රුසියාව පෙන්වා ලංකාව ගොනාට ඇන්දවීම හෙවත්
මාලබේ වෛද්‍ය විද්‍යාල අර්බුදය

තමන් අතින් ජාතියට දේශයට සිදුවෙමින් ඇති නිවැරැදි කළ නොහැකි බොහෝ දේ පිළිබඳ ඔවුහු සංවේදී නොවෙති. කර වටක්‌ ගිලී හිඳිනා දේශපාලන ගොහොරුවේ තව තවත් ගිලී නැහෙන්නට ස්‌වෙච්ඡාවෙන්ම වළිකන මිනිසුන් හිඳිනා රටකට සංවේදීතාවක අවැසිතාව ශූන්‍ය බව වටහා ගැනීම අසීරු නැත. ඒ නිසාම දේශපාලන නරා වළට පැන පණ නසා ගැනීමේ තරගයක යෙදී සිටින මිනිසුන්ගෙන්ම යෑපෙමින් ඔවුන්ටම වින කිරීමේ අප්‍රසන්න ක්‍රියාවලියක ආරම්භය සනිටුහන්වීමේ භයානකකමේ අනතුර හඟවමින් මේ සටහන ආරම්භ කරමු.

පද්මසිරි ත්‍රීමාවිතාන, සරත් කොල්ලුරේ, අතුල සේනාරත්න, වෙනුර එදිරිසිංහ වැනි වෛද්‍ය ශිෂ්‍ය නායකයන් නිදහස්‌ අධ්‍යාපනයේ නාමයෙන් දිවිදුන් ඒ අතීතය කිසිදා අමතක කළ නොහැකිය. 1981 වසරේදී උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ඒ වටිනා ජීවිත රටට අහිමි වූයේ යළිත් එවැනි විනාශයක්‌ රටේ නොසිදුවිය යුතුය යන්න හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නිදහස්‌ අධ්‍යාපනයට බාධාවක්‌ය යන්න සනිටුහන් කරමිනි. එදා උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමට එරෙහි වූ ශිෂ්‍යයන් මර්දනය කරන ලද්දේ ලේ ගංගා මැදිනි. උසස්‌ පෙළ කලා අංශයෙන් විභාගයට පෙනී සිටි සිසුන් පමණක්‌ නොව උසස්‌ පෙළ අසමත් සිසුහු ද මුදල් බලයෙන් ඊට ඇතුළත් වූහ. ක්‍රම ක්‍රමයෙන් ඊට එරෙහි විරෝධතා උත්සන්නවීමේ ප්‍රතිඵලයක්‌ ලෙස උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලයට අනුයුක්‌ත කෙරිණි.

ඉන් අනතුරුව 1998 වසරේදී තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක අනතුර හමුවේ රටේ දැඩි විරෝධතාවක්‌ උද්ගත විය. ඔස්‌ටේ්‍රලියාවේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයට අනුබද්ධව නාරාහේන්පිට කිරි මණ්‌ඩල මාවතේ පිහිටුවූ එම වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සිසුහු නඩු මඟට පිවිසියහ. ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ අනුමැතිය මත පිහිටුවූ නමුත් ඊට එරෙහිව එල්ල වූ දැඩි විරෝධතාව මත එම ව්‍යාපෘතිය හකුළා ගන්නට ආයෝජකයන්ට සිදුවිය.

              
වෛද්‍ය විද්‍යාල වෙබ් අඩවියේ විද්‍යාලය විදේශීය ආයතනයක්‌ බව සඳහන් වන අයුරු


යළි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ අනතුර සමාජයට එන්නේ ඇබර්ඩීන් ව්‍යාපෘතියෙන් වසර තුනකට පසුවය. එනම් 2001 වසරේදීය. එවර එය ක්‍රියාවට නැඟුණේ ටැන්සානියාවේ ජාත්‍යන්තර වෛද්‍ය සහ තාක්‍ෂණික විශ්වවිද්‍යාලයට අනුබද්ධ ව්‍යාපෘතියක්‌ ලෙසය. ඉන්දියාවේ විග්නන් අධ්‍යාපන පදනම මේ ව්‍යාපෘතිය භාරව කටයුතු කළේය. පුවත්පත් දැන්වීම් පළ කරමින් සිසුන් බඳවා ගැනීමට ඔවුන් කටයුතු කළ ද එම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබී නොතිබිණි. තමන් එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය නොදෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පුවත්පත් දැන්වීම් මගින්ම ප්‍රකාශයට පත් කර සිටියේය. 2001 වසරේදී නොපෙනී ගිය විග්නන් වෛද්‍ය විද්‍යාලය 2006 වසරේදී යළි කරළියට පැමිණියේය. එහෙත් ඒ සඳහා ද අවස්‌ථාව නොලැබිණි. සමාජයෙන් එල්ලවූ දැඩි විරෝධතා හමුවේ විග්නන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නොපෙනී ගියේය. වෛද්‍ය උපාධිය මුදලට අලෙවි කිරීමේ එම ව්‍යාපෘතිය සක්‍රීය කර ගැනීම සඳහා වරින්වර ගනු ලැබූ උත්සාහයන් ද සාර්ථක නොවීය. ප්‍රධාන වශයෙන්ම දේශපාලන තල්ලුවක්‌ නොලැබීම එය අසාර්ථකවීමට බලපෑ මූලිකම හේතුව බව විශ්වාස කළ හැකිය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉතිහාස කතාව එලෙස වුවද පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වර්තමාන කතාව අලුතින් ලියෑවෙමින් තිබේ. මෙවර එය ලියෑවෙමින් ඇත්තේ පූර්ණ දේශපාලන අනුග්‍රහය මතය. අප කවුරුත් කරඬුවක්‌ සේ හිස තබාගෙන යන දේශපාලනයේ අනුහසින් ලියෑවෙන මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කතාව රට හමුවේ දිග හැරෙමින් ඇත.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නැතහොත් දකුණු ආසියානු වෛද්‍ය හා තාක්‍ෂණික ආයතනය මෙරට පිහිටුවෙන්නේ 2009 වසරේදීය. එහි හිමිකරුවා වන්නේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාය. හෙතෙම හිටපු මහජන නියෝජිතයෙකි. මෙම ආයතනයට 2009 වසරේ සැප්තැම්බර් මාසයේදී ප්‍රථම ශිෂ්‍ය කණ්‌ඩායම බඳවා ගැනෙන්නේ රුසියාවේ "නිස්‌නි නොව්ගොරොද් රාජ්‍ය වෛද්‍ය ඇකඩමිය" මගින් වෛද්‍ය උපාධිය පිරිනැමීමේ පදනම මතය. සිසුන්ගේ සායනික පුහුණුව රුසියාවේදී ලබාදෙන බවද සඳහන් විය. නිස්‌නි නොව්ගොරොද් රාජ්‍ය වෛද්‍ය ඇකඩමියේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය ලෙස හඳුන්වමින් සිසුන් බඳවා ගැනීම ආරම්භ කළ ද අදටත් ඒ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබී නැත. වෛද්‍ය සභාවේ අනුමැතිය මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නොලැබෙන්නේ එහි සිසුන් දෙවසරක්‌ ශ්‍රී ලංකාවේ ද තවත් දෙවසරක්‌ රුසියාවේ ද අධ්‍යාපනය ලබන හෙයිනි. සිසුන් බඳවා ගැනීමේදී ආයතනය ප්‍රකාශයට පත් කළේ එලෙසිනි. සිසුන් ආයතනයට ඇතුළු වන්නේ ද දෙවසරක්‌ රුසියාවේ අධ්‍යාපනය ලැබීමේ අපේක්‍ෂාවෙනි. මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රුසියාවේ වෛද්‍ය ඇකඩමිය සමග සම්බන්ධ වූයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ දැනුම්දීම මතය යන්න දැන් පැහැදිලිය. මෙම ආයතනය පිහිටුවීම සඳහා 2008 වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩල අනුමැතිය ඉල්ලනු ලැබ ඇති අතර එහිදී ආයෝජන මණ්‌ඩලයේ එක්‌ කොන්දේසියක්‌ වී ඇත්තේ පිළිගත් විදේශ විශ්වවිද්‍යාලයක්‌ සමග සම්බන්ධ විය යුතු බවය. වහාම එම කොන්දේසිය සපුරාලූ ආයතනය සිය වෙබ් අඩවියෙන් ප්‍රකාශයට පත් කරන්නේ දකුණු ආසියානු කළමනාකරණ හා තාක්‍ෂණික ආයතනය විදේශීය අධ්‍යාපන ආයතනයක්‌ බවය. පළමු ශිෂ්‍ය කණ්‌ඩායම බඳවාගෙන වසරකට පමණ පසුව එනම් පසුගිය වසරේ ඔක්‌තෝබර් මස 4 වැනිදා ආයතන වෙබ් අඩවියේ සඳහන් වූයේ වෛද්‍ය උපාධිය පිරිනමනු ලබන්නේ නිස්‌නි නොව්ගොරොද් ඇකඩමියෙන් බවය. එමෙන්ම අවසන් වසර සායනික පුහුණුව රුසියාවේදී ලබාදෙන බවත් එහි සඳහන් විය. පළමු ශිෂ්‍ය කණ්‌ඩායම බඳවා ගන්නා විට රුසියානු වෛද්‍ය උපාධියක්‌ පිරිනමන බවට ආයතනය කළ ප්‍රකාශ මේ වන විට ශ්‍රී ලංකාවට විතැන් වී තිබේ. රුසියානු වෛද්‍ය උපාධිය පසෙක තිබියදී ආයතනය දැන් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ එම්. බී. බී. එස්‌. වෛද්‍ය උපාධිය පිරිනැමීමට තමන් සූදානම් බවය. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධි පිරිනැමීමේ බලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද කිසිදු පැකිළීමකින් තොරව අනුමත කර තිබේ. රුසියානු උපාධිය ශ්‍රී ලංකාවට මාරු කිරීම මහ කඡ්ජක්‌ නොවන බව පසක්‌ කරමින් ප්‍රතිපාදන කොමිෂන් සභා මහත්වරු උපාධි පිරිනැමීමේ බලය වෛද්‍ය විද්‍යාලයට ලබා දීමේ රහස කවුරුත් දැනගැනීම වැදගත්ය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපකුලපතිනිය ලෙස කටයුතු කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර මහත්මියය. ඇය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ද සාමාජිකාවකි. එපමණක්‌ ද නොවේ. ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඒ ඒ විෂයයන් සඳහා වන ස්‌ථාවර කමිටු පවතී. එහි දන්ත වෛද්‍ය හා වෛද්‍ය විෂයයන්ට අදාළ ස්‌ථාවර කමිටුවේ සභාපතිනිය වන්නේද චන්ද්‍රසේකර මහත්මියයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපකුලපතිනිය ලෙස හිඳිමින් එම විද්‍යාලයට උපාධි පිරිනැමීමේ අවසරය ලබාගැනීමේ සාකච්ඡාවලටද ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස නිල බලයෙන්ම සහභාගි වීමේ සදාචාරය කුමක්‌දැයි ප්‍රශ්න කළ යුතුය. තම ආයතනයට වරප්‍රසාද ලබාගැනීම සඳහා වරප්‍රසාද ලබාදෙන ආයතනයේ සාමාජිකත්වය දැරීමට හැකිවීමම මහාචාර්යවරිය ලද භාග්‍යයක්‌ ද නැතහොත් රටේ අභාග්‍යයක්‌ද යන්න තෝරා බේරාගැනීම වැදගත්ය.

අනෙක්‌ අතට විදේශීය ආයතනයක්‌ යෑයි තමන්ම කියා ගන්නා මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට උපාධි පිරිනැමීමේ ලයිසන් දීමේ අයිතිය දීම සඳහා ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගත්තේ කෙසේද යන්න හා ඇයිද යන්නත් ප්‍රශ්නයකි. විදේශීය ආයතනවලට ලයිසන් දීමේ බලය ප්‍රතිපාදන කොමිෂන් සභාවට හිමිවූයේ නීත්‍යනුකූලව ද නැතහොත් ස්‌වේච්ඡාවෙන් ම කොඳු කඩාගැනීමට පේවී සිටීමේ ප්‍රතිඵලයක්‌ ලෙසද යන්නත් විමසිය යුතුය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මහත්වරුන් හා නෝනලා වැටුප් ලබන්නේ විදේශයන්ගෙන් නම් විදේශ ආයතනවලට උපාධි පිරිනැමීමේ බලය ලබා දීමේ ගැටලුවක්‌ නැත. එහෙත් අපි දන්නා තරමින් නම් ඔවුන් වැටුප් ලබන්නේ මෙරට ජනතාවගේ බදු මුදලිනි. කාෂ්ටක අව්වේ දැවෙමින් දහදිය හෙළන කම්කරුවා උපයන සොච්චමද බද්දක්‌ වී ප්‍රතිපාදන කොමිසමේ ටයිකෝට්‌ පළඳින මහත්වරුන්ගේ වැටුපට එකතු වන බව මතක්‌කර දිය යුතුය. එහෙයින් ඔවුන්ගේ තීන්දු - තීරණ සමස්‌ත මහජනයා වෙනුවෙන් විනා එක්‌තරා පැලැන්තියක්‌ වෙනුවෙන් පමණක්‌ නොවිය යුතු වගත් සටහන් කළ යුතුය.ආරම්භයේදී රුසියානු වෛද්‍ය උපාධියක්‌ පිරිනමන බව ප්‍රචාරය කළද රුසියාවේ නිෂ්නි නොව්ගොරෝද් ඇකඩමිය ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලයක සම්බන්ධයක්‌ ගැන කිසිවක්‌ නොදන්නා බව එම ආයතනයම ප්‍රකාශ කර ඇත. මුල සිටිම සිසුන් මුලා කිරීමට සම්බන්ධ වූවන් පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවධානය යොමු කළේද? ආයතනයට නීතිමය තත්ත්වය ලබාදීමට පෙර ඒ පිළිබඳවත් අවධානය යොමු කළේ නම් කෙතරම් අගනේද.....?

උපාධි පිරිනැමීමේ බලය වෛද්‍ය විද්‍යාලයට පිරිනමන තීන්දුව ප්‍රතිපාදන කොමිසම ගන්නා අවස්‌ථාව වන විටත් එහි සිසුන්ට සායනික පුහුණුව සඳහා රජයේ රෝහලක්‌ සොයා ගැනීමට හැකිවී තිබේද? නැත. වෛද්‍යවරයෙක්‌ බිහිකිරීම ප්‍රගතිශීලී මානයේ සිට විහින් කොඳු නාරටි බිඳ ගනිමින් සුවච කීකරු තත්ත්වයට පත්වීම තරම් පහසු නොවන බව කවුරු කවුරුත් මතක තබාගත යුතුය. නිසි පරිදි සායනික පුහුණුවක්‌ නොලැබ වෛද්‍යවරයකු ලෙස සමාජයට එන පුද්ගලයන්ගෙන් වෛද්‍ය උපදෙස්‌, ප්‍රතිකාර ලබාගැනීමට ඒ අවසරය ලබාදුන් කොමිසමේ සාමාජිකයන්ම සූදානම් විය යුතු යෑයි අපි සිතමු. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයීය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා තෝරාගත් තලංගම, හෝමාගම පමණක්‌ නොව අවිස්‌සාවේල්ල යන රෝහල්වලින් ඒ අවසරය නොලැබිණි. මේ අසාර්ථකවීම රැඳී ඇත්තේ වෛද්‍ය විද්‍යාලය ආරම්භයේදීම ඒ සඳහා ක්‍රමවේදයක්‌ නොවූ හෙයින් නොවේ නම් අන් කවරක්‌ද? වෛද්‍ය සිසුවකු සිය අවසන් දෙවසරේදී වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, ළමා සහ ප්‍රසව හා නාරි යන අංශ පිළිබඳ අධ්‍යයනය කළ යුතුය. ඒ සඳහා සායනික පුහුණුව අත්‍යවශ්‍ය වෙයි. මාලබේ සිසුන්ට පෙර කී රෝහල්වල සායනික පුහුණුව සඳහා අවසරය ලබාදුන්නද එම රෝහල් වෛද්‍ය සිසුවකුගේ සායනික පුහුණුවට ප්‍රමාණවත් නැත. වෛද්‍ය සිසුවකු සායනික කටයුතු කළ යුතු වන්නේ ශික්‍ෂණ රෝහලකදී වග මතක්‌ කිරීමට සිදුව තිබේ. මහාචාර්යවරුන් විසින් පාලනය කරන වාට්‌ටු ශික්‍ෂණ රෝහල්වල තිබේ. ඒවායේ විශේෂඥ වෛද්‍යවරු ද සිටිති. වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවේ ද මූලිකත්වය ගන්නේ ඔවුන්ය. විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨවල ද ඔවුහු උගන්වති. මාලබේ සිසුන්ට රජයේ රෝහල් නොලැබීම නිසා සායනික කටයුතු සඳහා පෞද්ගලික රෝහල් සොයා ගෙන ඇතැයි උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා කියා සිටියේය. ශික්‍ෂණ රෝහලකදී සිසුන්ට ලැබෙන සායනික පුහුණුව පෞද්ගලික රෝහලකදී ලබාගත හැකිද යන්න විමසා බැලිය යුතු ප්‍රශ්නයකි. පෞද්ගලික රෝහලකට රෝගියෙක්‌ ඇතුළත් වන්නේ එක්‌ වෛද්‍යවරයකු චැනල් කිරීමෙනි. එලෙස ඇතුළත් වන රෝගියාට වෛද්‍ය උපදෙස්‌ හා ප්‍රතිකාර ලබා දෙන්නේ අදාළ වෛද්‍යවරයා පමණි. වෛද්‍ය සිසුන්ගේ විවිධාකාර ප්‍රශ්නවලට පිළිතුරු දීමට පෞද්ගලික රෝහලකට ඇතුළත් වන රෝගීන් සූදානම්ද...? අනෙක්‌ අතට ශික්‍ෂණ රෝහල්වල රෝගීන් අසල සිට වෛද්‍ය සිසුන්ට ඉගැන්වීමේ ක්‍රමවේදය පෞද්ගලික රෝහල්වල කළ හැකිද? එපමණක්‌ නොවේ. පෞද්ගලික රෝහල්වලදී සිසුන්ට ඉගැන්වීමේ වගකීම ගනු ලබන්නේ කවුරුන් විසින්ද? පෞද්ගලික රෝහල්වල වෛද්‍යවරු ඒ වගකීම ගනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිද? පෞද්ගලික රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ට අවශ්‍ය අවස්‌ථාවකදී රෝහලෙන් රෝහලට මාරු විය හැකිය. එවැනි අවස්‌ථාවකදී සිසුන්ගේ වගකීම පැවරෙනු ඇත්තේ කාහටද...? ශික්‍ෂණ රෝහලකින් සිසුන් ලබා ගන්නා දැනුම පෞද්ගලික රෝහලකින් ලැබිය හැකිද? යන ප්‍රශ්නයට නම් පිළිතුර "නැත" යන්නටය.

මාලබේ වෛද්‍ය විද්‍යාලයීය සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා මෘතශරීර ලබාගැනීමේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ද ගැටලු පවතී. වෛද්‍ය පීඨවලට පරිත්‍යාග කෙරෙන මෘතදේහයන් හොර පාරෙන් මාලබේට යන්නේද යන සැකය ද ඇතැම් පිරිස්‌ අතර පවතී. මාලබේ වෛද්‍ය විද්‍යාලයේ ආරංචි මාර්ගවලට අනුව එහි මෘතශරීර තිහක්‌ පමණ ඇත. ඒවා තබා ගැනීමේ නීතිමය තත්ත්වය කුමක්‌ද යන්න අපැහැදිලිය. යම් පුද්ගලයකුට අවශ්‍ය නම් එම ආයතනයට මෘතශරීර අලෙවි කිරීමට නොහැකිද? එහි කපා කොටා ඇති මෘත දේහයක්‌ තමාගේ අහවලයා යෑයි සැක කරන බව කිසිවකු ප්‍රකාශ කළහොත් උද්ගත විය හැකි තත්ත්වය කුමක්‌ද? මෙවැනි ගැටලු සහගත තත්ත්වයන්ට පිළිතුරු අවශ්‍යය.

එමෙන්ම වෛද්‍ය පීඨයන්හි ආචාර්ය මහාචාර්යවරු විශාල වශයෙන් මාලබේට සම්බන්ධ වීමට උත්සාහ කළහොත් වෛද්‍ය පීඨවල දක්‍ෂ සිසුන්ට අත්වන ඉරණම සම්බන්යෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවධානය යොමුකර තිබේද...? (වෛද්‍ය පීඨ ආචාර්ය මහාචාර්යවරුන්ගේ නම් රැසක්‌ දැනටම ඔවුන්ගේ වෙබ් අඩවියට අන්තර්ගත කර ඇත.) සිසුන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට කලින් .Fදරුසටබ. මාලබේ ඒ සියල්ල හලා ක්‍ෂණිකවම .ඵඊඊS. වීම කෙතරම් සදාචාරාත්මකද? ඒ සඳහා අවසර දීම කෙතරම් යුක්‌ති සහගතද....? මාලබේ රැක ගනිමින් මහ ඉහළ තැනකට ඔසවන්නට ස්‌වේච්ඡාවෙන් හෝ කිසියම් බලපෑමක්‌ මත හෝ වළිකන ප්‍රතිපාදන කොමිෂන් සභාව රජරට විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් දරන ස්‌ථාවරය කුමක්‌ද? එහි පහසුකම් නංවාලමින් වැඩි සිසුන් ප්‍රමාණයක්‌ බඳවා ගන්නට මාලබේ රැකගැනීමේ මෙහෙයුම මෙන් ක්‍ෂණික මෙහෙයුමක්‌ ක්‍රියාවට නොගන්නේ ඇයි?

කෙසේ වුවද ප්‍රතිපාදන කොමිසමේ පූර්ණ එකඟතාව මත උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා මාලබේට එම්. බී. බී. එස්‌. උපාධි පිරිනැමීමේ අවසරය පිළිගන්නා ගැසට්‌ නිවේදනය නිකුත් කර ඇත. අංක 1701/19 දරන එම ගැසට්‌ නිවේදනයට අනුව සිය කටයුතු පවත්වාගෙන යැමේ නීත්‍යනුකූල අයිතිය දකුණු ආසියානු වෛද්‍ය හා තාක්‍ෂණ ආයතනයට හිමි වී තිබේ. ගැටලුව වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය නොලද ඒ ආයතනයට නීත්‍යනුකූල තත්ත්වයක්‌ හිමිවීමය. සිසුන්ගේ සායනික පුහුණුව සඳහා රජයේ රෝහලක්‌ සොයාගැනීමට නොහැකි ඒ ආයතනයට නීත්‍යනුකූල තත්ත්වයක්‌ හිමිකර දීමය. සියල්ල නීතියට පිටින් සිදුවී ඇතැයි කිවහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවේ. සියල්ල පූර්ණ දේශපාලන අනුග්‍රහය මත සිදුවී ඇතැයි කිවහොත් එය ද අතිශයෝක්‌තියක්‌ නොවේ. විදේශ වෛද්‍ය උපාධිධාරීන්ට ශ්‍රී ලංකාවේ සේවය කිරීම සඳහා සමත් විය යුතු විභාගයට පෙනී සිටීමට ද මාලබේ සිසුන්ට අවශ්‍ය නැත. ඉදිරියේදී විදේශ වෛද්‍ය උපාධිධාරීන්ද විභාගයකින් තොරව ශ්‍රී ලංකාවේ සේවය කිරීමට අවස්‌ථාව දෙන්නැයි ඉල්ලා සිටිය හොත් උද්ගත විය හැකි තත්ත්වය කුමක්‌ද? මාලබේ සිසුන්ට ඒ විභාගය අනවශ්‍ය නම් විදේශ වෛද්‍ය උපාධිධාරීන්ටත් එය අනවශ්‍ය යෑයි තර්ක කළ නොහැකිද.......?

උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ගැසට්‌ නිවේදනයෙන් කරන්නේ සියලු අවශ්‍යතා සපුරාලීමෙන් පසුව වෛද්‍ය විද්‍යාලයේ උපාධිය පිළිගන්නා බවය. එවිට වර්තමානයේ එහි අධ්‍යාපනය ලබන සිසුන්ට ඇති වන තත්ත්වය කුමක්‌ද.........? ඔවුන් රුසියාවට ගොස්‌ උපාධිය සම්පූර්ණ කළ යුතු යෑයි එස්‌.බී. දිසානායක ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලය ගැන නොදන්නා බව නොව් ගොරෝද් ඇකඩමිය ප්‍රකාශ කර ඇති අවස්‌ථාවක මෙහි සිසුන් යා යුත්තේ කොහේ දැයි ඇමැතිවරයාම තීරණය කළ යුතුය.

නිලන්ත මදුරාවල

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.