මෙම මස 30 දාට පෙර
දෙවැනි අදියරේ වැටුප් වැඩි කිරීමේ යෝජනා
මහා භාණ්‌ඩාගාරයට නොයෑව්වොත් යළි වෘත්තීය ක්‍රියා
- සරසවි ඇදුරු සමිති සම්මේලනය කියයි

නිලන්ත මදුරාවල

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දෙවැනි අදියරේ වැටුප් වැඩි කිරීමේ යෝජනා මෙම මස 30 වැනිදාට පෙර මහා භාණ්‌ඩාගාරයට යෑවීම සඳහා උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය පියවර නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීමේ තීරණය යළි සලකා බැලීමට ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක සභාව ඊයේ (19 වැනිදා) තීරණය කළේය.

දෙවැනි අදියරේ වැටුප් වැඩිවීම ලබන අයවැයෙන් ලබාදෙන බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ලිඛිතව පොරොන්දු වී ඇතැයි ද අයවැය යෝජනාවන්ට ඇතුළත් කිරීම සඳහා වැටුප් වැඩි කිරීමේ යෝජනා මෙම මස 30 වැනිදාට පෙර යෑවිය යුතු යෑයි ද කී සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා දෙවැනි අදියරේ වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනා මහා භාණ්‌ඩාගාරයට යෑවීම සඳහා උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු සූදානමක්‌ ඇති බවක්‌ පෙනෙන්නට නැතැයි ද පැවසීය.

එම යෝජනා 30 වැනිදාට පෙර නොයවන්නේ නම් අත්හිටුවූ වෘත්තීය ක්‍රියාමාර්ග යළි සලකා බැලීමට සිදුවන බව අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දෙන බව ද ඒ මහතා සඳහන් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.