දෙහිවල චීන අවන්හලේදී තරුණයකු
මරා සැඟවීමට තැත් කළ චීන ජාතිකයන්
පස්‌දෙනකුට මරණීය දණ්‌ඩනය

ඒ. ඡේ. ඒ. අබේනායක

දෙහිවල පිහිටි චීන අවන්හලක්‌ තුළදී චීන ජාතික තරුණයකුට මිටියකින් පහර දී මරා ඔහුගේ ශරීරය කොටස්‌වලට කපා ගමන් මලු දෙකක අසුරා සැඟවීමට තැත් කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් වූ චීන ජාතික අවන්හල් හිමිකාරියක ඇතුළු චීන ජාතිකයන් පස්‌දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් පෙරේරා මහතා ඊයේ (19 දා) පස්‌වරුවේ මරණීය දණ්‌ඩනය නියම කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එකී විත්තිකරුවන් පස්‌දෙනාම අදාළ චෝදනාවලට වරදකරුවන් බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇතැයි තීන්දු කරමින් එසේ මරණීය දණ්‌ඩනය නියම කරනු ලැබුයේ ෂූ ටි්‍රනික්‌, යුන්ග් යැන්ග්, චැන්ලී ලී, ගුවාන් ලී සහ ලයි හුල්බෝ නමැත්තන්ටය. එම චූදිතයන් අතරින් සිවුවන හා පස්‌වන චූදිතයන් අධිකරණය මඟහැර සැඟවී සිටි හෙයින් අනෙකුත් චුදිතයන් තිදෙනාව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා ජනාධිපතිවරයා විසින් නියම කරන දිනකදී හුස්‌ම හිරවනතුරු ගෙළ සිරකර එල්ලා මැරීමට මහාධිකරණ විනිසුරුවරයා එහිදී වැඩිදුරටත් නියෝග කළේය.

2003.01.24 දින හෝ ඊට ආසන්න දිනකදී දෙහිවල ප්‍රදේශයේ පිහිටි චීන අවන්හලක්‌ තුළදී එහි සේවය කළ ෂූ ලින්කන් නමැති චීන ජාතික තරුණයාට තුවාල සිදුකිරීමේ පොදු අරමුණ කරගත් රැස්‌වීමක සාමාජිකයන් වීම හා ඔහුගේ ඝාතනය සිදුකිරීම ඇතුළු අධි චෝදනා පහක්‌ යටතේ චූදිතයන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. චූදිතයන් පස්‌දෙනා එක්‌ව ඝාතනයට ලක්‌ වූ තරුණයාගේ මෘතශරීරය කොටස්‌වලට කපා විශාල ප්‍රමාණයේ සූට්‌කේස්‌ දෙකක අසුරා වෑන් රථයකින් මහනුවරට රැගෙනවිත් තිබිණි. එතැන් සිට ත්‍රිරෝද රථයකින් එම මෘතශරීර සහිත ගමන් මලු පේරාදෙණිය කණ්‌ඩලම ප්‍රදේශයට රැගෙන ගොස්‌ ජනශූන්‍ය ප්‍රදේශයකදී කඳු බෑවුමකින් පහළට විසිකර පළායමින් සිටියදී ලුහුබැඳ ගිය ප්‍රදේශවාසීන් පිරිසක්‌ පළමුවන හා දෙවන චූදිතයන් අල්ලාගෙන පොලිසියට භාරදී තිබිණි. තම ගෙවත්තට ඇදවැටුණු ගමන් මලු තුළ මිනිස්‌ සිරුරක කොටස්‌ ඇති බව දැක තම පුත්‍රයකු සමඟ විත්තිකරුවන් හඹාගොස්‌ ඔවුන් කළ පහරදීම් මධ්‍යයේ වුවද ඔවුන්ව ග්‍රහණයට ගැනීමටත් වසර කිහිපයක්‌ තිස්‌සේ සාක්‍ෂි දීම සඳහා අධිකරණයට පැමිණෙමින් එම නඩුවේ දෙවන හා තෙවන සාක්‍ෂිකරුවන් වන පිය පුතු දෙපළ සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස ක්‍රියා කොට ඇතැයි සිය නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා විවෘත අධිකරණයේදී පෙන්වා දුන්නේය. ඔවුන්ව එම ස්‌ථානයට රැගෙන ආ ත්‍රිරෝද රථ රියෑදුරු ද ගමනාන්තය නිමවීමෙන් පසුව ඔවුන්ගේ හැසිරීම පිළිබඳව සැක සිතී ස්‌වේච්ඡාවෙන්ම පොලිසියට ඉදිරිපත් වී සාක්‍ෂි ලබාදීම ද එහිදී විනිසුරුවරයා ඇගයීමට ලක්‌ කළේය. එම නඩුවේ ඇසින් දුටු සාක්‍ෂි කිසිවක්‌ නැතත් පශ්චාත් මරණ පරීක්‍ෂණ 16,000 ක්‌ සිදුකොට නඩු 1500 ක්‌ සම්බන්ධයෙන් අධිකරණ හමුවේ සාක්‍ෂි දී පළපුරුදු ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු එම මෘතශරීරය මිනිස්‌ සිරුර පිළිබඳව ඉතා හොඳ දැනුමක්‌ ඇති අයකු විසින් කපා කොටා ඇතැයි පෙන්වා දෙමින් සාක්‍ෂි දී ඇති බව ද විනිසුරුවරයා එහිදී පෙන්වා දුන්නේය. චූදිතයන් විදේශිකයන් වුවත් ඔවුන් කිසිවකු පිළිබඳව ද්වේශයෙන් සාක්‍ෂිකරුවන් සාක්‍ෂි දී නොමැති බවත් චීන භාෂා පරිවර්තකයකු ගේ සහය ඇතිව එම නඩු විභාගය පැවැත්වීමට අධිකරණය පියවර ගත් බවත් එහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නේය. තමන් කිසිවකුගේ සහයක්‌ නොමැතිව එම ඝාතනය සිදුකොට සෙසු විත්තිකරුවන් රහසින් එම මෘතශරීරය කොටස්‌ කොට ගමන් මලුවල අසුරා සැඟවීමට උත්සාහ කළ බව පළමුවන චූදිත විත්තිකූඩුවේ සිට ප්‍රකාශ කොට තිබූ මුත් ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව සෙසු විත්තිකරුවන් පිරිස ද එම ඝාතනයට සහ මෘතශරීරය සැඟවීමට දැරූ උත්සාහයට දායක වී ඇති බව ඔප්පු වන්නේ යෑයි ද එහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නේය. දඬුවම් නියම කිරීමට පෙර යම් කිසිවක්‌ කීමට ඇති දැයි භාෂා පරිවර්තනයෙන් අධිකරණයට සහය වූ කැලණිය විශ්වවිද්‍යාලයේ චීන භාෂාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමියන් මාර්ගයෙන් විනිසුරුවරයා විත්තිකරුවන්ගෙන් විමසීය. පළමුවන විත්තිකරු තමන්ට කීමට කිසිවක්‌ නොමැති බව එහිදී පැවැසූ අතර නීතිඥ උපදෙස්‌ මත තමා කිසිවක්‌ නොකියා නිහඬව සිටින බව දෙවන චූදිත පැවැසීය. එහිදී අධිකරණය ඇමතූ තෙවන විත්තිකාරිය තමා එම ඝාතනය පිළිබඳව කිසිවක්‌ නොදන්නා බවත් එයට තමා කිසිදු අයුරකින් මැදිහත් නොවූ බවත් පැවැසුවාය. අවුරුදු සැමරීම සඳහා තම ව්‍යාපාරික ස්‌ථානය වසා දමා විත්තිකරුවන් සමඟ තමා එදින මහනුවරට පැමිණි නමුත් එහි තිබූ ගමන් මලුවල මියගිය තරුණයාගේ මෘතශරීරය ඇති බව තමා නොදන්නේ යෑයි ද එහිදී පෙන්වා දුන් එම විත්තිකාරිය ගල්කිස්‌ස අධිකරණයේදී පරීක්‍ෂණ පැවැත්වූ පොලිස්‌ නිලධාරීන් තමන්ගෙන් මුදල් ඉල්ලූ බවත් එලෙස මුදල් නොදීම නිසා තමාව නිරපරාදේ එම ඝාතනයට සම්බන්ධ කොට ඇති බවත් පැවැසීය. මරණකරුගේ සොහොයුරිය තමාගේ මිතුරියක නිසා ඔහුව රැකියාවකට ලංකාවට ගෙන්වා ගත් බව ද එහිදී පැවැසූ විත්තිකාරිය ඔහුව ඝාතනය කිරීමට තමාට කිසිම අවශ්‍යතාවක්‌ නොතිබූ බව ද පැවැසුවාය.

සියලු කරුණුවලට කන්දුන් විනිසුරුවරයාගේ නියමය අනුව අධිකරණයේ සියලු විදුලි පහන් හා විදුලි පංකා නිවා දැමීමට මහාධිකරණ භාෂණ පරිවර්තක ජයන්ති ද සිල්වා මහත්මිය ප්‍රමුඛ අධිකරණ කාර්ය මණ්‌ඩලය පියවර ගැනීමෙන් අනතුරුව අසුනින් නැගී සිට සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා අත්සන් තැබූ පෑන කඩා දමා අධිකරණයෙන් පිටවිය. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හිමාලි ජයනෙත්ති මහත්මිය පැමිණිල්ල මෙහෙයවූවාය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.