මලයාසියාවෙන් පිටුවහල් කෙරුණු
"උගන්ඩා බාලා" කටුනායකදී දැලේ


හේමන්ත රන්දුණු

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු මෙන්ම මිනිස්‌ ජාවාරමේ යෙදුණු පුද්ගලයෙක්‌ බව කියන "උගන්ඩා බාලා" නමැත්තා රහස්‌ පොලිසිය මගින් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 1990 වර්ෂයේ සිට සිංගප්පූරුව, මලයාසියාව, ඉන්දියාව, තායිලන්තය ඇතුළු රටවල් කීපයක සැඟවී සිටිමින් කොටි ත්‍රස්‌තවාදීන්ට උදව් උපකාර කර විවිධ ජාවාරම්වල නිරත වී සිටි බව හෙළිදරව් වී තිබේ.

ත්‍රස්‌තවාදී කටයුතු සහ මිනිස්‌ ජාවාරමේ යෙදීම් ඇතුළු විවිධ චෝදනා සම්බන්ධයෙන් මලයාසියා පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම ත්‍රස්‌තවාදියා එරටින් පිටුවහල් කර ඇත.

පසුව මොහු ශ්‍රී ලංකාවට පැමිණෙද්දී කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් අතර වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රහස්‌ පොලිස්‌ මූලස්‌ථානය වෙත ගෙන ගොස්‌ ඇත.

නීත්‍යානුකූල නොවන මාර්ගවලින් දෙමළ ජාතිකයන් යුරෝපා රටවලට යෑවීමේ මිනිස්‌ ජාවාරමේ යෙදුනු සැකකරු රුපියල් කෝටි ගණනින් මුදල් උපයා ඇති බව රහස්‌ පොලිසිය පවසයි.

සැකකරු සතුව උගන්ඩාවේ සුවිසල් නිවසක්‌ ඇති නිසා මොහුව උගන්ඩා බාලා යන නමින් හඳුන්වන බවද රහස්‌ පොලිසිය කියා සිටියි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.