අල්ලස්‌ දූෂණවලිනුත් වාර්තාවක්‌

ශ්‍රී ලංකාව යනු මොන අතින් බැලුවත් වාර්තාවලට ප්‍රසිද්ධ රටකි. හොඳ දේවල් හෙවත් හොඳ වැඩ පිළිබඳව මොන තරම් වාර්තා තැබුවත් ප්‍රශ්නයක්‌ නැත. එය රටට මෙන්ම ඒ රටේ ජීවත් වන පුරවැසියන් වන අපට ද ආඩම්බරයකි. එහෙත් මෑතක සිට මේ රටේ අපට වැඩිපුරම අසන්නට ලැබෙන්නේ හොඳ නොව නරක පිළිබඳ වාර්තාය.

පසුගිය දිනවල අපට ඇසුණේ බාල පෙට්‍රල්, බාල සිමෙන්ති, බාල යකඩ වැනි බාල වාර්තාය. මේ බාල වාර්තා වල හිමිකරුවන්ට කුමක්‌ සිදු වී ඇත්දැයි අපි නොදනිමු. එහෙත් බාල පෙට්‍රල්වල මෙන්ම බාල සිමෙන්ති වාර්තාවල විපාක රටට ලැබුණු බව නම් අපි දනිමු. බාල පෙට්‍රල්වලට රජය වන්දි ගෙවීමට යන බවද වාර්තා වේ. ඒ වන්දි ගෙවන්නේ ඛනිජ තෙල් ඇමැතිතුමාගේ සාක්‌කුවෙන් හෝ ඒ බාල පෙට්‍රල් ගෙන්වූ නිලධාරීන්ගේ සාක්‌කු වලින් හෝ නොවන බවද අපි දනිමු.

බාල සිමෙන්තිවල ප්‍රතිඵල නුදුරු අනාගතයේදී අපට ලබා ගත හැකි වනු ඇත. බාල සිමෙන්තිකාරයෝද මොන සෙප්පඩ විඡ්ජාවකින් හෝ ජාම බේරා ගත්හ. බඩුත් හාමුදුරුවන්ගේ වී නඩුත් හාමුදුරුවන්ගේ වන විට මේ ඕනෑම බාල වැඩක්‌ කර ජාම බේරා ගැනීම ද අසීරු නැති බව අමුතුවෙන් කිව යුතු ද නැත.

කෙසේ හෝ මේ බාල වාර්තා අතරට එක්‌ කළ හැකි අමුතුම බාල වාර්තාවක්‌ ගැන "දිවයින" පසුගිය සෙනසුරාදා (17) වාර්තා කර තිබිණි. ඒ අන්තිම බාල වාර්තාවක්‌ පමණක්‌ නොව ලැඡ්ජා සහගත හා නරකම වාර්තාවක්‌ ද වන අල්ලස්‌ හා දූෂණය පිළිබඳ වාර්තාවකි. එම වාර්තාවට අනුව මේ රටේ රාජ්‍ය අංශයෙන් පමණක්‌ දිනකට දූෂණ හා වංචා පිළිබඳව පැමිණිලි 25 ක්‌ ලැබේ.

මෙසේ දිනකට දූෂණ වංචා ගැන පැමිණිලි 25 ක්‌ ලැබෙන බව කියන්නේ ද වෙනත් අයකු නොව අල්ලස්‌ හා දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාය. බාලපටබැඳි මහතා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ද වූ ගෞරවනීය මහත්මයෙකි.

මේ දූෂණ හෝ වංචා පිළිබඳ සියලුම චෝදනා සත්‍යය දැයි අපට නිශ්චිතව කිව නොහැක. එහෙත් මෙයින් වැඩි හරියක්‌ම සත්‍ය විය යුතුබව අපට අනුමාන කළ හැකිය. අද දූෂණය හා වංචාව සාමාන්‍ය දෙයක්‌ බවට පත්ව තිබේ දැයි සිතෙන තරමටම එබඳු චෝදනා දස දෙසින් නැගෙයි. ඇසෙයි.

දේශපාලනඥයන් හා ඔවුන්ගේ ගෝල බාලයින් විසින් කරනු ලබන දූෂණ, වංචා හා අල්ලස්‌ ගැන විවෘත චෝදනා තිබේ. රුපියල් මිලියන ගණනින් ගිණුම්වලට දාගත් දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව ගන්නා ලද කිසිදු පියවරක්‌ පිළිබඳව ද අපි අසා නැත්තෙමු. දේශපාලන වැඩකටයුතු වලට මිලියන දහස්‌ ගණනින් එහාට මෙහාට ගිය ආකාරය ද ඒ වේදිකාවලින්ම ඇසෙයි. එහෙත් මේ තරම් සල්ලි කන්දරාවක්‌ ඔවුන්ට හිමි වූයේ කෙසේ දැයි ඇසීමට අල්ලස්‌ විමර්ශන අංශවලට හෝ ශක්‌තියක්‌ නැත.

කොහොමටත් මේ රටේ අල්ලස්‌ දැලට ඉඳහිට හෝ අසු වන්නේ හාල්මැස්‌සන් බව ද අපි දනිමු. දේශපාලන සෙවණ හා අනුග්‍රහය යටතේ දරුණු ලෙස මෙම අල්ලස්‌ හා දූෂණ පිළිලය වර්ධනය වන බවද රහසක්‌ නොවේ. එහෙත් කිසිම දේශපාලනඥයකු අඩු තරමේ අල්ලස්‌ කොමිසමට හෝ කැඳවීමට තරම් ප්‍රබල නීති අපට තිබේද?

දේශපාලනඥයන්ට හා රජයේ ඉහළම නිලධාරීන්ට සිය වත්කම් හෙළි කළ යුතු බවට නීතියක්‌ ද තිබේ. එහෙත් කීදෙනෙක්‌ මේ අනුව ක්‍රියාකර තිබේ දැයි අපි නොදනිමු. අඩු තරමින් මැතිවරණ කොමසාරිස්‌වරයාවත් මේ වත්කම් ප්‍රකාශන ගැන උනන්දු වන්නේ දැයි අපට නම් නොපෙනේ.

අද අල්ලස හා දූෂණය ටෙලිනාට්‍ය හා ගීත ක්‍ෂෙත්‍රවල ද මුල් බැස ගෙන ඇතැයි කියති. ඕනෑම කුණු ටෙලිනාට්‍යයක්‌ අත යට ගනුදෙනුවක්‌ ගෙවා විකාශය කරවා ගත හැකිලු· අපි ඒ ගැන නොදනිමු. එහෙත් අද විකාශය වන ඇතැම් ටෙලිනාට්‍ය නරඹද්දීත් ඇතැම් ගීත අසද්දීත් මේ රටේ ජනතාව මේ තරම් අවරගණයේ රසඥතාවක්‌ තිබෙන පිරිසක්‌ දැයි සැක සිතෙන තරම්ය.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ද අද තිබෙන ඇතැම් ටෙලිනාට්‍ය ඉතා දුර්වල හා අඩුම තරමින් භාෂාව පිළිබඳව හෝ නොසලකන අවරගණයේ ඒවා බවට විවේචනයක්‌ ද කර ඇත. ඒ ටෙලිනාට්‍ය සඳහා ප්‍රමිතියක්‌ ඇති කරන ලෙස අදාළ අයගෙන් ඉල්ලා ඇති බවද කියති.

මේ සියලු දේවල් අප දැක්‌වූයේ අල්ලස, දූෂණය හා වංචාව සම්බන්ධයෙන්ය. එසේම ඒවා වැළැක්‌වීමට තිබෙන විධි විධාන ද ඉතා අල්ප බව කිව යුතුය. මෙම චෝදනා විමර්ශනය කිරීමට ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක්‌ ද නොවෙතියි මෙම කොමිසමේ සභාපතිවරයාම කියයි. කලක්‌ තිස්‌සේ ස්‌වභාවිකව මිය යැමට සැලැස්‌වූ කොමිසම දැන් පණගන්වා තිබුණත් එය එබඳු ප්‍රශ්නවලට මැදි වී තිබේ නම් එයින් ලබාගත හැකි සේවය කුමක්‌ද?

අල්ලස, දූෂණය, වංචාව සම්පූර්ණයෙන්ම මැඬලිය නොහැකි බව ඇත්තය. එහෙත් මහ දවල් මං පහරන්නා සේ ප්‍රසිද්ධියේ කෙරෙන අල්ලස්‌ දූෂණ වංචා පිළිබඳව විමසා බැලීම මෙන්ම එවාට දඬුවම් දීම ද යහපත් සමාජයක්‌ ගොඩනැංවීමට අත්‍යවශ්‍ය දෙයක්‌ බව අපි කියා සිටිමු.

ලැඡ්ජා බිය නැති සමාජයකට පැවැත්මක්‌ නැත. අල්ලසට, දූෂණයට, වංචාවට බිය නැත්තේ ද එබඳු විළි බිය නැත්තෝ ය. එබඳු සමාජයක්‌ වර්ධනය වීම යනු අතිශය බිහිසුණු තත්ත්වයකි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.