අස්‌වැන්නෙහි ආරක්‍ෂකයා වූ ගම්පහ ටැම්පිට විහාර



ශ්‍රී ලාංකීය ආරාමික වාස්‌තු විද්‍යාව තුළ ක්‍රි.ව. 18-20 සියවස්‌ කාලයේදී හමුවන වාස්‌තු විද්‍යාත්මක නිර්මාණ විශේෂයක්‌ වන ටැම්පිටවිහාර තත්කාලීන ශ්‍රී ලාංකීය සමාජයේ තාක්‍ෂණය, කලාව, ආගමික සංකල්ප හා සමාජ, ආර්ථික වටපිටාව පිළිබඳව තොරතුරු රැසක්‌ අනාවරණය කරන පුරාවිද්‍යා ස්‌මාරක විශේෂයකි. ගල් කණු සිටුවා ඒවා මත දැව බාල්ක යොදා ඊට උඩින් ලෑලි අතුරා දැව බාල්ක මත වරිච්චි බිත්ති බැඳ බුදුපිළිමයක්‌ ප්‍රධාන පූජනීය වස්‌තුව ලෙස තැන්පත් කිරීම සඳහා නිර්මාණය කරන ගොඩනැඟිල්ල ටැම්පිටවිහාරයක්‌ වශයෙන් හඳුනාගත හැකිය. මෙම ගොඩනැඟිලි සම්ප්‍රදාය දිවයිනේ බොහෝ දිස්‌ත්‍රික්‌කවල සුළු වශයෙන් හෝ දක්‌නට ලැබෙන අතර කුරුණෑගල හා කෑගල්ල දිස්‌ත්‍රික්‌කවලින් අනුපිළිවෙළින් වැඩිම ප්‍රමාණයක්‌ වාර්තා වී තිබේ. ගම්පහ, මාතලේ හා මහනුවර දිස්‌ත්‍රික්‌කවලද ටැම්පිට විහාර සැලකිය යුතු සංඛ්‍යාවක්‌ දැකිය හැකිය.

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ටැම්පිටවිහාර

ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයට අයත් ගම්පහ දිස්‌ත්‍රික්‌කය, ටැම්පිටවිහාර බිහිවීමට බලපෑ දේශගුණික, ආර්ථික ආගමික හා සමාජීය වාතාවරණයන් ගෙන් යුක්‌ත වූ ප්‍රදේශයකි. ටැම්පිට විහාර නිර්මාණය වූ වෙනත් ප්‍රදේශ සමඟ සස¹ බැලීමේදී, සමානතා මෙන්ම විෂමතාවයන් හා සුවිශේෂී තත්ත්වයන්ද හඳුනාගත හැකිවේ. ගම්පහ දිස්‌ත්‍රික්‌කය තුළ වර්තමානයේ දක්‌නට ලැබෙන ටැම්පිටවිහාර ප්‍රමාණය දහයකි.

1. අටුපොත්දෙණිය, 2. මොට්‌ටුන්න

3. මැටිකොටුමුල්ල 4. යටවත්ත

5. වරපලාන 6. රද්දල්ගොඩ

7. ගනේවත්ත 8. මාහල්ඔළුව

9. හපුවලාන 10. අනුරාගොඩ

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ටැම්පිටවිහාර වැඩි ප්‍රමාණයක්‌ නිශ්චිතව කාලනිර්ණය කිරීමට ප්‍රමාණවත් සාධක නොලැබෙන අතර චිත්‍ර හා මූර්තිවල ශෛලීය ලක්‍ෂණ හා වාස්‌තු විද්‍යාත්මක අංගයන්හි විකාශනය මේවා කාලනිර්ණය කිරීමේදී ප්‍රයෝජනවත් වේ. සමස්‌තයක්‌ වශයෙන් මෙම ටැම්පිටවිහාර ක්‍රි.ව. 18 සියවස සිට ක්‍රි.ව. 20 වන සියවස දක්‌වා කාලයට කාලනිර්ණය කළ හැකිය.
 

පුරාණ භූ දර්ශනය හා ටැම්පිටවිහාර

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ටැම්පිටවිහාර අතරින් බහුතරයක්‌ නිශ්චිත රටාවකට අනුව පුරාණ භූ දර්ශනය තුළ ස්‌ථානගත වී ඇති බව නිරීක්‍ෂණය කිරීමට පිළිවන. ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ටැම්පිටවිහාර සියල්ලම පාහේ කුඹුරුවලට ආසන්නව පිහිටා ඇති අතර මෙම ටැම්පිට විහාර දහයෙන් නවයක්‌ කුඹුරුවලට මුහුණලා තිබේ. ටැම්පිට විහාර හා කුඹුරු අතර දුර ප්‍රමාණය සාමාන්‍යයෙන් මීටර 10 ක්‌ 250 ක්‌ අතර අගයක්‌ ගනී. නමුත් ඒවා මුහුණලා ඇති දිශාව එකිනෙකට වෙනස්‌ වේ. මේ විහාරස්‌ථානවල ප්‍රවේශ මාර්ග ඇතැම්විට ටැම්පිටවිහාරයේ ප්‍රවේශයට ප්‍රතිවිරුද්ධ දිශාවලින් යොමුවී ඇති අතර සමහර අවස්‌ථාවලදී පැරණි ප්‍රවේශ මාර්ග සම්බන්ධයෙන්ද ඒ හා සමාන තත්ත්වයක්‌ පැවති බව පෙනීයයි.



ටැම්පිටවිහාර නිර්මාණය වූ ක්‍රි.ව. 18 සියවස සිට ක්‍රි.ව. 20 වන සියවසේ ආරම්භය දක්‌වා වූ කාලවකවානුව තුළ දිස්‌ත්‍රික්‌කය තුළ පැවැති කුඹුරුවල ව්‍යාප්තිය හා වර්තමානයේ ඒවායේ ව්‍යාප්තිය එක හා සමානද? යන්න මෙහිදී පැනනගින ප්‍රශ්නාර්ථයකි. මෙම කාලවකවානුවල දිස්‌ත්‍රික්‌කයේ කුඹුරුවල ව්‍යාප්තිය සම්බන්ධයෙන් බොහෝදුරට සමාන තත්ත්වයක්‌ පවතින බවත් දැනට පවතින කුඹුරු සියල්ලම පාහේ ටැම්පිටවිහාර නිර්මාණය වූ අවධියේදී ද පවතින්නට ඇති බවත් විශ්වාස කිරීමට තුඩුදෙන සාධක පවතී. ටැම්පිට විහාර නිර්මාණය වූ අවධිය හා වර්තමානය අතර කාල පරාසය දළ වශයෙන් වසර 100 ත් 300 ත් අතර වේ. කිසියම් ප්‍රදේශයක කුඹුරු නිර්මාණය කරනු ලබන්නේ එම ප්‍රදේශනයේ පවතින භූ රූප විද්‍යාව, ජල වහනය හා පස වැනි සාධකවලට අනුරූපවය. මෙම තත්ත්වය තුළ සෑම ස්‌ථානයකම කුඹුරු කිරීමේ හැකියාවක්‌ නොමැත. ක්‍රි.ව.20 වන සියවසේදී දිස්‌ත්‍රික්‌කය තුළ නව වාරිමාර්ග ක්‍රම නිර්මාණය කර අලුතින් ඉඩම් සැලකිය යුතු මට්‌ටමකින් වී වගාව සඳහා යෙදවීමක්‌ සිදුනොවීය.

ඇතැම් අවස්‌ථාවල ටැම්පිටවිහාර ආශ්‍රිත කුඹුරු යාය හරහා ගංගා ගලායැම දක්‌නට ලැබෙන අතර ඒවා පිටාර ගැලීමෙන් ඇතැම් ටැම්පිටවිහාර ආශ්‍රිත කුඹුරු ජලයෙන් යටවීම වර්තමානයේ දක්‌නට ලැබෙන තත්ත්වයකි. ටැම්පිටවිහාර ඉදිවූ කාලවකවානුවට පසුව ප්‍රදේශයේ ජලවහන රටාවේ පුළුල් වෙනසක්‌ ඇතිකිරීමට හේතුවන වාරිමාර්ග බිහිවීමක්‌ දක්‌නට නොලැබෙන නිසා ද වර්ෂාපතන රටාවේ පුළුල් වෙනසක්‌ උක්‌ත කාලවකවානුව තුළ සිදු වී නොමැති නිසාද මෙම තත්ත්වය ටැම්පිටවිහාර ඉදිකළ කාලය තුළද පවතින්නට ඇතැයි අනුමාන කිරීමට පිළිවන. යටවත්ත ටැම්පිටවිහාරය ආශ්‍රිත කුඹුරු පමණක්‌ දශක කිහිපයකට පෙර ගොඩකර තිබේ. මෙම ප්‍රදේශය උක්‌ත නමින් හැඳින්වීමට හේතුවී ඇත්තේද ජලයෙන් යටවන පහත් භූමි ප්‍රදේශයක්‌ වීම බව පෙනී යයි.

දිස්‌ත්‍රික්‌කයේ ටැම්පිටවිහාර පහත් භූමිවල පිහිටා ඇති අවස්‌ථාවලදී ඒවා කුඹුරුවලට වඩාත් ආසන්නව නිර්මාණය කර ඇති බව නිරීක්‍ෂණය කිරීමට පිළිවන. කුඹුරුවලට ආසන්න උස්‌බිම්වල ටැම්පිටවිහාර ඉදිකිරීමේදී භූමියේ උසම ස්‌ථානය ඒ සඳහා තෝරාගැනීමේ ප්‍රවණතාවක්‌ දක්‌නට ලැබේ. මේ නිසා ඒවා වඩාත් ඈතට දර්ශනය වන අතර උස්‌ බිමක පිහිටීම තුළින් පූජනීයත්වයක්‌ද ආරෝපණය වේ.

අස්‌වැන්නෙහි ආරක්‍ෂකයකු වශයෙන්

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ටැම්පිටවිහාර කුඹුරු දෙසට මුහුණලා නිර්මාණය කිරීම සවිඥනිකව සිදුකරන ලද්දක්‌ බවත් එමගින් යම් නිශ්චිත අරමුණක්‌ සාධනය කරගැනීම අපේක්‍ෂා කරන්නට ඇති බවත් ප්‍රදේශයේ ජලවහනය, ආර්ථික තත්ත්වය, කුඹුරුවල පිහිටීම, බෞද්ධ ආගමික සංකල්ප හා ටැම්පිටවිහාරවල සැලැස්‌ම වැනි කරුණු සමස්‌තයක්‌ වශයෙන් විග්‍රහ කිරීමේදී හඳුනාගත හැකිය.

ක්‍රි.ව. 18-20 සියවස්‌ අතර කාලය තුළ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ග්‍රාමීය ආර්ථිකයේ පදනම වූයේ වී වගාවයි. මෙය සම්පූර්ණයෙන්ම පාහේ යෑපුම් මට්‌ටම් පැවැති අතර ජනතාවගේ ප්‍රධාන ආහාරය වූයේ බත්ය. මෙම තත්ත්වය තුළ වී වගාව සාර්ථකව කරගෙන යැම අත්‍යවශ්‍ය විය. නමුත් අධික වර්ෂාව හා වෙනත් පාරිසරික සාධක නිසා වියළි කලාපයේ මෙන් තෙත් කලාපයේ සාර්ථකව වී වගාව සිදුකිරීම අපහසුය. තෙත් කලාපයට අයත් ගම්පහ දිස්‌ත්‍රික්‌කයට සාමාන්‍යයෙන් මිලිමීටර 2000 කට වැඩි වර්ෂාපතනයක්‌ ලැබෙන අතර භූමිය තැනිතලා ස්‌වභාවයකින් යුක්‌ත වන බැවින් ජලය බැස යැම ඉක්‌මනින් සිදුනොවේ. ගංගා පිටාර ගැලීම නිසා කුඹුරු යටවීමෙන් වී වගාවට හානි සිදුවීම ද දක්‌නට ලැබේ. මෙයට අමතරව වර්ෂාව අධිකවීම හේතුවෙන් හෝ තෙත් කලාපීය දේශගුණයේ වෙනත් ලක්‍ෂණ නිසා වගාවට ඇති වන රෝග හේතුකොට ගෙනද සතුන්ගේ ක්‍රියාකාරිත්වය නිසාද වී වගාවට හානි සිදුවේ.

ජලයට යටවීමෙන් කුඹුරුවලට හානි සිදුවීම වැළැක්‌වීම සඳහා අවශ්‍ය ජලාපවහන ක්‍රම ඇතිකිරීමට ප්‍රමාණවත් ආර්ථික වාතාවරණයක්‌ ද සංවිධාන ශක්‌තියක්‌ද රාජ්‍ය අනුග්‍රහය ද මෙම කාලය තුළ නොපැවතුණි. ටැම්පිටවිහාර ඉදිකළ කාලවකවානුව මෙම ප්‍රදේශයෙන් වැඩි කොටසක්‌ විදේශීය ආධිපත්‍ය යටතේ පැවැති අවධියකි. ස්‌වාභාවික ආපදා නිසා අස්‌වැන්න පාළු වී ගිය අවස්‌ථාවලදී වී බද්ද ගෙවීම සම්බන්ධයෙන් සිංහල රජවරුන් යටතේ සහනයක්‌ පැවැතියද විදේශීය පාලකයන් යටතේ එවැන්නක්‌ නොවීය. එමෙන්ම ඔවුන්ගේ බදු අයකිරීමේ ප්‍රතිපත්ති ජනතාව වඩාත් පීඩාවට පත් කළේය. ලන්දේසි පාලන කාලයේදී වී බද්ද එකතු කිරීමේ අයිතිය වෙන්දේසියේදී ලබාගත් රේන්දකරුවෝ ජනතාව දැඩි පීඩාවට ලක්‌කරමින් බදු එකතු කළහ. උඩරට රාජ්‍යය හා පහතරට විදේශීය පාලන ප්‍රදේශ අතර දේශ සීමාව මෙම ප්‍රදේශය හරහා වැටී තිබූ කාලවකවානුවල දෙපාර්ශවය අතර ඇතිවූ ගැටුම් වලදී වගාබිම්වලට හානි සිදුකළ බව වාර්තා වී ඇත. මෙවැනි වාතාවරණයක්‌ තුළ වී වගාව ආරක්‍ෂා කරගැනීම හා සාර්ථක ඵලදාවක්‌ ලබාගැනීම සම්බන්ධයෙන් ප්‍රබල ගැටලුවකට මුහුණදී සිටි ජනතාව ඒ සඳහා බුදුන්ගෙන් පිහිටක්‌ බලාපොරොත්තු වන්නට ඇතැයි අනුමාන කිරීමට පිළිවන.

ටැම්පිට විහාරයක ප්‍රධාන බුදුපිළිමය නිර්මාණය කර ඇත්තේ එහි දොරටුව තුළින් ඉදිරිපස බලා සිටින ආකාරයටය. බුදුන් පර්වතයක්‌ මත සිට කරුණාවෙන් ලෝක සත්ත්වයා දෙස බලා සිටින ආකාරය ටැම්පිටවිහාරයේ ඇති ප්‍රධාන පිළිමයෙන් නිරූපණය වන බව ධම්මපදයේ පහත දැක්‌වෙන ගාථාව සමඟ සස¹ බැලීමේදී පැහැදිලි වේ.

පමාදං අප්පමාදෙන - යදානූදති පණ්‌ඩිතො

පඤ්ඤා පාසාද මාරුය්හ - අසොකො සොකිනිං පජං

පබ්බතට්‌ඨොව භුම්මට්‌ඨෙ - ධීරෝ බාලෙ අවෙක්‌ඛති

ටැම්පිටවිහාර කුඹුරු දෙසට මුහුණලා ඇතිවිට ජීවමාන බුදුන් සංකේතවත් කරන බුදුපිළිමයේ දැස්‌ කුඹුරු දෙසට යොමුවී තිබේ. මෙම තත්ත්වය තුළ තම වී වගාව බුදුන්ගේ ආශිර්වාදයෙන් ආරක්‍ෂා වන බවටත් සාර්ථක අස්‌වැන්නක්‌ ලැබෙන බවටත් පැවැති විශ්වාසය ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ටැම්පිටවිහාර කුඹුරුවලට මුහුණලා නිර්මාණය කිරීමට හේතුවන්නට ඇතැයි නිගමනය කළ හැකිය. දුර්වල ආර්ථික තත්ත්වයක්‌ තුළ මේවා නිර්මාණය වූයේ ඒ ගොවිතැනින් ජීවිකාව ගෙනගිය ගැමියන්ගේත් භික්‍ෂූන්ගේත් ඇතැම්විට සැලකිය යුතු ආර්ථික ශක්‌තියක්‌ නොතිබූ ග්‍රාමීය ප්‍රභූන්ගේත් එකතුවෙහි ප්‍රතිඵලයක්‌ වශයෙනි.

වී වගාව විවිධ උවදුරුවලින් ආරක්‍ෂා කරගැනීමට ද අස්‌වැන්න සාර්ථක කරගැනීමටද යොදාගනු ලබන අභිචාර කටයුතුවලදී යන්ත්‍ර, මන්ත්‍ර වශයෙන් බෞද්ධ ගාථා භාවිතය, බෞද්ධ සංකේත භාවිතය හා බුදුන් සිහිකොට වැඳීම දැකිය හැකිය. මෙම අභිචාර කටයුතු කුඹුරුවලදී මෙන්ම කමතේදී ද සිදුකරනු ලැබේ. ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීහු වර්තමානයේදී ද අස්‌වැන්න සාර්ථක කරගැනීම සඳහා මෙවැනි අභිචාර කටයුතු යොදා ගනිති.

පැරණි සම්ප්‍රදාය තුළ කමත තමන් සතු වස්‌තුවක්‌ වශයෙන් නොව බුදුන්ට හා දෙවියන්ට අයත් වස්‌තුවක්‌ සේ සලකනු ලැබේ. කමතේදී සිදුකරන අභිචාර කටයුතුවලදී සිරිපා සලකුණ, බෝ කොළය වැනි බෞද්ධ සංකේත භාවිත කර ඇත. වී අස්‌වැන්න සාර්ථක කර ගැනීම සඳහා සිදුකරන අභිචාරයන්හිදී ඉතිපිසෝ ගාථාව, සබ්බ පාපස්‌ස අකරණං ගාථාව, රතන සූත්‍රය යනාදිය භාවිත කරන අතර බුදුන්ට වන්දනාමාන කිරීමද සිදුවේ. මේ අනුව ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ටැම්පිටවිහාර ඒ ආශ්‍රිත කුඹුරුවල වී වගාව සම්බන්ධ අභිචාර කටයුතු වලදී දෘෂ්‍ය ආධාරක වශයෙන් භාවිත වූ බවද අනුමාන කළ හැකිය.

සම්ප්‍රදායෙන් ඔබ්බට( මාහල්ඔළුව ටැම්පිටවිහාරය

දිස්‌ත්‍රික්‌කයේ පිහිටි සෙසු ටැම්පිටවිහාරවලින් වෙනස්‌ව අසළ පිහිටි කුඹුරු යායට ප්‍රතිවිරුද්ධ දිශාවට මුහුණලා නිර්මාණය කර ඇති මාහල්ඔළුව ටැම්පිට විහාරයේ ආකෘතිය, සැලැස්‌ම චිත්‍ර හා එය නිර්මාණය වූ ක්‍රි.ව. 19 වන සියවසේ දෙවන භාගයේ පැවැති සමාජ, ආර්ථික වාතාවරණය විමසා බැලීමේදී මෙම වෙනසට හේතුවූ කරුණු අවබෝධ කරගත හැකිය. ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පිහිටි එකම දෙමහල් ටැම්පිටවිහාරය හා විශාලතම ටැම්පිට විහාරය වන මාහල්ඔළුව ටැම්පිටවිහාරය සෙසු ටැම්පිටවිහාරවලට වඩා ශක්‌තිමත් ලෙස ඉදිකර ඇති බව පෙනී යයි. ගර්භ ගෘහයට ඇතුල්වීමට ඉදිරි පසින් දොරටු දෙකක්‌ පවතින මෙහි ප්‍රධාන බුදු පිළිමය සැතපෙන පිළිමයක්‌ වීමද විශේෂත්වයකි. පිළිමගෙය නිර්මාණය සඳහා අවශ්‍ය ආර්ථික ශක්‌තිය දුර්වල ගැමි ආර්ථිකයක්‌ තුළ පවතින්නට ඇතැයි විශ්වාස කිරීම අපහසුය. මෙහි බ්‍රිතාන්‍ය වාස්‌තු විද්‍යා ලක්‍ෂණ ප්‍රකට කරන ආරුක්‌කු හැඩයේ කුළුණු දැකිය හැකි අතර ප්‍රභූවරයකුගේ ආලේඛ්‍ය චිත්‍රයක්‌ද හමුවේ.

බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවැති නිදහස්‌ වෙළෙඳ ප්‍රතිපත්තියෙන් වැඩිම ප්‍රයෝජන ලබාගත් පහතරට මුලාදැනි පන්තීය රේන්ද මිලදී ගැනීම, වතු වගාවට අවශ්‍ය භාණ්‌ඩ හා සේවා සැපයීම, ඉඩම් මිලදී ගෙන ඒවා වෙළෙඳ බෝග වගාවට යෙදවීම වැනි ආර්ථික ක්‍රියාකාරකම් හරහා ධනය වර්ධනය කර ගත්තේය. මෙම ටැම්පිටවිහාරයේ සිතුවමක දැක්‌වෙන ප්‍රභූවරයා ද එම නව වෙළෙඳ පන්තිය නියෝජනය කරන්නකු වශයෙන් හඳුනාගැනීමට පිළිවන.

මෙම නව වෙළෙඳ පන්තියට අයත් ප්‍රභූන් ක්‍රි.ව. 19 වන සියවසේ දෙවන භාගයේදී බුදුදහමේ අභිවෘද්ධිය සඳහා අනුග්‍රහය දැක්‌වූ අවස්‌ථා සුලභව දක්‌නට ලැබේ. මාහල්ඔළුව ටැම්පිටවිහාරය වෙළෙඳ ආර්ථිකය මත පදනම් වූ ධනවත් දේශීය ප්‍රභූවරයකුගේ අනුග්‍රහයෙන් ඉදිවූවක්‌ බව නිගමනය කළ හැකිය. මෙම වෙළෙඳ පන්තිය හා වී වගාව අතර සම්බන්ධයක්‌ නොපැවතුණි. මෙහිදී වී වගාව සිදුකළ ග්‍රාමීය ජනතාවගේ අදහස්‌ හා සංකල්ප බලනොපෑ බව පෙනීයයි. උක්‌ත සමාජ වාතාවරණය මෙම ටැම්පිටවිහාරය ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ සෙසු ටැම්පිටවිහාරවලින් වෙනස්‌ ලක්‍ෂණ ප්‍රකට කිරීමට හේතුකාරක වී තිබේ.

එම්. කේ. අමිල ඉන්දික
කැලණිය විශ්වවිද්‍යාලය


මාහල්ඔළුව ටැම්පිටවිහාරයේ සිතුවමක්‌

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.