නිරෝගි දරු ප්‍රසූතිය

දරු පිළිසිඳ ගැනීමක්‌ බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවක්‌ එය ඉටු වූ පසු බලාපොරොත්තු තබාගෙන සිටින්නේ නිරෝගී දරු ප්‍රසූතියකි.

නිරෝගී දරු ප්‍රසූතියක්‌ යනු නිසි කලට දරුවා ප්‍රසූත වීමය. එනම් චන්ද්‍ර මාසයට අනුව දස මාසයකිනි. සාමාන්‍ය දින දර්ශනයට අනුව එය මාස නවයක්‌ සහ දින හතකි. දිනවලින් නම් දින 280 කි. සතිවලින් නම් එය සති 40 කි.

මෙම කාලය සම්පූර්ණ වූ විට ගර්භාෂය තුළ වැඩෙන දරුවා ප්‍රසූතියට සූදානම් වේ.

දරු ප්‍රසූතිය ආයුර්වේදයේ උපමා කර ඇත්තේ ගසක හටගත් පලයකටය. එය හොඳින් පැසුණු විට තවදුරටත් ගසේ රැඳී තිබෙන්නේ නැත. එලෙසම කුස තුළ හටගත් කලළය ද වර්ධනය වී නිසි කාලය සම්පූර්ණ වූ විට ගර්භාෂයෙන් පිටතට පැමිණීමට සැරසේ. වෛද්‍යවරුන් සහ මාතෘ සේවක සේවිකාවන් සිදුකරනුයේ එම ස්‌වාභාවික ප්‍රසවය සිදුවීමට අවශ්‍ය පසුබිම සැකසීමය.

ආයුර්වේදයේදී දරු ප්‍රසවයක්‌ සඳහා සම්පූර්ණ විය යුතු කරුණු පහක්‌ ඇත.

නාඩි විභන්ධ, ස්‌වභාව, ගර්භවාස වයිරග්ග ගර්භ සම්පූර්ණතා සහ කාල ප්‍රකර්ශ යනු එම කරුණු පහය.

නාඩි විභන්ධ

නාඩි විභන්ධ යනු කුස තුළ වැඩෙන දරුවා වැදෑමහෙන් ඉවත්වීමට සූදානම් වීමය. වැදැමහට සම්බන්ධ වී ඇතිsතාක්‌ දරුවා පරපෝෂිතයෙකි. මවගේ සිරුරෙන් පෝෂණය ලබා ජීවත් වේ. නිසි කල සම්පූර්ණ වන විට වැදැමහෙන් ලැබෙන පෝෂණය අඩු වේ. එවිට දරුවා පෝෂණ ඌනතාවයකට ලක්‌වීම නිසා වැදෑමහෙන් ඉවත්ව දරු ප්‍රසූතියට සූදානම් වේ. එබැවින් නාඩි විභන්ධය යනු දරු ප්‍රසූතියේ ආරම්භයයි.

ස්‌වභාව

දරු ප්‍රසූතියකට නියමිත කාලයක්‌ ඇත. එය චන්ද්‍ර මාසයට අනුව මාස දහයක්‌ ද සාමාන්‍ය දින දර්ශනයට අනුව මාස නවයයි දින හතක්‌ ද ලෙස තීරණය වී තිබේ. මෙය අප නොදන්නා හේතුවක්‌ මත ඇති වූ ස්‌වාභාවික තත්ත්වයකි. එය වෙනස්‌ කිරීමට නොහැකිය. එබැවින් නීරෝගී දරු ප්‍රසූතියකට ස්‌වාභාවිකව සැකසී ඇති ක්‍රමවේදය පවත්වාගෙන යැමට අවධානය යොමුකළ යුතුය.

ගර්භවාස වයිරග්ග

මවගේ පෝෂණයෙන් පමණක්‌ යෑපෙන පරපෝෂිතයකු ලෙස කුස තුළ වැඩෙන දරුවා මාස නවය සම්පූර්ණ වන විට ගර්භාෂයෙන් ඉවත්වීමට සැරසෙන්නේ පෙර භවයේදී රැගෙන එන ෙච්තනාව අනුවය. වැදෑමහෙන් ලැබෙන පෝෂණය අඩුවීම නිසා එහි කැල්සියම් බැඳීම සිදුවේ. එසේම නිසි ලෙස ඔක්‌සිජන් ලැබීම ද අඩු වේ. එවිට තමාට මෙම පරිසරයේ ජීවත්වීමට නොහැකි බවට සිතුවිලි ඇති වී තනිව ජීවත්විය යුතු යෑයි යන සිතුවිලි පහළ වේ. ඒ අනුව ප්‍රසූතිය සඳහා දරු කළලය යොමු වේ.

ගර්භ සම්පූර්ණතා

කුඩා සෛල දෙකකින් ඇතිවන කළලය දින 280 ක්‌ සම්පූර්ණ වන විට මිනිස්‌ සිරුරක්‌ සහිතව අක්‌මාව, පෙනහලු, හෘදය වස්‌තුව, වකුගඩු, මොළය ආදී ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වයෙන් යුතුව වර්ධනය වී තිබේ. මාස අට සම්පූර්ණ වන විට පෙනහලු පෙරීම ඇති වේ. එවිට ස්‌වාභාවිකව හුස්‌ම ගැනීමේ හැකියාව උදා වේ. හෘදය, වකුගඩු ආදිය තනිව ක්‍රියාත්මක වීම ආරම්භ වේ. නියමිත බර සකස්‌ වීම, ප්‍රතිශක්‌තිය සම්පූර්ණ වීමත් සහ තනිව ජීවත්වීමට අවශ්‍ය පරිසරය සම්පූර්ණ වීමත් සමඟ ප්‍රසූතිය සඳහා යොමු වේ.

කාල ප්‍රකර්ශ

නියමිත කාලය සම්පූර්ණ වූ විට ගර්භාෂයේ තවදුරටත් රැඳී සිටීමට දරු කළලය සූදානම් නැත. එබැවින් මාස නවය සම්පූර්ණ වන විට හිස ප්‍රමුඛව යෝනි මාර්ගය ඔස්‌සේ ගර්භාෂයෙන් පිටතට පැමිණීමට දරු කළලය සූදානම් වේ. එවිට ගැබ් ගෙල විවෘත වීමට හටගනී.

මෙතෙක්‌ ස්‌වාභාවිකව වැසී තිබූ ගැබ් ගෙල නිසි කලට විවෘත වීමත් සමඟ ප්‍රසූතය ආරම්භ වේ. මෙය "ප්‍රවායිනී" ලෙස හඳුන්වයි.

මෙතැන් සිට යෝනි මාර්ගය ඔස්‌සේ දරුවාට එළියට ඒම සඳහා අවශ්‍ය පූර්ණ වශයෙන් ගැබ් ගෙල විවෘත වීම සිදුවේ. එහිදී දරුවා හිස හරවමින් බාහිරයට පැමිණීම සිදුකරයි. එය දරු ප්‍රසූතියේ දෙවැනි අවස්‌ථාව වේ.

දරුවා ගර්භාෂයෙන් සම්පූර්ණයෙන් ඉවත් වන විට වැදෑමහ ද ඉවත් වේ. එය අපරාපාතනය හෙවත් දරු ප්‍රසූතියේ තෙවැනි අවස්‌ථාවයි.

මෙලෙස ස්‌වාභාවිකව සිදුවන ප්‍රසූතය පහසු කරවීමට අවශ්‍ය පසුබිම සකසනු මිස එය කෘත්‍රීමව සිදුකිරීම එතරම් සුදුසු නැත.

එබැවින් ප්‍රථමයෙන්ම කළ යුත්තේ ගැබිනි මව දරු ප්‍රසූතියට බිය නොවීමය. දරු පිළිසිඳ ගැනීමකදී ඇති වූ සතුට සහ ආශාව හෝ දරු ප්‍රසූතිය සඳහා ද එම සතුට සහ ආශාව දෙගුණ තෙගුණ කරගත යුතුය. එවිට දරු ප්‍රසූතිය සඳහා කැමැත්ත ඇති වේ. එම කැමැත්ත මනස තුළ ඇතිවීමෙන් දරු ප්‍රසූතිය පහසු කරවන හෝමෝන ක්‍රියාකාරිත්වය ද සිරුර තුළ මතු වේ.

වර්තමානයේ බොහෝ මව්වරුන් ප්‍රසූතිය පිළිබඳව ඇතිකරගෙන සිටින වැරදි මත සහ අනියත බිය නිසා කෘත්‍රීම ක්‍රම මගින් දරුවා බිහිකිරීමට උත්සාහ කරයි. මෙම වැරදි මත සහ බිය නිසා දරු ප්‍රසූතියට අවශ්‍ය මානසික පසුබිම ඇති නොවේ. එවිට දරුවා ස්‌වාභාවික ලැබීමට බාධා මතු වේ. මෙය සෑම ගැබිනි මවක්‌ම අවබෝධ කරගත යුතුය. සැහැල්ලු මනසකින් කුසේ සිටින දරුවාට සෙනෙහස දයාව කරුණාව පතුරවමින් ඉතා සතුටින් යුතුව දරු ප්‍රසූතියකට සූදානම් වන ගැබිනි මවකගේ කුසින් බිහිවන්නේ සමාජයට යහපත් දරුවෙකි. එවැනි දරුවකු බිහි කළ මව ද ශ්‍රේෂ්ඨත්වයට පත් වේ.

ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.