කුමන්ත්‍රණයේ මංගල දර්ශනය

ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කරනු සඳහාත්, ශ්‍රී ලංකාව කොන් කරනු සඳහාත්, ශ්‍රී ලංකාවට දඬුවම් පමුණුවනු සඳහාත්, ජාත්‍යන්තර යුක්‌තියක මුවාවෙන් ගොතන ලද මහත් ජාත්‍යන්තර අයුක්‌තියක ප්‍රකාශනය වූ දරුස්‌මාන් වාර්තාව පසුගිය කාලයේ එක එක තැන්වල එක එක පුද්ගලයන් ළඟ තිබුණේය.

එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතාගේ කාර්යාලයේ ෆොටෝ කොපි යන්ත්‍රයෙන් දහස්‌ ගණනින් පිටපත් නිකුත් කිරීමට පෙරද එහි පිටපත් සමහරුන් අත තිබුණේය.

එල්ටීටීඊ ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානීන් ඒ අතර ප්‍රධානය.

අපේ පැරැණි කවි කොළ කාරයකු අපට සිහිගන්වමින් "ජාත්‍යන්තර හන්දියක්‌", "බස්‌ පොළක්‌", "දුම්රිය පොළක්‌" ගානේ රබානක්‌ද වයමින් මෙම වාර්තාව ඇතුළත් පත්‍රිකාව බෙදාහළ බෑන් කී මූන් මහතා මින් ලබාගත් චූන් එක කුමක්‌ද යන්න වටහා ගැනීමට තවම කල් මදිය.

එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වශයෙන් තමන්ට උපදෙස්‌ දීමට තමන් විසින්ම පත්කොට ගත් කමිටුවක්‌ මගින් සපයාගනු ලැබූ තොරතුරු නිල වාර්තාවක්‌ නොවන්නේ යෑයි ප්‍රකාශ කරමින්ම්, එය අතනට මෙතනට රිංග වීමට ඔහු ගත් උත්සාහයද පෙරකී ඔහුගේ "චූන්" එකටම අදාළ කාරණාවකි.

කෙසේ වුවත් දැන් එය ස්‌විස්‌ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් සමුළුවට රිංගවා තිබෙන බව සැළය.

රිංගවා ඇත්තේද පස්‌සා දොරිනි.

සැප්තැම්බර් 12 දා ඇරඹි 30 දා දක්‌වා පැවැත්වෙන ජගත් මානව හිමිකම් සමුළුවේ කිසිදු න්‍යාය පත්‍රයක දරුස්‌මාන් වාර්තාව පිළිබඳ නිල සඳහනක්‌ නැත.

මොකාගේ හෝ නිල නොවන වාර්තාවක්‌ නිල නොවන ආකාරයකින් ජාත්‍යන්තර සමුළුවකට රිංගවීම, ජාත්‍යන්තර සමුළු සම්ප්‍රදායේ කවර සදාචාරයක්‌, කවර යුක්‌ති සහගත ස්‌වභාවයක්‌, කඩකරන්නේද යන්න පිළිබඳව වගවීම සමුළුව පවත්වන උන්දලාගේම ප්‍රශ්නයක්‌ විය හැකිය.

එහෙත්, රටක්‌ අනතුරක හෙළීමට දැනුවත්ව සහ දුෂ්ට ෙච්තනාවෙන්ම සම්පාදනය කරන ලද ලියෑවිල්ලක්‌ එබඳු වංචනික ආකාරයකින් ජාත්‍යන්තර සමුළුවක සාකච්ඡාවට ගැනීම එම සමුළුව කෙසේ වෙතත් මානව හිමිකම් නමින් ලෝකය විසින් හඳුනා ගන්නා සියලුම දේ උඩුයටිකුරු කරනු ලැබීමක්‌ වන්නේමය.

දරුස්‌මාන් වාර්තාව මෙම මානව හිමිකම් සමුළුව වෙත ගෙන ඒම සඳහා යුරෝපා කොටි ජාලය යුරෝ මිලියන පහක්‌ දැනට වැයකර ඇතැයි වාර්තාවේ.

ඊට අමතරව මෙම ක්‍රියාදාමය පිටුපස එල්ටීටීඊ ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාකාරකයෝද, එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් පෙනී සිටින (කොටි වෙනුවෙන් අපි) ශ්‍රී ලාංකික මාධ්‍යකරුවෝ පිරිසක්‌ ද වෙති.

ඉන් එකකු මෙම සමුළුවේ එක්‌ අවස්‌ථාවක ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කළ මාලදිවයින් ජනාධිපතිවරයාට කොටියකු මෙන් "බිරුවේය."

"රටක ජනතාව පෙනී සිටිය යුත්තේ තමන්ගේ මව්බිම වෙනුවෙන් මිස රටේ සතුරන් වෙනුවෙන් නොවේය" යන උදාර ප්‍රකාශයෙන් ඒ කොටි ගැත්තා නරියකු බවට පත් කරමින් නිහඬ කළ මාලදිවයින් ජනාධිපතිවරයාට අපගේ ගෞරවය හිමිවිය යුතුය.

කුමක්‌ වුවත් ජගත් මානව හිමිකම් සමුළුව ශ්‍රී ලංකාවට එරෙහි සකල විධ ද්‍රෝහීන් සහ සකල විධ සතුරන් පෙළගස්‌වා පෙන්වයි.

ජාත්‍යන්තර තලයේදී ඔවුන් පරාජය කිරීමේ යුතුකම හා වගකීම පවත්නේ ඒ සඳහා අනලස්‌ව නියෑළෙන අපගේ රාජ්‍ය දූතයන් අත පමණක්‌ නොවේ, රටේ සහ ලෝකය පුරා විසිරී සිටින සියලු ශ්‍රී ලාංකික රටවැසියන් අත ද වේ.

ඒ, මේ සියල්ල දෙස දැඩි අවධානයකින් සිටීමෙනි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.