ප්ලාස්‌ටික්‌ ජල බෝතල් යළි පාවිච්චි කිරීමේ අවදානම

"ලෙයිලා" සුන්දර දොළොස්‌ හැවිරිදි සමනළ වියේ දඟකාර දැරිවියකි. ඇගේ පියා නිවසට ගෙන ආ, අලංකාර වතුර බෝතලය (පානීය ජල බෝතලය) අක්‌කාට කලින් තමන් සතු කරගත් ඇය, එදින සිට පාසලට ජලය ගෙනයැමට එම බෝතලය භාවිත කළාය. එපමණක්‌ නොව, තමන්ගේම මොළකැටි සුරතින් එම බෝතලයේ බඳ මත ලස්‌සන සුරංගනාවියන්ගේ සිත්තම් ද පින්තාරු කළාය. එහෙත් හදිසියේ රෝගාතුර වූ ඇය කාටත් හොරෙන් සුරංගනාවියන්ගේ ලෝකයටම යන්නට ගියාය. මෙය සාමාන්‍ය මරණයක්‌ නොවී මුළු ලෝකයටම වැදගත් පාඩමක්‌ කියාදුන් මරණයක්‌ වූයේ, මරණ පරීක්‍ෂණ වාර්තාව ලැබීමත් සමඟය. මරණයට හේතුව ලෙස අනුමාන කර තිබුණේ, මාස 16 ක්‌ පමණ එක දිගට ඇය භාවිත කළ "පෙට්‌" වතුර බෝතලය තුළ සැඟව සිsටි මාරක රසායනික ද්‍රව්‍යයන් නිසා මරණය සිදුවන්නට ඇති බවය.

මෙම සිද්ධිය සිදුවූයේ ඩුබායි රටේ වුවද, බෝතල් කළ පානීය ජල බෝතල්, සිසිල් පැන් බෝතල් සහ නානාප්‍රකාරයේ ප්ලාස්‌ටික්‌ ජල බෝතල් සහ ආහාර ඇසුරුම් නූතන ලාංකීය කාර්ය බහුල සමාජයේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්‌ඩයක්‌ බවට පත්වී ඇති අතර මෙම අවදානම් සහගත විලාසිතාමය පුරුද්ද බරපතළ සෞඛ්‍ය ගැටලුවලට හේතු වන්නට පිළිවන් බව ලොවපුරා විද්‍යාඥයන් ප්‍රකාශ කර සිටී. සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභවය යනු, තවදුරටත් අප කන බොන දේ පිළිබඳ කාරණාවක්‌ පමණක්‌ නොව, ආහාර ඇසිරීමට, පිළියෙල කිරීමට, ගබඩා කිරීමට, පිසීමට ගන්නා උපකරණ සහ භාජන මත ද ර¹පවතින්නක්‌ බව බොහෝ දෙනකු නොසලකා හැර ඇත.

පානීය ජල බෝතල් සහ විවිධ ආහාර ඇසුරුම් වර්ග සාදනු ලබන ප්ලාස්‌ටික්‌වල මූලික සම්භවය පෙට්‌ට්‍රොaලියම්ය. සංයුතිය අනුව ප්ලාස්‌ටික්‌ වර්ග කිහිපයක්‌ ඇත. ප්ලාස්‌ටික්‌ බඳුන්වල පතුලේ සංකේත අංකය සඳහන් කර ඇත. උදාහරණ PET - Poly Ethylene
Teraphthalates- (සංකේත අංකය #1) මේවා අතරින් ආහාර ඇසුරුම් කිරීම සඳහාත් නැවත නැවත භාවිතය සඳහාත් ජාත්‍යන්තරව අනුමත කර ඇත්තේ (අනතුරුදායකත්වය අඩු ප්ලාස්‌ටික්‌) HDPE - #2, LDPE - # 4 iy PP - # 5 යන වර්ගයන්ය. ආහාර ඇසුරුමේ පතුලේ ත්‍රිකෝණ සලකුණ මැද අදාළ අංකය හෝ ආහාර සඳහා අනුමත බව හැඟවෙන සංකේතය සඳහන්ව තිබිය යුතුය.

ප්ලාස්‌ටික්‌ ජල බෝතල් සෞඛ්‍යාරක්‍ෂිතද?

ප්ලාස්‌ටික්‌ වර්ග අතුරින් පානීය ජල බෝතල් සහ සිසිල් බීම බෝතල් සහ එළවළු තෙල් බෝතල් සහ ජංගම ප්ලාස්‌ටික්‌ කෝaප්ප නිෂ්පාදනය කරන "පෙට්‌" (PET) නමැති ප්ලාස්‌ටික්‌ වර්ගය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇත්තේ නැවත නැවත භාවිත කිරීමෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි ප්ලාස්‌ටික්‌ වර්ගයක්‌ ලෙසය. එහෙත් අපේ රටේ උදවිය පානීය ජලය රැගෙන යැමටත් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වර්ග ගබඩා කර තැබීමටත් එකී නොකී බොහොමයක්‌ අවශ්‍යතා සඳහා මෙම ඉවතලන "පෙට්‌" ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන භාවිත කරනු ලබයි. "ප්ලාස්‌ටික්‌" යනු අහිංසක ද්‍රව්‍යයක්‌ නොවන වග, පර්යේෂණාත්මකව තහවුරු කරගෙන දැනට වසර 50 කටත් වැඩිය. සියලුම ප්ලාස්‌ටික්‌ වර්ගවල ඇති විෂ රසායන වර්ග පොදුවේ "ප්ලාස්‌ටිසයිසර්ස්‌" (Plasticizers) ලෙස හඳුන්වන අතර, මෙම විෂ රසායනික සංයෝග ප්ලාස්‌ටික්‌ ඇසුරුම් තුළ ගබඩා කර භාවිත කරන ආහාර සහ පාන වර්ගවලට විවිධ හේතු මත කාන්දු වන බව සොයාගෙන ඇත. ඒ අතරින් "පෙට්‌" බෝතල්වලින් පමණක්‌ අහිතකර රසායනික ද්‍රව්‍යයන් 19 ක්‌ කාන්දු වන බව විද්‍යාඥ්‍යන් සොයාගෙන ඇත. ඒවා අතුරින් පහත සඳහන් රසායන වර්ග මානව සෞඛ්‍යයට බරපතළ ලෙස බලපාන බව සොයාගෙන ඇත.

ඩයොක්‌ෂීන් (Dioxins)

මිනිසා කෘත්‍රිමව නිපදවූ මාරාන්තිකම රසායන වර්ගයකි. ස්‌වාභාවිකව වියෝජනය නොවී ආහාර දාම හරහා සංචිත වන ක්‍ෂීරපායි සතුන් හට ඉතාමත් සුළු මාත්‍රාවක්‌ වුවද (ටි්‍රලියනයකට කොටස්‌ 05 ක්‌) ඇදහිය නොහැකි තරමේ බරපතළ ප්‍රතිවිපාක ඇති කරවන සුළු උග්‍ර පිළිකා කාරකයකි. ප්‍රජනන පද්ධතිය කෙරේ බලපානු ලබයි. මඳ සරුභාවය, අංග විකල දරුවන් බිහිවීමට හේතුවිය හැකිය. ඇමෙරිකාවේ "කාස්‌ටිල් රෝහලේ" වෛද්‍ය එඩ්වර්ඩ් µqජිමොටෝ මහතා විසින් මෑතකදී ප්ලාස්‌ටික්‌ භාජනවලින් කාන්දු වන "ඩයොක්‌ෂීන්" නිසා සිදුවන සෞඛ්‍ය ව්‍යසනය පිළිබඳ කරුණු හෙළිදරව් කර තිබිණි. ඒ අනුව උෂ්ණත්වය සහ රළු භාවිතාව නිසාත් ආම්ලික, තෙල් සහිත සහ උණුසුම් ආහාර ප්ලාස්‌ටික්‌ භාජන සහ ප්ලාස්‌ටික්‌ කවර, "ලන්ච් ෂීට්‌" (Plastic wraps)) වල ගබඩා කිරීමෙනුත්, ප්ලාස්‌ටික්‌ භාජනවල දැමූ ආහාර පාන වර්ග ශීතකරණයේ තැබීමෙනුත්, "මයික්‍රොවේව් උඳුන්" වල ප්ලාස්‌ටික්‌ භාජනවල සහ ප්ලාස්‌ටික්‌ දවටනවල බහා, ආහාර පිසීමෙනුත් ආහාරවලට "ඩයොක්‌ෂීන්" කාන්දුවීම සිදුවිය හැකිය. තවද ප්ලාස්‌ටික්‌, පොලිතීන් සහ පී. වී. සී. පිළිස්‌සීමෙන් නැගෙන දුමාරයට නිරාවරණය වීමෙන්ද "ඩයොක්‌ෂීන්" ශරීරගත විය හැකි බව "ඇමරිකානු පරිසර සංරක්‍ෂණ ඒජන්සිය" විසින් නිකුත් කළ වාර්තාවක දැක්‌වෙනවා.

තැලේට්‌ (Phthalates)

සියලුම ප්ලාස්‌ටික්‌ වර්ගවල මෘදු හා නම්‍යශීලීභාවය ඇති කිරීමට, තැලේට්‌ යොදාගනී. "පෙට්‌" ප්ලාස්‌ටික්‌වල වැඩිපුර අන්තර්ගතය. මෙයද පිළිකාකාරකයකි. හෝමෝනමය වෙනස්‌වීම් ඇති කිරීමට (Endocrinedisrupte) ප්‍රබල වශයෙන් හේතු වන බවත්, ඉතා කුඩා ප්‍රමාණයන්ගෙන් පවා හානිකර ප්‍රතිඵල ඇති කරන බවත් සොයාගෙන ඇත. ප්ලාස්‌ටික්‌ ආහාර ඇසුරුම්, හිරු එළියට නිරාවරණය වීමෙන්, උෂ්ණත්වයට භාජන වීමෙන්, තැලීම් සීරීම්වලට ලක්‌වීමෙන් (Phthalate) රසායනය ආහාරවලට එකතු වේ. ප්ලාස්‌ටික්‌ ජල බෝතල්වල බහුලවම ඇත. වැඩිහිටියන්ට සාපේක්‍ෂව කුඩා ළමුන්ට වැඩි වශයෙන් බලපාන බවත් විශේෂයෙන් පිරිමි ළමුන්ගේ ප්‍රජනන හැකියාව දුර්වල කිරීමට බෙහෙවින්ම ඉවහල් විය හැකි බවත් එක්‌සත් ජනපදයේ මානව ප්‍රජනන පද්ධතිය කෙරෙහි බලපාන අහිතකර සාධක පිළිබඳව විමර්ශනය කිරීමේ මධ්‍යස්‌ථානයේ (C.E.R.H.R.) විශේෂඥයන් පිරිසක්‌ විසින් ප්‍රකාශ කර තිබිණි.

බ්‍රිස්‌µSනෝල් - ඒ (BP - A))

ප්ලාස්‌ටික්‌වල විනිවිද පෙනෙන ස්‌වභාවය ඇති කිරීමටත්, ශක්‌තිමත් භාවයටත්, කම්පනවලට ඔරොත්තු දීම සඳහාත්, බී පී. ඒ. වැදගත් වේ. "බිස්‌µSනෝල්" ඒ මිනිස්‌ ඊස්‌ට්‍රජන් හෝමෝනයට සමාන ලක්‍ෂණ පෙන්වයි. (synthetic Estrogenic compound)) මෙය මිනිසාගේ අන්තරාසර්ග පද්ධතියට සහ ප්‍රජනන පද්ධතියට බලපාන බව පර්යේෂණ මගින් සනාථ කොට ඇත. ප්ලාස්‌ටික්‌ භාජනවල ඇසුරුම් කළ ආහාරවලට කල්යැමේදී "බී. පී. ඒ." කාන්දු වන බවත්, උෂ්ණත්වය, ආම්ලිකත්වය, ඇල්කොහොල් මෙම ක්‍රියාවලිය වැඩි කරන බවත් (උත්ප්‍රේරණය) මෙයට අමතරව, මයික්‍රොවේව් උදුන්වල ප්ලාස්‌ටික්‌ භාජනවල ආහාර පිසීමේදී සහ ප්ලාස්‌ටික්‌ බඳුන් "ඩෙටාජන් සබන්" මගින් සේදීමේදී ද, "බී. පී. ඒ." ආහාරවලට කාන්දුවීම සිදුවේ. මෙම "බී. පී. ඒ." ශරීරගතවීමෙන්, වඳබව (Infertility) ප්‍රොස්‌ටේට්‌ පිළිකාව, (Prostrate censer) පියයුරු පිළිකා, (Breast censer) අඩු වයසින් මල්වරවීම, (Early puberty) තරබාරුව (Obesity) දෙවන වර්ගයේ දියවැඩියාව, (type 2
diabetes) වැනි සෞඛ්‍ය ගැටලු ගණනාවකට හේතු විය හැකිය. එබැවින්, විශේෂයෙන් ගර්භණී මව්වරුන්, ළදරුවන්, නව යෞවනයන් "බී. පී. ඒ." වලට නිරාවරණය වීම භයානක බව, ජීව විද්‍යා මහාචාර්ය "ෙµඩ්රික්‌ වොම්සාල්" මහතා සහ මහාචාර්ය "රුන්ඩි ජට්‌ලේ" යන මහාචාර්යවරු පෙන්වා දෙති. මෙයට අමතරව සතියක්‌ තුළදී බෝතල් කළ ජලය පානය කළ අයගේ මුත්‍රාවල "බී. පී. ඒ." සාන්ද්‍රණය එසේ නොකළ අයගේ මුත්‍රාවල සාන්ද්‍රණයට වඩා දෙතුන් ගුණයකින් ඉහළ ගොස්‌ තිබූ බව, මහජන සෞඛ්‍ය පිළිබඳ හාවඩ් සරසවියේ කළ පරීක්‍ෂණයකදී සොයාගෙන ඇත.

ඇසිටැල්ඩිහයිඩ සහ විවිධ ඇල්ඩිහයිඩ වර්ග

මේවා අවර්ණ ලාක්‍ෂණික පලතුරු සුවඳක්‌ සහිත පිළිකා සහ වෙනත් සෞඛ්‍ය ගැටලු ගණනාවකට හේතු විය හැකි රසායනික සංයෝගයන් වේ. සිසිල් බීම සහ පැණි බීම බෝතල් තුළ වැඩිපුර තිssබිය හැකි බවත්, හිරු එළියට සහ සෙල්සියස්‌ අංශක 60 ක පමණ උෂ්ණත්වයකට ලක්‌කළ බෝතල් තුළ වැඩිපුර මේවා අන්තර්ගතව තිබුණු බව සොයාගෙන ඇත.

ඇන්ටිමනී

ලොව කීර්තිමත් විද්‍යාඥයකු වන ජර්මන් ජාතික මහාචාර්ය "විලියම් ෂෝටික්‌" (Wiliam Shotyk) විසින් මෑතකදී කර තිබුණු පර්යේෂණයකට අනුව "පෙට්‌" ඡෑඔ ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන ක්‍රියාවලියේදී එකතු කෙරෙන "ඇන්ටිමනී" නමැති අහිතකර බැර ලෝහය බෝතල් කළ පානීය ජලයේ අනතර්ගතව තිබුණු බව සොයාගෙන ඇත. මෙහි සාන්ද්‍රණයන් අහිතකර මට්‌ටමකින් නොතිබුණ ද කාලය ගතවීමේදී "ඇන්ටිමනී" සාන්ද්‍රණය සැලකිය යුතු ලෙස වැඩි වන බව මෙම පර්යේෂණය මගින් සොයාගෙන ඇත. "ඇන්ටිමනී" පිළිකාකාරකයක්‌ සහ නොයෙකුත් සෞඛ්‍ය ගැටලු ගණනාවකට හේතු විය හැකි බව විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත. (මෙම කාරණාව තවමත් පර්යේෂණ මට්‌ටමේ පවතින්නකි.)

බෙන්සීන්

විශේෂයෙන් හිරු එළියට නිරාවරණය වූ ප්ලාස්‌ටික්‌ බෝතල් තුළ "බෙන්සීන්" වැනි "සයිලික්‌ ඔලිගොමර්ස්‌" වර්ග සෑදෙන බවත් මේවා පිළිකා සහ ශරීරයේ විවිධ ස්‌ථාන තුළ අර්බුද ඇති කිරීමට හේතු වන බවත් පැවැසේ.

ප්ලාස්‌ටික්‌ ආහාර ඇසුරුම් සමඟ ලෝකයා ගනුදෙනු කරන්නේ මෙහෙමයි.

ෆ තැලේට්‌ අඩංගු සෙල්ලම් බඩු නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, 2008 වර්ෂයේ සිට යුරෝපා ප්‍රජාවේ රටවල තහනම් කර ඇත.

කැනේඩියානු සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඇමරිකානු කොන්ග්‍රස්‌ මණ්‌ඩලය විසින්, 2009.11.02 දින නිල වශයෙන් බී. පී. ඒ. සහිත ප්ලාස්‌ටික්‌ ආහාර ඇසුරුම්, සෞඛ්‍යයට අහිතකර බව නිවේදනය කරන ලදී. ඒ අනුව වයස අවුරුදු 3 ට අඩු ළමුන් සඳහා බී. පී. ඒ. අඩංගු සියලුම නිෂ්පාදන තහනම් කර ඇත.

වර්ෂ 2005 දී "රොචෙස්‌ටර්" වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද මහාචාර්ය "ෂානා ස්‌වෑන්" (Sය්බ් Sආaබ) විසින් සිදුකර ඇති අධ්‍යයනයකට අනුව, "තැලේට්‌" අධික ලෙස මුත්‍රාවල අඩංගුව පැවැති, මව්වරුන් බිහිකළ දරුවන්ගේ, ප්‍රජනන පද්ධතිය හා ගුද මාර්ගය අතර පරතරය ඉතා කුඩා බවත් ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් ප්‍රමාණයෙන් ඉතා කුඩා වූ බවත් වෘෂණ කෝෂ අක්‍රමවත්ව පිහිටා තිබූ බවත් හෙළිදරව් වී ඇත.

ඇමරිකාවේ "මෙලීසා මෙලින්ඩස්‌" (පැකසිය් පැකසබාමි) සහ තවත් දෙමාපියන් පිරිසක්‌ එක්‌ව බී. පී. ඒ. අඩංගු බේබි බෝතල් සහ ළදරු නිෂ්පාදනවලට එරෙහිව, "ලොස්‌ ඇන්ජලිස්‌" ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්‌ පවරා ඇත. තම දියණියගේ වයස මාස 19 ක්‌ වන බවත්, ඇය අඩු වයසින් මල්වර වීමේ ලක්‍ෂණ පෙන්වන බවත් එයට හේතුව බී. පී. ඒ. බවත් "මෙලින්ඩස්‌" මහත්මිය ප්‍රකාශ කරන්නීය.

කළ යුත්තේ කුමක්‌ද?

ප්ලාස්‌ටික්‌ සහ පොලිතින් ආහාර ඇසුරුම් පිළිබඳව, කොරහේ කිඹුලන් මැවීම, මෙම ලිපියේ අරමුණ නොවුවත්, නූතන ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සහ පරිභෝජන රටාව නිසාවෙන්, (Modern
food pattern) නව ලෙඩ රෝග රටාවකට ළදරුවා සිට මහල්ලා දක්‌වා ගොදුරු වෙමින් සිටිනා නිසාවෙන්, (Modern
disease pattern) තමන්ගේ සහ තම පවුලේ සෞඛ්‍යය පිළිබඳව උනන්දු වන උදවිය වෙනුවෙන් පහත කාරණා ටික ලියා තබමි.

වරක්‌ භාවිතා කළ "පෙට්‌" බෝතල් ආහාරපාන වර්ග සඳහා නැවත භාවිත නොකරන්න. ඒ සඳහා වීදුරු බෝතල් භාවිත කරන්න. ප්ලාස්‌ටික්‌ බෝතල් භාවිත නොකරම බැරි නම්, පෙට්‌ (ඡෑඔ) ප්ලාස්‌ටික්‌වලින් නොතැනූ ආහාර සඳහා අනුමත (Food - grade) ප්ලාස්‌ටික්‌ වර්ගයකින් තැනූ, බෝතලයක්‌ භාවිත කරන්න. (පතුලේ අංක( 2(4 හෝ 5 හෝ ආහාර සඳහා අනුමත බව හැඟවෙන සංකේත සලකුණු කර ඇත. මෙය, ආහාර ඇසුරුම් කිරීමේ රෙගුලාසි 2011 ප්‍රකාරව නීතිමය අවශ්‍යතාවකි.)

හිරු එළියට නිරාවරණය වන පරිදි අසුරා ඇති සහ තැලුණු පොඩිවුණු ප්ලාස්‌ටික්‌ වතුර බෝතල් කිසි විටක මිලදී නොගන්න.

ප්ලාස්‌ටික්‌ සහ පොලිතින්වල ඇසුරූ ආහාර සහ පාන වර්ග භාවිතාව හැකිතාක්‌ සීමා කරන්න.

සංකේත අංකයක්‌ නැති, සලකුණක්‌ නැති, ප්‍රමිතියක්‌ නැති ප්ලාස්‌ටික්‌ භාජන කොයි තරම් ඔබේ නිවසේ ආහාර ගබඩා කිරීමට යොදාගෙනදැයි බලන්න.

ආම්ලික, උණුසුම්, ඇල්කොහොල් අඩංගු ආහාර සහ පාන වර්ග, ප්ලාස්‌ටික්‌ භාජනවල දමා භාවිත නොකරන්න.

ප්ලාස්‌ටික්‌ භාජනවල ගබඩා කර ඇති ජලය, බීමට සහ ආහාර පිසීමට පෙර පෙරීමට ලක්‌ කරන්න. (revers osmosis
filter) ප්ලාස්‌ටික්‌ ජල ටැංකියක්‌ තෝරා ගැනීමේදී ආහාර වර්ග ගබඩා කිරීමට සුදුසු ප්ලාස්‌ටික්‌ වර්ගයකින් සහ නිසි ප්‍රමිතියකින් යුතු ජල ටැංකියක්‌ තෝරා ගැනීමටත්, එම ටැංකිය හිරුඑළියට නිරාවරණය නොවන ලෙස තැබීමටත් සැලකිලිමත් වන්න.

ප්ලාස්‌ටික්‌ බේබි බෝතල්, සූප්පු, ළදරු නිෂ්පාදන භාවිත නොකරන්න.

කල් ගතවූ පරණ සහ පලුදු වූ ප්ලාස්‌ටික්‌ භාජන භාවිතයෙන් ඉවත් කරන්න. (අනුමත ප්ලාස්‌ටික්‌ වර්ගයකින් තනා ඇතත්)
ෙµdaලික්‌ අම්ලය අඩංගු ආහාර වැඩිපුර ආහාර වේලට එකතු කරගන්න. (පියලි සහිත ධාන්‍ය වර්ග, නැවුම්, තද කොළ පැහැති එළවළු, පලතුරු, කිරි, බිත්තර) බී. පී. ඒ. නිසා වර්ධනය වන කළලයට වන හානිය අඩපණ කිරීමට ෙµdaලික්‌ අම්ලයට හැකි බව, මීයන් ආශ්‍රිතව කර ඇති පර්යේෂණයකින් තහවුරු කරගෙන ඇත.

හැකි සෑම විටම සාම්ප්‍රදායික, විකල්ප ආහාර ඇසුරුම් කෙරෙහි උනන්දු වන්න. (පන් මළු, රෙදි මළු, මැටි භාජන, වීදුරු, පයිරෙක්‌ස්‌, මළ නොබැඳෙන වානේ, පෝසිලේන් භාජන වැනි)

දුර ගමනක්‌ යන විට තමන්ට අවශ්‍ය ජලය ඒ සඳහා සුදුසු බෝතලයකට රැගෙන යන්න.

පානීය ජල බෝතල් හෝ සිසිල් බීම බෝතල් මිලදී ගැනීම වෙනුවට සෞඛ්‍යයට වඩා හිතකර පෝෂණ ගුණයෙන් ද අනූන තැඹිලි ගෙඩියක්‌ මිලදී ගෙන පානය කරන්න.

විවිධ විෂ වර්ග හා ආසාදනවලට එරෙහිව ක්‍රියාත්මක වීමේ පුදුමාකාර හැකියාවක්‌ අපේ ශරීරයට ඇති බැවින් මේ බොහොමයක්‌ විෂ රසායනික ද්‍රව්‍යයන්වලින් අපේ ශරීර ආරක්‍ෂා කර දීමට ශරීරය සමත්ය. එහෙත් දිගින් දිගටම මෙවැනි කෘත්‍රිම විෂ වර්ග ඇතුල්වීම, තවදුරටත් දරා ගැනීමට අපේ ශරීරය අපොහොසත් වන මොහොතක්‌ එළැඹෙනු ඇත. එයට පෙර අපි කන බොන දේවල ඇත්තේ මොනවාදැයි දැනගෙන පූර්ව ආරක්‍ෂණ විධික්‍රම සලස්‌වා ගැනීම කොයි එකටත් හොඳයි නේද?

ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්‍ෂක - දියතලාව
gemunusaliyaprr@gmail.com
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.