ග්‍රීස්‌ යකෙක්‌ ගැන බොරු ප්‍රචාර කර
අධිකරණයෙන් දැඩි අවවාද ලබයි

සමන්ත ඉලේපෙරුම

මහජනතාව තුළ බියක්‌ ඇති වන අයුරින් ග්‍රීස්‌ යකෙක්‌ පැමිණි බවට බොරු ප්‍රචාරයක්‌ සිදු කර කලබලකාරී වාතාවරණයක්‌ ඇති කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ විත්තිකරුවකුට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඊයේ (19 වැනිදා) තරයේ අවවාද කර මුදාහරිනු ලැබුවේය.

මෙවැනි සිද්ධීන් හේතුවෙන් සමාජය පුරා අයහපත් තත්ත්වයක්‌ නිර්මාණය වී ඇති අවස්‌ථාවක විත්තිකරු සිදුකර ඇත්තේ ඉතා බරපතළ වරදක්‌ බව පෙන්වා දුන් මහෙස්‌ත්‍රාත්වරයා යළි මෙවැනි වරදක්‌ සිදුකර අසුවුවහොත් දැඩි දඬුවම් නියම කරන බවද පළමු අවස්‌ථාව නිසා අවවාද කර මුදා හරින බවද පැවැසුවේය.

ආදුරුප්පු වීදිය පොලිසිය වෙත ලද දැනුම්දීමක්‌ අනුව සිදු කළ වැටලීමක්‌ තුළින් අත්අඩංගුවට ගෙන මෙලෙස අවවාද කර මුදා හරිනු ලැබුවේ ආදුරුප්පු වීදිය පදිංචි මොහොමඩ් පිරිදවුස්‌ මොහොමඩ් රිස්‌කාන් නමැති අයයි.

ආදුරුප්පු වීදිය පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ගීතික බෝධිපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ කොස්‌තාපල් එස්‌. එස්‌. ඒ. බණ්‌ඩාර මහතා විසින් පොලිස්‌ ආඥ පනතේ 98 වැනි වගන්තිය යටතේ විත්තිකරු අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.