේ ජීව අත්බෝම්බයක්‌ පෙරේදා (17 වැනිදා) හමුවූ බව නුගේගොඩ කොට්‌ඨාස බුද්ධි අංශය පවසයි.

එම ජීව අත්බෝම්බය හමුවූ ස්‌ථානය අසලදී ගිනි අවි ගනුදෙනුවක්‌ සිදුවන බවට නුගේගොඩ කොට්‌ඨාස බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව එම අංශය කළ සෝදිසියකදී මෙම ජීව අත් බෝම්බය සොයාගෙන ඇත. එහෙත් එම ස්‌ථානයට යන විට අවි ගනුදෙනුව සිදුකළ බව කියන පුද්ගලයන් අතුරුදන්ව සිට ඇතැයි බුද්ධි අංශය කියයි.

මෙම ජීව අත් බෝම්බය අවි ගනුදෙනුව සිදුකළ බව කියන පුද්ගලයන් විසින් ළඳු කැලෑවට විසිකර දමා යන්නට ඇතැයි බුද්ධි අංශය සැක කරයි.

පසුව යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැඳවා එම ජීව අත්බෝම්බය නිෂ්ක්‍රීය කළ බව බුද්ධි අංශය සඳහන් කරයි.

නුගේගොඩ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්‌ෂණය යටතේ නුගේගොඩ කොට්‌ඨාස බුද්ධි අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක සුරාඡ් අබේවර්ධන මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන සමන් (73011), නලින් (78140), නාලක (68985), ජයන්ත (85220) යන නිලධාරීහු වැඩිදුර පරීක්‌ෂණ පවත්වති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.